බංකුවට සීමා වුනු RCB වේගපන්දු යවන්නා නැතිවම බැරි ක්‍රීඩකයෙකු වූ හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3952
Star India pacer says

ක්‍රිකට් ලෝකයේ සියල්ලන්ගේම ආකර්ෂණය දිනා ගත් නම රැන්දූ ක්‍රීඩා තරුවක් බවට පත්වීම එක රැයකින් සිදු කළ හැක්කක් නොවේ. ඒ සඳහා කළ යුතු අපරිමිත කැප කිරීම් වචන කිහිපයකට ලඝු කිරීම ඉතාමත් අපහසු කර්තව්‍යයක්.

මේ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ඇති ක්‍රීඩක පිරිසක් ලෙස IPL තරගාවලිය ඔස්සේ ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කර ගත්  ක්‍රීඩකයින් හඳුන්වා දිය හැක්කේ ඔවුන් සියල්ලක්ම පාහේ මෙතෙක් ආ ගමන් මඟ මතුපිටින් පෙනෙනවාට වඩා විවිධ බාධක කම්කටොළු හැලහැප්පීම් මධ්‍යයේ වඩාත් ඉවසීමෙන් ඉදිරියට රැගෙන රැගෙන ඒමට සිදු වූ නිසාවෙනි.

Hardik Pandya, Jasprit Bumrah වැනි වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල බල කණු ලෙස සැලකෙන ක්‍රීඩකයින් පවා වරෙක ඔවුන් නියෝජනය කළ, කරන Mumbai Indians වෙනුවෙන් පෙන්වූ කැපී පෙනෙන දක්ෂතාවන් නිසාවෙන් ජාතික සංචිතය වෙත කැඳවීම් ලැබීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වූ බව අවිවාදයෙන්ම පිළිගත යුතු කාරණාවකි.

මීට අමතරව 2021 තරග වාරයේ දී Sunrisers Hyderabad නියෝජනය කරමින් පන්දුවෙන් සිය පෙළහර පෑ T. Natarajan ද, තම තුන් ඉරියව් දක්ෂතාවන්ගෙන් සෙසු කණ්ඩායම් හට ප්‍රබල තර්ජනයක් එල්ල කළ Kolkata Knight Riders කණ්ඩායමේ Venkatesh Iyer ද ඉන්දීය ජාතික කණ්ඩායම තුලට ඇතුළු වීමේ වරම් උදා කරගැනීමට සමත් වූයේ IPL තරගාවලිය ඔස්සේ ඔවුන්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට තනා දුන් වේදිකාව නිසාවෙනි.

පසුගිය තරග වාරය අවසානයේ දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් IPL තරග ඉතිහාසයෙහි එක් තරග වාරයක දී පන්දු යවන්නෙකු විසින් දවාලූ වැඩිම කඩුලු ප්‍රමාණයේ (32) වාර්තාව ද සම කළ Harshal Patelගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේ ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

නමුත් Harshal අත්පත් කර ගත් මෙම සාර්ථකත්වය පිටුපස වසර 6ක් වැනි දිගු කාල සීමාවක් RCB කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙකු ලෙස බංකු රත් කරමින් කාලය ගෙවා දැමීමට සිදු වූ ඔබ නොදන්නවා විය හැක.

2018 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ලංසු තැබූ අවම මුදල් ප්‍රමාණයටම (ඉන්දීය රුපියල් ලක්ෂ 20) Delhi Capitals කණ්ඩායමට අලෙවි වූ Harshal හට 2021 තරග වාරය දක්වාම සක්‍රීයව තම කණ්ඩායමට දායකත්වය ලබා දීමට හැකි වූයේ අවස්ථාවන් අතලොස්සක දී පමණි. ඔහුට බොහෝ විට කාලය ගත කිරීමට සිදු වූයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසය.

තම ක්‍රීඩා දිවියේ විවිධ අවධීන් තුල ලද අත්දැකීම් පිළිබඳව හඬ අවදි කරමින් Harshal සඳහන්කොට තිබුණේ මුදලට වඩා ඔහු සෑමවිටම අපේක්ෂා කළේ තරග ජයග්‍රහණය කරන්නෙකු ලෙස තම දක්ෂතාවන් විදහා දැක්වීමට බවයි.

මට වැදගත් වුනේ මුදල නෙමෙයි. මට ඕනෑ වුනේ අවස්ථාවන්. සරලව ක්‍රීඩා පිටියට ගිහින් මට කරන්න පුළුවන් දේ පෙන්වන්න වේදිකාවක්. එකවරක් කණ්ඩායම් තුන හතරකම ක්‍රීඩකයින්ට මට පෞද්ගලිකව කිව්වා ක්‍රීඩක වෙන්දේසියේ දී ඔවුන් මාව මිල දී ගන්න සූදානමින් ඉන්නවා කියලා. නමුත් එදා දවසේ දී ඒ පොරොන්දු වුන කවුරුත් මං වෙනුවෙන් ඉදිරියට ආවේ නැහැ. මට ඇත්තටම ඒ සිදුවීම අදටත් මතක් වෙද්දී දැනෙන්නේ ලොකු කලකිරීමක් වගේම පිළිකුලක්.  නමුත් මට ඒ හැමදෙයක්ම දරාගෙන ඉතනින් ඉදිරියට ඉන්න තරම් හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා. මම මුල ඉඳන්ම පටන් ගත්තා”, යනුවෙන් ‘Breakfast with Champions’ වැඩසටහනේ සාකච්ඡාවක් අතරතුර දී Harshal පවසා සිටියා.

2018 වසරේ දී DC නියෝජනය කරමින් ක්‍රීඩා කළ තරග 5 තුල දී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වූවත්, Harshal හට ඉන් පසු තරග වාරයේ දී එනම් 2019 තරග වාරයේ දී ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ තරග 2කට පමණක් වීම කැපී පෙනේ.

2019/20 දේශීය තරග බිමේ දී විශේෂයෙන්ම පළමු පෙළ තරගාවලිවල දී දැක්වූ සුවිශේෂී දක්ෂතාවන් නිසාවෙන් 2020 IPL තරගාවලිය සඳහා ද තම ස්ථානය තහවුරු කර ගැනීමට Harshal සමත් විය.

නමුත් අවාසානවකට මෙන් එහි දී ද ඔහුට තරග 5කට පමණක් දායක වෙමින් එතැනින් සෑහීමකට පත්වීමට සිදු විය. නමුත් 2021 තරග වාරය Harshalගේ ගමන් මඟෙහි දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු කිරීමට සමත් වූයේ ඔහු මෙතෙක් කලක් බලා සිටී නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස සම්පූර්ණ තරග වාරයම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි කර දෙමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<