කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ මෙවර වාසිය කා හටද?

889

කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් සංග්‍රාමය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 112 වැනි සුලෝහිත සංග්‍රාමය ලබන 16 හා 17 (හෙට සහ අනිද්දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය සඳහා මෙවර තරග කරන ධර්මරාජ විද්‍යාලයීය හා කිංග්ස්වුඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩයම් ගැන ThePapare.com තබන සටහනකි මේ.

ත්‍රිත්ව – අන්තෝනි කඳුරට නිල් මහා සටනට සියල්ල සූදානමින්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වන …

අතීතයෙන් බිඳක්

මධ්‍යම පළාතේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන වසර 111ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිගහැරුම 1893 දී පැවැත්වුණු අතර මංගල තරගය පරාජයෙන් තොරව අවසන් විය.

පළමු තරගයේ දී සර් දොන් බාරොන් ජයතිලක ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩයම මෙහෙය වූ අතර ඒ. ඊ. ස්පෙන්සර් විසින් කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩයම මෙහෙය වනු ලැබීය. තරගය එකල ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ව තිබූ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර වර්තමානයේ දී බෝගම්බර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ නැත.

1900 වසරේ සිට තරගය මහනුවර අස්ගිරිය විද්‍යාලයේ පැවති අතර 2010 සිට තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ. ධර්මරාජ විද්‍යාලය තරග ඉතිහාසයේ වැඩි ගෞරවය දිනා ඇති අතර වසර 30කට පසු 2011 දී තරගය ජය ගන්නට ධර්මරාජය සමත් විය.

2011 සිට පිට පිට මහා ක්‍රිකට් තරග තුනක් ජය ගැනීමට ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩයම සමත් වූ නමුත් 2016 දී හා 2017 දී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට කිංග්ස්වුඩ් ක්‍රිකට් කණ්ඩයම සමත් විය.

අවසන් වරට කිංග්ස්වුඩ් කණ්ඩයමක් මහා ක්‍රිකට් තරගයක් ජය ගත්තේ මෞරිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් 1957 දී වීම විශේෂ කරුණකි. එම තරගය කඩුලු දහයකින් ජය ගැනීමට ඔවුන් සමත්වුව ද ඉන්පසු ගත වූ වසර 60ක් පුරා තරගය ජය ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලයට නොහැකි විය. ක්‍රීඩා කළ තරග 109න් ධර්මරාජය තරග 33ක ජය වාර්තා කරගෙන ඇති අතර කිංග්ස්වුඩ් විද්‍යාලයට ජය ගත හැකි වූයේ තරග 19ක් පමණි. තරග 54ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරගයේ වැඩි වාසිය කාට දැයි කිව නොහැක්කේ ධර්මරාජ විද්‍යාලය පළමු කාණ්ඩයේ ද කිංග්ස්වුඩ් කණ්ඩයම දෙවන කාණ්ඩයේ ද ක්‍රීඩා කරන නිසාවෙනි.

ඉන්දියාව නිදහසේ අවසන් මහා සටනට

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පස්වැනි තරගය ලෙසින් පැවති බංග්ලාදේශය සහ ඉන්දියාව …

ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩයමට මෙවර පාසල් ක්‍රිකට් වාරය එතරම් සුබදායි නොවූයේ තරග හතක් ප්‍රතිඵල සමඟ අවසන් වූ නිසාවෙනි. තරග තුනක් ඉනිමකින් පරාජය වූ අතර තරග තුනක පළමු ඉනිමේ පරාජයන් අත්විඳීමට සිදු විය.

මෙවර තරග වාරයේ දී එක් පළමු ඉනිමේ ජයකින් සෑහීමට පත්වන්නට ඔවුන්ට සිදු විය. ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත වුවත් අවශ්‍ය මොහොතේ දී ක්‍රියාත්මක වීමට නොහැකිවීම කණ්ඩායමට මහත් පාඩුවක් විය. කණ්ඩයමේ සාර්ථකත්වය ප්‍රබල පිතිකරුවන් යුගලක් වන දුලාජ් බණ්ඩාර හා නායක බවන්ත උඩන්ගමුව මත රඳා පවතිනු ඇත.

තරගාවලිය පුරා ක්‍රියාත්මක වූ බවන්තගේ හා දුලාජ්ගේ පිත්ත මෙවර මහා ක්‍රිකට් තරගයේදීත් ක්‍රියාත්මක වනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කරයි. කණ්ඩයම වෙනුවෙන් වැඩිම කඩුලුලාභීන් වන උපේන්ද්‍ර වර්ණකුලසූරිය හා යසිත් සාමරත්න පන්දු යැවීමෙන් කණ්ඩයම සවිමත් වනු ඇත. විශිෂ්ට පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඔවුන් මෙවර තරගයේ දී කිංග්ස්වුඩ් පිතිකරණ ලැයිස්තුවට මහත් තර්ජනයක් වනු ඇත.

