දැල්පන්දුවේ දක්ෂතම විදින්නිය වූ බාස්කට් බෝල් ක්‍රීඩිකාව – උමංගා

287
Netball Best Shooter Umanga De Zoysa

Dialog Axiata PLC සමාගම අනුග්‍රාහකත්වය දක්වමින්, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ “Dialog ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය – 2023” තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ජයග්‍රාහී HNB කණ්ඩායමේ උමංගා ද සොයිසා.

ලැබුණ සම්මානය ගැන ගොඩක් සතුටුයි. අවුරුදු 5ක් විතර දැල්පන්දු ක්‍රීඩාවේ නිතර වෙනවා. එකෙන් සම්මානයක් ලැබුණ පළමු අවස්ථාව මේක. ඒ නිසා සතුට තවත් වැඩි වෙලා. මට මේක වචනවලින් විස්තර කරන්න බැහැ. අමාරුයි. මම කවදාවත් මේ වගේ සම්මානයක් ලැබෙයි කියල බලාපොරොත්තු වුනේ නැහැ. අනිත් එක මම පැසිපන්දු ක්‍රීඩිකාවක්. වැඩි කැමැත්ත ඒකට. ඒත් ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලියක දී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් සමඟ කරට කර ක්‍රීඩා කරලා ලැබූ මේ සම්මානය ගැන ඇත්තට ම හිතාගන්නවත් බැහැ. ඒ නිසා ම මට මේ සම්මානය ගොඩක් වටිනවා,” උමංගා ද සොයිසා ThePapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

කොළඹ කර්කෂ පොළොවේ ඉපදී, හැඳී වැඩුණ උමංගා ක්‍රීඩාවට පිවිසෙන්නේ තමන් ඉගනුම ලැබූ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන්. එකල ඇයගේ ක්‍රීඩාව වූයේ පැසිපන්දු. විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ සිට වයස අවුරුදු 19න් පහළ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම දක්වා ම ඇය විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණේ නැහැ. සමහර විට හිත ඇතුළේ මොකක්දෝ ආසාවක් තියෙන්න ඇති. පාසල් යන කාලයේ සිට ම මම කරන වැඩේ හරියට ම කරනවා. ඒ නිසා මට වැරදුණේ නැහැ. ඉගෙන ගත්තා. ඒ වගේ ම ක්‍රීඩාවත් හරියට ම කළා.”

Netball Best Shooter Umanga De Zoysaඋමංගා ක්‍රීඩා කළ කාලයේ දී තම විද්‍යාලයට ජාතික පාසල් පැසිපන්දු ශූරතාව සිව් වතාවක් දිනා දීමට සමත් ව තිබෙනවා. එමෙන් ම ක්‍රීඩා කරන ලද වයස් කාණ්ඩ ත්‍රිත්වයේ ම විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායමේ නායිකාව ලෙසින් ද කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඇත්තට ම පැසිපන්දු ක්‍රීඩිකාවක් ලෙස ගෙවපු ඒ පාසල් කාලය හරි ම තෘප්තිමත්. මේ තත්ත්වය තවත් වැඩි වෙන්නේ මට ඉන්දියාවේ සහ කොරියාවේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබීම නිසයි.”

උමංගා පැසිපන්දු ක්‍රීඩාව නියෝජනය කරමින් පළමු වරට විදෙස් සංචාරයක යෙදෙන්නේ ඉන්දීය ආරාධිත පාසල් තරගාවලියක් වෙනුවෙන්. එම තරගාවලියේ තරග කිහිපයක් දිනා ගැනීමට ඔවුන් සමත් වූවත් එය සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් නොවන බවයි ඇය කියන්නේ.

Netball Best Shooter Umanga De Zoysaඅපි එම තරගාවලියේ දිනූ තරගය, දෙක, එතරම් ම නොවැදගත් වුනත් ඉන් අපිට විශාල වැදගත්කමක් එක් කළා. එම සංචාරයෙන් ලැබූ අත්දැකීම් අති විශාලයි. පාසල් ක්‍රීඩිකාවක් ලෙස මට මේ සංචාරය ඉතා වැදගත් වුනා. විශේෂයෙන් ම විදෙස් ක්‍රීඩිකාවන් සමඟ තරග යෙදෙන ආකාරය. ඔවුන්ගේ උපායන්, ඒ වගේ ම පිටරටකට ගිහිල්ලා හැසිරෙන විදිහ වගේ ගොඩක් දේවල් එම සංචාරයෙන් මට ඉගෙන ගැනීමට හැකි වුනා. ඒක මංගල සංචාරයේ දී මා ලැබූ සුවිශේෂී අත්දැකීම් වුනා.”

