ආකීබ්ගේ Hattrick එකෙන් ජයග්‍රහණය කොළඹට

Super League 2021

344

2021 සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි තරග සතිය ජයග්‍රාහීව ආරම්භ කරන්නට Colombo FC ක්‍රීඩකයින් අද (15) සමත් වුනේ Defenders FC ක්‍රීඩකයින් ගෝල 1-3ක් ලෙස පරාජය කරමිනුයි.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වූ මේ තරගය සඳහා Colombo FC පිවිසුණේ පසුගිය සතියේ දී Ratnam SC ගෝල 4-1ක් ලෙස පරාජය කරමින් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟිනුයි. Defenders ක්‍රීඩකයින්ට පසුගිය සතියේ දී ජයග්‍රහණයක් හෝ පරාජයක් උරුම නොවුනේ Sea Hawks FC සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වීම නිසයි.

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් යන්නටත් ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Colombo FC ක්‍රීඩක මොහොමඩ් ආකීබ් සමත් වුනා. ඒ 9 වැනි මිනිත්තුවේ දී ගෝලයක් දැල් ගත කරමින්.

එම ගෝලය පළමු අර්ධය පුරාවට වාර්තා වූ එකම ගෝලය වන අතර එම අර්ධය නිමා වුනේ 1-0ක් ලෙස කොළඹ ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් යන්නටත් ප්‍රථමයෙන් ක්‍රියාත්මක වූ ආකීබ් සිය දෙවැනි ගෝලයත් දැල් ගත කරන්නට සමත් වුනා. 46 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයට පෙරළා ගෝලයක් වාර්තා කරමින් උත්තර දෙන්නට Defenders ක්‍රීඩකයින් සමත් වුනේ 57 වැනි මිනිත්තුවේ දී.

රිෆ්කාන් මොහොමඩ් විසින් වාර්තා කළ එම ගෝලය Defenders ක්‍රීඩකයින් විසින් වාර්තා කළ එකම ගෝලය බවට පත් වූ අතර 80 වැනි මිනිත්තුවේ දී සිය Hattrick අවස්ථාව සපුරා ගත් ආකීබ් ගෝල 3-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය කොළඹට දිනා දෙන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 1 – 3 Colombo FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Defenders – රිෆ්කාන් මොහොමඩ් 57’
  • Colombo – මොහොමඩ් ආකීබ් 9’, 46 & 80’

6 වැනි සතියේ තවත් තරග කිහිපයක් හෙට (16) සහ අනිද්දා (17) කොළඹ තුරඟ තරග පිටියේ දී පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • දෙසැම්බර් 16: New Youngs FC v Ratnam SC – සවස 3.30pm
  • දෙසැම්බර් 16: Blue Star SC v Sea Hawks FC – රාත්‍රි7.30pm
  • දෙසැම්බර් 17: Red Stars FC v Renown SC – සවස 3.30pm
  • දෙසැම්බර් 17: Up Country Lions FC v Blue Eagles SC – රාත්‍රි 7.30pm

තරගාවලියේ සවිස්තර තොරතුරු දැන ගන්නට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<