දින දෙකක් තුළ අහිමි වූ වීරත්වය

281

ඒ 1978 සැප්තැම්බර් 24 වැනිදා. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් රැසක් දකුණු කොරියාවේ Seoul නුවරට රැස්ව සිටියේ එවර ඔලිම්පික් උළෙලේ උණුසුම්ම ඉසව්ව වූ පිරිමි මීටර් 100 ඉසව්ව දැක බලා ගැනීමටයි.

ඊට හේතුව වී තිබුණේ, වසර ගණනාවක සිටම මීටර් 100 ආධිපත්‍ය වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇතිවූ උණුසුම් සටනයි.

තරගය ආරම්භ වීමට සියල්ල සූදානම්, එක් පසෙකින් එවකට මීටර් 100 ඉසව්වේ වසර ගණනාවක් ඉහළ දස්කම් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Carl Lewis සිටිද්දී, ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස එවකට එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියූ කැනේඩියානු ක්‍රීඩක Ben Johnson ඉසව්ව සඳහා සූදානමින් පසු වුනා. 

1961 ජැමෙයිකාවේ දී උපත ලැබූ Ben Johnson වයස අවුරුදු 15 දී එනම්, 1976 දී කැනඩාවේ Ontario වෙත සංක්‍රමණය වී තිබුණා.

කැනඩාවට පැමිණීමෙන් පසු වෘත්තීය මලල ක්‍රීඩාවට යොමු වූ Ben Johnson එවකට කැනඩාවේ සිටි කෙටිදුර ධාවන ශූරයෙකු වූ Charlie Francisගේ පුහුණුකාරිත්වය යටතේ පුහුණුවීම් කටයුතු සිදු කිරීමට පටන් ගන්නවා.

එතැන් පටන් කැනේඩියානු දේශීය මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Ben Johnson 1982 පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව තත්පර 10.5ක කාලයකින් අවසන් කර රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවතීර්ණ වුනා.

එහි දී ඔහු සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් තවත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නමුත් 1983 පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී නම් සාර්ථක දස්කම් දැක්වීමට ඔහුට හැකි වන්නේ නැහැ.

කෙසේ නමුත් දේශීය පිටියේ සිය දස්කම් එලෙසම පවත්වා ගැනීමට සමත් වූ Ben Johnson කැනඩාව නියෝජනය කරමින් 1984 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙනවා.

සිය පළමු ඔලිම්පික් තරගාවලිය ලෙස 1984 ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඔහු තත්පර 10.22ක කාලයකින් ඉසව්ව අවසන් කිරීමට සමත් වූ නමුත් Carl Lewis සහ Sam Graddy හට පසුපසින් තෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කිරීමට ඔහුට සිදු වෙනවා.

Ben Johnson (ඉදිරියෙන්) 1984 ඔලිම්පික් උළෙලේදී          Image Courtesy: Getty Images

එම තරගාවලියේ කැනේඩියානු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ Ben Johnson ඇතුළු කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වන නිසාවෙන් සිය පළමු ඔලිම්පික් තරගාවලිය පදක්කම් ද්විත්වයක් සමඟ අවසන් කිරීමට Ben Johnson සමත් වුනා.

එතැන් පටන් Carl Lewisගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ Ben විසින් Carl හට ප්‍රබල අභියෝගයක් ලබා දෙන්නට සමත් වුනත්, Carl හමුවේ නොකඩවා තරග 8ක් පරාජය වීමට Benට සිදු වෙනවා.

පරාජය ධෛර්යය කර ගත් Ben නොකඩවා ලැබූ පරාජයන් අටකින් පසු 1985 Goodwill Games තරගාවලියේ දී Carl Lewis පරාජය කරන්නට සමත් වන අතර ඔහු 1986 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වෙනවා.

එතැන් පටන් Carl Lewis නොකඩවා අවස්ථා හතරක දී පරාජය කිරීමට සමත් වූ Ben Johnson 1987 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 ඉසව්ව තත් 9.83ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ද සමත් වුනා.