මේ වෙද්දී උමංගාට වයස අවුරුදු 18ක්. එම වසරේ දී ම ඇයට කොරියාවේ පැසිපන්දු සංගමයේ ආරාධිත තරගාවලියක් වෙනුවෙන් ද සහභාගී වීමට අවස්ථාව උදා වෙනවා.

පාසල් යන මේ කාලය වෙද්දී මට හැටන් නැෂනල් බැංකුව හා එක් වෙමින් පැසිපන්දු ක්‍රීඩාවේ නිතර වීමට ආරාධනා ලැබෙනවා. ඇත්තට ම ඒක මට, මගේ ජීවිතයේ ලැබූ සුවිශේෂී ම පණිවුඩයක්. මම දෙවරක් නොහිතා ඒ ගැන කැමති වෙලා ගෙදරින් ද කැමැත්ත ගත්තා.”

ඒ 2006 අවුරුද්ද. ලැබූ ආරාධනාව අනුව ඇය හැටන් නැෂනල් බැංකු පැසිපන්දු කණ්ඩායම සමඟ එක් වෙමින් රැකියාවත් කරගෙන කාලය ගත කරනවා. එම කාලෙ ම වගේ හැටන් නැෂනල් කණ්ඩායමේ දැල්පන්දු ක්‍රීඩාව සමඟ එක් වීමටත් ඇයට ආරාධනා ලැබෙනවා.

මුල් කාලයේ නම් දැල්පන්දු ක්‍රීඩාවට මගේ එච්චර ම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම බැංකුව සමඟ එක් වුනේ ක්‍රීඩා කරන්න. ඒ නිසා දැල්පන්දු පුහුණුවීම්වලට ගියා.  මෙතැන දී මම ඊට හැඩගැස්සුවේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ පුහුණුකාරිණි සශිකා සමරසිංහ. ඇයට අමතර ව කුමරිනී ද සිල්වා. මේ දෙන්න ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ නායිකාවන්. ඔවුන්ගේ මඟ පෙන්වීම මට මේ ගමන එන්න විශාල රුකුලක් වුනා.”

උමංගා දැල්පන්දු ක්‍රීඩාවට පිවිසියත් ඇයට ආරම්භක තරගවල දී එම කණ්ඩායම සමඟ එක්ව වැඩි කාලයක් සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. ඇයට වඩා දක්ෂ ක්‍රීඩිකාවෝ එතැන සිටියා. මේ නිසා ඇය වැඩි වශයෙන් ම හිටියේ සහාය ක්‍රීඩිකාවක් ලෙසින්.

මම මුලින් ම තරගයකට සෙල්ලම් කළේ අනුරාධපුරේ දී. ඒ තරගයට ම මම විනාඩි 5ක්, 10ක් විතර සෙල්ලම් කරන්න ඇති. මම බේසික් මූමන්ට දෙක තුනකින් තමයි සෙල්ලම් කළේ. පැසිපන්දු ක්‍රීඩාවේ දී මගේ ස්ටයිල් එක වෙනස් කරන්නේ නැතිව අදාළ දේ විතරක් කරගෙන ගියා.”

එසේ සීරු මාරුවට දැල්පන්දු ක්‍රීඩාවේ නිරත වූ උමංදා අද වෙද්දී හැටන් නැෂනල් බැංකු පැසිපන්දු ක්‍රීඩාවේ දී මෙන් ම දැල්පන්දු ක්‍රීඩාවේ දීත් කණ්ඩායමට නැතිව ම බැරි ක්‍රීඩිකාවක්.

මුල් අවස්ථාවේ දී අතරමැදි ක්‍රීඩිකාවක් ලෙසින් දැල්පන්දු තරගවලට එක් වූවත් දැන් ප්‍රධාන ක්‍රීඩිකාවක් ලෙසින් තරගවලට එක් වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ජයග්‍රහණ රාශියක් දිනා තිබෙනවා. ඒ ජයග්‍රහණ අතර මේ වගේ සම්මානයක් ලැබූ පළමු අවස්ථාව මේක. මේ පිටුපස සශිකා සමරසිංහ සහ කුමරිනී ද සිල්වා ඉන්නවා. ඔවුන් මාව පැසිපන්දු ක්‍රීඩාවෙන් හරි ලස්සන විදිහට දැල්පන්දු ක්‍රීඩාවට වෙනස් කළා. සමහර අවස්ථාවල දී ඉබේ ම පැසිපන්දු මූමන්ට්වලට යනවා. ඒ දෙන්නා තමයි මාව ඒ තත්ත්වයෙන් මුදවා ගනිමින් මේ වගේ තැනකට ගෙනාවේ.”