අනුමානිත කණ්ඩයම – බවන්ත උඩන්ගමුව (නායක), රුක්මාල් දිසානායක (උපනායක), දුලාජ් බණ්ඩාර, නවිදු දිල්ශාන්, චේතිය ඒකනායක, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, ලක්ෂිත පන්නල, විරාජිත් ඇහැළේපොළ, යෂිත සාමරත්න, ධනුක රත්නායක, කලණ වික්‍රමරත්න, දිනුක පතිරාජ, චේතිය වීරකෝන්, යූ. එස්. සී. පෙරේරා (පුහුණුකරු)  

කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවෙනි කාණ්ඩයේ තරග කළ කිංග්ස්වුඩ් විද්‍යාලය තරග දෙකක සම්පූර්ණ ජය ලබාගෙන තරග දෙකක පළමු ඉනිමේ ජය ලබා ගැනීමට සමත් විය. ඔවුන් එක් තරගයක් සම්පූර්ණයෙන් පරාජය වූ අතර එක් තරගයක පළමු ඉනිමේ පරාජයක් අත්විය.

ගනිඳු කඹුරුගමුව රෑන්ඩලස් කන්දේ මහත්වරුන් මෙහෙයවන අතර සිව්වැනි වසර ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ඔහු දැන් පන්දු යැවීමේ නිරත නොවුවද මුල් කාලයේ ඉතා දක්ෂ දඟපන්දු යවන්නෙක් ද විය.

ලකුණු 600 සීමාව ඉක්මවා ගිය උපනායකයින් දෙදෙනෙකුගෙන් නායක ගනිඳු හට සහය ලැබෙන අතර ප්‍රවේගකාරී වමත් කඩුලු රකින පිතිකරු දුලින් විජේනාරනයන හා දකුණතින් පන්දු යවන වමත් පිතිකරු සෞම්‍ය පියසේන සම සමව උපනායක වගකීම ඉටු කරයි. කඩුලු 10ක් සමඟින් කඩුලු 5 බැගින් වාර්තා කර ගත් අවස්ථා එකක් ද සමඟින් දීඝායු බණ්ඩාර මෙවර කිංග්ස්වුඩ් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරයි. ආරම්භක වේගපන්දු යවන දීඝායුගේ දෝලනය වන වේගපන්දු  මත මෙවර කණ්ඩයමේ සියලු බලාපොරොත්තු රඳා පවතිනු ඇත.

අනුමානිත කණ්ඩයම – ගනිඳු කඹුරුගමුව (නායක), සෞම්‍ය පියසේන (උපනායක), දුලින් විජේනාරායන (උපනායක), ධනංජය මදුරංග, දීඝායු බණ්ඩාර, කුෂාන් ගාෂිත, උත්පල ජයලත්, හර්ෂණ වික්‍රමසිංහ, රුසිත් දිල්ශාන්, හෂික ගමගේ, දුමිඳු දමිෂ්ක, මාධව ධනංජය, කසුන් මාධව, චානක බණ්ඩාර, දේවින්ද දිසානායක, දුලිත වික්‍රමසිංහ, ඉන්දික බණ්ඩාර (පුහුණුකරු)

අවසන් වශයෙන්

පෙර තරගවල ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩි පාරේ යමින් ධර්මරාජ ක්‍රීඩකයෝ කුසලානය නැවතත් ලේක්වීව් කන්දට ගෙන යාමට උත්සුක වනු ඇත. පසුගිය වසර 5 හා පුරා පූර්ණ තරග ජයග්‍රහණ ද සමඟින් සාර්ථකව තරග කළ ධර්මරාජ ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණය උදුරා ගැනීම මෙවර කිංස්වුඩ් ක්‍රීඩකයින්ගේ අභිප්‍රාය වනු ඇත. කාණ්ඩ දෙකක ක්‍රීඩා කළ ද, දක්ෂතා ඇති කාටර කර සිටින කණ්ඩයම් දෙකක් නිසා ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය ලේක්වීව් කන්දට ද, රෑන්ඩල්ස් කන්දට ද යැයි කිව නොහැකි නමුත් වර්ෂාවෙන් බාධා නොවුනහොත් තියුණු තරගයක් ප්‍රේක්ෂකයින්ට නැරඹීමට ලැබෙනු ඇත.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ඡායාරූප තරග විස්තර හා ලකුණු සටහන් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<