Ben Johnson ඉදිරියෙන් – 1987 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී      Image Courtesy: Getty Images

සිය ලෝක කිරුළ අහිමි වූ පසු Carl Lewis විසින් Ben හට විවිධ චෝදනා එල්ල කරන අතර ඔහු විසින් වැරදි ආරම්භයක් ලබා ගත් බවත්, Ben තහනම් උත්තේජක ලබාගෙන ඇති බවටත් ඔහු විසින් චෝදනා එල්ල කළා.

“Carl හැමදෙයක්ම දිනන විට මම ඔහුට කිසිමදාක චෝදනාවක් එල්ල කළේ නැහැ, වෙනත් ක්‍රීඩකයෙකු ඇවිත් මාව පරාජය කරද්දී කවදාවත් මම චෝදනා කරන්නේ නැහැ” යනුවෙන් Ben Johnson සිය ප්‍රතිවාදියාට පිළිතුරු ලබා දුන්නා.

1988 ඔලිම්පික් උළෙලට පෙර අවසන් වතාවට මොවුන් දෙදෙනා තරග වැදි අවස්ථාවේ දී Ben Johnson පරදා පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට Carl Lewisට හැකි වූ අතර Ben එම තරගය තුන්වැන්නා ලෙස අවසන් කිරීමට සිදු වුනා.

“ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම මගේ, මම නැවත කවදාවත් Ben Johnson හමුවේ පරාජයට පත්වෙන්නේ නැහැ” යනුවෙන් ජයග්‍රහණයෙන් පසු Carl Lewis ප්‍රකාශ කළා.

තවත් විශේෂාංග ලිපි:

පිටිය තුළ දී මෙන්ම පිටියෙන් පිටතදීත් ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මොවුන්ගේ සටන 1988 ඔලිම්පික් උළෙලේ මීටර් 100 අවසන් මහා තරගයට සැමගේ අවධානය හිමිව තිබුණා.

ඔලිම්පික් කිරුළ වෙනුවෙන් ඔලිම්පික් ශූරයා සහ ලෝක ශූරයා තරග වැදි මෙම තරගය ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රබලතම සටන ලෙස ද බොහෝ දෙනා හඳුන්වන්නට වුනා.

සාර්ථක මූලික වටයේ තරග කිහිපයකින් පසු අවසන් මහා තරගයට ක්‍රීඩකයන් සූදානම්ව සිටියේ කෙසේ හෝ ඔලිම්පික් කිරුළ සිය දේශයට ගෙන යාමේ අරමුණින්.

විනිසුරුගේ විධානය සමඟින් තරගය ආරම්භ වුනා, ආරම්භයේ සිටම තරගය සිය ආධිපත්‍යට නතුකර ගැනීමට Ben Johnson සමත් වන බවක් දක්නට ලැබුණු අතර ඔහුට පසුපසින් Carl Lewis ඉදිරියට ඇදෙන්නට වුනා.

තරගයේ අවසාන මීටර් 50 තුළ දී ඉතා ඉහළ ධාවනයක් පෙන්නුම් කළ Ben Johnson තරගය තත්පර 9.79ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනේ මීටර් 100 ඉසව්වට තමන් විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාව ද බිඳ හෙළමින්.

Ben Johnson 1988 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින්          Image Courtesy: Getty Images

එම ජයග්‍රහණයත් සමඟින් 1928 වසරින් පසු කෙටිදුර ඉසව්වකින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ මුල්ම කැනේඩියානු ක්‍රීඩකයා ලෙස Ben Johnson ඉතිහාසගත වුනා.

ඔහුගේ ජයග්‍රහණය කැනේඩියානු වැසියන්ට ඉතාමත් ප්‍රීතියක් ගෙන දෙන්නක් වූ අතර එවකට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් Ben Johnson හට දුරකතන ඇමතුමක් මගින් සුබ පැතුම් එක් කර සිටියා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් එදින රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ එය කැනේඩියානු ජනතාවට පුදුමාකාර සැන්දෑවක් බවයි.