උමංගා දැනට අවුරුදු 17ක් පමණ තිස්සේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ක්‍රීඩා කරනවා. මේ අතර ඇයට අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා පැසිපන්දු ජාතික කණ්ඩායමේ සංචිතයට එකතු වීමට අවස්ථාව ලැබෙනවා.

නමුත් මට ඊට එකතු වෙන්න හිතුණේ නෑ. මොකද ඒ වෙනුවෙන් කැප කරන්න තරම් වෙලාවක් මට තිබුණේ නෑ. මගේ හිත තිබුණේ බැංකුවේ. බැංකුවේ රැකියාව තුළිනුත් ක්‍රීඩාවෙනුත් මම විශාල තෘප්තියක් ලබනවා.”

උමංගා වැඩිමල් සහෝදරියන් දෙදෙනෙක්ගෙන් යුත් පවුලේ බඩපිස්සි. ගුණවර්ධන ගුණපාල ද සොයිසා නමින් යුත් පියා නාවික ඉංජිනේරුවරයෙක් ලෙසින් කටයුතු කළ අයෙක්. මව සුමේධා පෙරේරා මහත්මිය විශ්‍රාමික විදුහල්පතිනියක්.

Netball Best Shooter Umanga De Zoysaඒ දෙන්නගෙන් ක්‍රීඩාවට වගේ ම මගේ බැංකු වැඩ කටයුතුවලටත් ලැබෙන සහ දැනටත් ලැබෙන සහයෝගය කියා නිම කරන්න බැහැ. තාත්තා නම් අපේ බැංකු කණ්ඩායමේ ම කෙනෙක් වගේ. හැම තරගයක් ම නරඹන්න එනවා. විනෝදකාමීව හැම කෙනෙක් සමඟ ම ඉන්නවා.”

උමංගාගේ වැඩිමල් සහෝදරිය උත්පලා ද සොයිසා. දෙවැන්නිය උජිතා ද සොයිසා. ඔවුන් දෙදෙනො ම මේ වෙද්දී විදෙස් ගතවයි සිටින්නේ. ඔවුන් ද උමංගාගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සුබ පතන්නන් අතර ප්‍රමුඛයෙන් පසුවෙන කිහිපදෙනාගෙන් කෙනෙක්.

අම්මා, තාත්තා මගේ කිසිම දේකට කවදාවත් බාධාවක් කළේ නැහැ. ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය මමත් කවදාවත් කඩ කළේ නැහැ. සමහර දවස්වලට උදේ පාන්දර ඇඳිරියේ ගෙදරින් පිටත් වෙන මම ගෙදර එන්නේ ගොඩක් රෑ වෙලා. ඒ වෙලාවට මගේ ආරක්ෂාවට ඉන්නේ අම්මත් තාත්තාත් තමයි. එයාලා කවදාවත් ඒක වදයක් ලෙසින් සැලකුවේ නැහැ. ඒ වගේ ම පාසල් කාලයේ දී පැසිපන්දු ක්‍රීඩා පුහුණු වෙන්න ගියේ අක්කා සමඟ. එයාල දෙන්නා මෙහේ සිටිද්දී හැම තරගයක් ම නරඹන්න ආවා. ඔවුන් නිතර ම ක්‍රීඩාව වෙනුවෙන් මාව ශක්තිමත් කළා.”

Netball Best Shooter Umanga De Zoysaමේ සියලු දෙනා සමඟින් සශිකා සමරසිංහ සහ කුමරිනී ද සිල්වා මෙන් ම හැටන් නැෂනල් බැංකු දැල්පන්දු කණ්ඩායමේ සහ පැසිපන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් දක්වනු ලබන දායකත්වය ද ඇය ගෞරවයෙන් යුතුව සිහිපත් කළා.

මාව හැටන් නැෂනල් බැංකුවට තෝරා ගත්ත තැන සිට උදව් කළ සෑම දෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මම කෙරෙහි තැබූ විශ්වාසයට මම කළගුණ සැලකුවා කියලා මට හැඟෙනවා. ඒක මගෙන් ඉටු විය යුතු යුතුකමක්. ඒ වගේ ම විශේෂයෙන් ම හැටන් නැෂනල් බැංකුවේ වෙළඳ ප්‍රවර්ධන අංශයේ හැමෝම දක්වන දායකත්වය කවදාවත් අමතක කරන්න බැහැ,” උමංගා ද සොයිසා ThePapare.com සමඟ පැවසුවා.

පැසිපන්දු ක්‍රීඩාවට පිවිස දැල්පන්දු ක්‍රීඩාවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ උමංගා ද සොයිසා වෙත ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<