කල්කටාවට ජය අහිමි කළ ත්‍රිපතිගේ සුපිරි ඉනිම

463
Kolkata knight riders vs Rising pune

තරගාවලිය පුරාවට දක්ෂතා අතර සිටි ප්‍රබල කණ්ඩායමක් වන කල්කටා නයිට් රයිඩර්ස් පිළ පරාජය කරමින් කඩුලු 4ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට ඊයේ (03) රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට අවස්ථාව උදා විය. ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවුනු නයිට් රයිඩර්ස් කණ්ඩායමට දෙවැනි ස්ථානය දක්වා පසු බසින්නට සිදු වූ අතර සිව්වැනි ස්ථානයේ සිටි රයිසින් පූනේ කණ්ඩායමට තෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් හිමිවිය.

හයිද්‍රාබාද් ප්‍රබලයින්ට එරෙහිව දිල්ලියෙන් පෙරළිකාර ජයක්

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමඟ නිමාවුණු තරගයක් අතරතුර දී තම අයි.පී.එල්. ඉතිහාසයේ අඩුම ලකුණු..

කාසියේ වාසිය දිනා ගත් පූනේ නායක ස්ටීවන් ස්මිත් තමන්ට තරමක් නුපුරුදු ඊඩ්න් ගාර්ඩ්න් තණතිල්ලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කල්කටා ක්‍රීඩකයින්ට ලබා දුන්නේය. ඒ අනුව පළමු පන්දු වාරයට මුහුණ දුන් සුනිල් නරෙයින් එය නිලකුණු පන්දු වාරයක් බවට පත් කරමින් අවසන් පන්දුවේ දී කඩුල්ලත් අහිමි කර ගත්තේ කල්කටාවට අසාර්ථක ආරම්භයක් ගෙන දෙමිනි. කෙසේ වෙතත් නායක ගෞතම් ගාම්බීර් එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

තණතිල්ලේ පැවති නිරන්තරයෙන් වෙනස් වන ඉපිලීම නිසා චකිතයකින් තොරව පහරවල් කරා යෑමේ අවස්ථාව කල්කටා ක්‍රීඩකයින්ට අහිමි වී ගියේය. කෙසේ වෙතත් මැදපෙළ වගකීම අමතක නොකළ මනිෂ් පාණ්ඩේ (37) සහ කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් (36) කල්කටා පිළට ලකුණු 150 සීමාව පසු කර යාමට උපකාරී විය. ඒ අතරින් පන්දු 19කින් ලකුණු 36ක් ලබා ගෙන පූනේ කණ්ඩායමට බලවත් තර්ජනයක් එල්ල කළ ග්‍රැන්ඩ්හොම් 17 වැනි පන්දු වාරයේ දී දැවී නොයන්නට පූනේ කණ්ඩායමට හඹා යාම සඳහා විශාල ඉලක්කයක් හිමිවීමට ඉඩ තිබුණි.

කල්කටා ඉනිමේ අවසන් කොටස හතරේ පහර 2කින් සහ හයේ පහර 2කින් වර්ණවත් කළ සූර්‍යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 30ක් රැස් කළේය. ඔහුගේ වේගවත් ඉනිමට වැයවුනේ පන්දු 16ක් පමණි. ඒ අනුව කල්කටා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා සිටිය දී නිමාවට පත්විය. පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් සහ ජාදෙව් උනද්කට් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. මීට අමතරව ස්ටෝක්ස්, තහීර් සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඉන්දියාව සතු විශාලතම ක්‍රීඩාංගණයක් වන ඊඩ්න් ගාර්ඩ්න් පිටියට ඊයේ පැමිණ සිටි දහස් සංඛ්‍යාත කල්කටා ආධාරකරුවන් ඉදිරියේ මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමත් රයිසින් පූනේ කණ්ඩායමට පහසු නොවීය. ඒ කෝල්ටර්නයිල්, ක්‍රිස් වෝක්ස් සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් තිදෙනාම දැඩි සංයමයකින් යුතුව පන්දුකරණයේ යෙදුනු බැවිනි. අති දක්ෂ ක්‍රීඩා රටාවක් නිරූපණය කළ ක්‍රිස් වෝක්ස් පූනේ නායක ස්ටීවන් ස්මිත් සහ මනෝජ් තිවාරි තනි ඉලක්කමේ ලකුණු වලට දවා ගන්නට සමත් විය.

මෙවන් වාතාවරණයක් තුල බෙන් ස්ටෝක්ස් (14) සහ අජින්ක්‍යා රහානේ (11) රැස්කළ සුළු ලකුණු සංඛ්‍යාවන් පවා පූනේ ඉනිමේ ගොඩ නැගීමේ දී අතිශයින් වැදග‍ත් විය. කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් අසාර්ථක වෙද්දී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසි රාහුල් ත්‍රිපති පන්දු 52ක දී රැස්කර ගත් ලකුණු 93 පූනේ කණ්ඩායමට මෙම තරගයේ ජය හිමිකර දුන් විශිෂ්ටතම ඉනිම බවට පත්විය. ඔහුගේ පිත්තෙන් ඊයේ හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් වාර්තා විය.

19 වැනි පන්දු වාරයේ දී රාහුල් ත්‍රිපති දැවී ගිය ද ඒ වන විටත් පූනේ කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කර තිබුණේ ලකුණු 6ක් පමණි. එම අඩුව අවසන් පන්දු වාරයේ දී ඩීප් මිඩ්-විකට් කලාපයට ඉහළින් එල්ල කළ දර්ශනීය හයේ පහරක් මගින් සපුරා ගත් ඩැනියෙල් ක්‍රිස්ටියන් පූනේ කණ්ඩායමේ ජයග්‍රහණය සුරක්ෂිත කිරීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය තනිවම සටනක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණයකින් සැරසූ රාහුල් ත්‍රිපතිට හිමි විය.

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 4ක් මේ වන විට කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත්කම් දක්වා ඇති අතර ඔවුන් බොහෝ විට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ඉඩ ඇත. මුම්බායි ඉන්දියන්ස්, කල්කටා නයිට් රයිඩර්ස්, රයිසින් පූනේ සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් එම කණ්ඩායම් 4යි. නමුත් ඉදිරි තරගවල දී දක්වන දක්ෂතා මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ද අවස්ථාවක් ඇත. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර තරගය අද (04) රාත්‍රී 8ට ෆෙරෝ ශා කොට්ලා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 155 (පන්දුවාර 20): මනිෂ් පාණ්ඩේ 37, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 36, සූර්‍යකුමාර් යාදෙව් 30*, ගෞතම් ගම්බීර් 24, ශෙල්ඩන් ජැක්සන් 10, වොෂින්ටන් සුන්දර් 2/18, ජාදෙව් උනද්කට් 2/28.

රයිසින් පූනේ – කඩුලු 6ක් දැවී ලකුණු 158 (පන්දුවාර 19.2): රාහුල් ත්‍රිපති 93, බෙන් ස්ටෝක්ස් 14, අජින්ක්‍යා රහානේ 11, ඩැනියෙල් ක්‍රිස්ටියන් 9*, ක්‍රිස් වෝක්ස් 3/18, උමේෂ් යාදෙව් 1/23.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට