ඔලිම්පික් තියන්න ජපානයට උදව් වෙන ශ්‍රී ලාංකිකයා

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

357
Sri lanka Baseball

ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ තවත් මාස තුනකටත් වඩා අඩු කාලයක්. කොරෝනා වසංගතය නිසා පසුගිය වසරේ දී කල්දැමුණු තරගාවලිය මෙම වසරේ දී සාර්ථක ලෙස පවත්වන්නට ජපාන සංවිධායකයින් සියල්ල සූදානම් කරමින් තිබෙන්නේ.

ඒ ශක්තිමත් සංවිධායකයින් අතර ඔලිම්පික් උළෙලට තාක්ෂණික අංශයෙන් විශාල සහයක් ලබා දෙන්න ශ්‍රී ලාංකික පුරවැසියෙකු ද එක්වෙලා තියෙනවා. ඔහු සුජීව විජේනායකයි.

ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන සුජීව මෙවර ඔලිම්පික් තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වීම ද විශේෂත්වයක්.

ලොව ධනවත් හා ප්‍රබල රටවල් රැසක් ක්‍රීඩා කරන බේස්බෝල් සහ සොෆ්ට්බෝල් තරගයන්හී ඔලිම්පික් තරගාවලියේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙස සුජීව විශාල සේවාවක් සිදු කරනවා.

වර්තමානයේ දී බොහෝ රටවල් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන බේස්බෝල් වර්ගීකරණයේ ජපානය පළමු තැනත්, ඇමරිකා එක්සත් ජනපදය සහ කොරියාව දෙවන සහ තෙවැනි තැනත් පසුවන අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ 37 වැනි ස්ථානයයි.

ලෝක සොෆ්ට්බෝල් පිටියට ශ්‍රී ලංකාව තවමත් අවතීර්ණ වී නොමැති අතර එහි ලෝක වර්ගීකරණයේ ප්‍රථම ස්ථාන තුනේ පිළිවෙළින් ඇමරිකාව, ජපානය සහ කැනඩාව යන දේශයන් පසුවේ.

මෙවර තරගාවලියේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් ඉසව් සඳහා වර්ගීකරණයේ පළමු ස්ථාන තුන ඇතුළුව කණ්ඩායම් 12ක් සහභාගී කර ගැනීමට නියමිතයි.

එවැනි ප්‍රබල රටවල් සහභාගී වන තරගාවලියක සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා ජපාන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකිකයෙකු තෝරාගැනීම පිළිබඳව අපට ද ඇත්තේ විශාල ආඩම්බරයකි.

කොළඹ මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ සුජීව සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී උසස් අධ්‍යාපනය සඳහා ජපානයට පිටත්ව තිබුණා.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

1999 වසරේ දී ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාව ඇරඹූ සුජීව 2002 සිට 2006 වසර දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයේ බේස්බෝල් පුහුණුකරුවෙකු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරමින් සිය දැනුම අනාගත ක්‍රීඩකයන්ට දායාද කළ නිහතමානී පුද්ගලයෙක්.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සුජීව විජේනායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ඔලිම්පික් තරගාවලියේ බේස්බෝල් තරග පිරිමි අංශයෙන් සහ සොෆ්ට්බෝල් තරගාවලිය කාන්තා අංශයෙනුත් පැවැත්වීමට කටයුතු කරන බවයි.

“බේස්බෝල් තරගාවලිය සඳහා තවත් රටවල් දෙකක් සුදුසුකම් ලබා ගන්න තියෙනවා. ඒකට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි දෙකක් ඇමරිකාවේ සහ තායිවානයේ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් වෙනවා. ඒ තරගාවලි ද්විත්වයේ ශූරයන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබනවා” යැයි ඔහු පැවසුවා.

එසේම සුජීව සමඟින් වැඩකටයුතු කිරීමට ජපාන බේස්බෝල් පරිපාලනයේ වසර 20කට වැඩි අත්දැකීම් ඇති එම සංගමයේ හිටපු ලේකම්වරයා, 1992 ජපාන කණ්ඩායම නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් ලැබූ ක්‍රීඩකයෙකු සහ ලෝක බේස්බෝල් සංගමයේ හිටපු ප්‍රවර්ධන නිලධාරියෙකු ද සම්බන්ධව සිටීම සුවිශේෂී කරුණක්.

“මේ වගේ අත්දැකීම් බහුල පුද්ගලයන් සමඟ ඔලිම්පික් උළෙල සාර්ථක කරගැනීමට වැඩ කිරීමට ලැබීම මට ලැබුණු විශේෂ භාග්‍යයක් සහ වාසනාවක්. මෙම වැඩකටයුතු තුළින් ලබා ගන්නා අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට දායක වෙන්න මම බලාපොරොත්තුවෙන් පසුවෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙරට ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගැනීමට සුජීව විජේනායක වැනි පුද්ගලයන් ඉතා වැදගත් වේ. ඔහුගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථකත්වයට පත්වේවායි ThePapare.com අප සුබපතන්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<