සිය ජයග්‍රාහී පදක්කම ලබාගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් Ben Johnson ප්‍රකාශ කළේ,

“මගේ ආරම්භය අල්ලන්න කාටවත් බෑ, මම කැමතියි කියන්න මගේ නම Benjamin Sinclair Johnson. ඒ වගේම මේ ලෝක වාර්තාව වසර 50ක් නොකැඩී තියෙයි සමහර විට 100ක්. ඒ වගේම මේ රන් පදක්කම, ඒක කාටවත් ඔබගෙන් උදුරා ගන්න බැරි දෙයක්.”

නමුත් ඔහුගේ ප්‍රකාශය දින දෙකකට පමණක් වලංගු කරමින් ජයග්‍රහණයෙන් දින දෙකකට පසු ඔහුගේ මුත්‍රා සාම්පල් හී තහනම් ද්‍රව්‍ය අඩංගුව තිබූ බවට තහවුරු වීම නිසා පදක්කම නැවත ලබා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළා.

ඒ අනුව රන් පදක්කම දෙවැනි ස්ථානය ලබා ගත් Ben Johnsonගේ ප්‍රතිවාදියා වුන Carl Lewis හට ලබා දෙන්නටත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කළා.

දින දෙකක ජය සැමරුමකින් පසු වැරදිකරුවෙකු වූ Ben Johnson හට බොහෝ අපහාස එල්ල වන්නට වූ අතර කැනේඩියානු පුවත්පතක් මෙම සිදුවීම වාර්තා කර තිබුණේ “වීරයාගේ සිට බිංදුව දක්වා – 9.73 (Hero to Zero – 9.73 Sec) යනුවෙනි.

කෙසේ නමුත් Toronto Star පුවත්පත විසින් මෙම තහනම් උත්තේජක ප්‍රතිඵලය නිර්මාණය කළ එකක් බවට චෝදනා එල්ල කළ අතර එම තහනම් උත්තේජක වාර්තාව කිසිදු කැනේඩියානු බලධාරියෙකු නොදැක සිටීම ද ඔවුන් ප්‍රශ්න කර සිටියා.

එම සිදුවීමෙන් පසු කැනේඩියානු ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් එම වාර්තාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙතින් ඉල්ලා සිටි නමුත් ඔවුන්ගේ කරුණු දැක්වීම මත ඔවුන් එම ඉල්ලීම අහක දැමීමට කටයුතු කළා.

එනමුත් එම වාර්තාව Ben Johnson පිළිනොගත් නමුත් 1989 වසරේ දී සිදු කළ නඩු විභාගයක් අතරතුර දී ඔහු විසින් එම උත්තේජක ලබා ගත් බවට පිළිගත් අතර ඔහු 1981 වසරේ සිට එම තහනම් ද්‍රව්‍ය ලබා ගත් බව ඔහුගේ පුහුණුකරු ප්‍රකාශ කර සිටියා.

වැරදිකරුවෙකු බවට තහවුරු වීමෙන් පසු නැවතත් 1991 වසරේ දී ක්‍රීඩා පිටියට පැමිණි Ben Johnson හට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ අතර 1993 ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්වේ අවසන් තරගයට තේරී පත්වීමට ද ඔහුට හැකි වුනේ නැහැ.

නැවතත් 1993 දී තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම නිසා Ben Johnson හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට කටයුතු කළ අතර ඔහු සිය රටට අපකීර්තියක් බවත්, ඔහුව නැවතත් ජැමෙයිකාව වෙත යැවිය යුතු බවත් එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එනමුත් පසුව සිදු කළ නඩු විභාගයන්ගෙන් පසුව ඔහුට කැනඩාව තුල තනිව තරග වැදීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ අතර 1999 වසරේ කාලය මැනීමේ තරගයකට එක්වූ ඔහු නැවත වරක් තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තහවුරු වුනා.

එලෙස තෙවතාවක් තහනම් උත්තේජක සඳහා වැරදිකරු වීම නිසා වංචාකරුවෙකු ලෙස සිය ක්‍රීඩා දිවියට සමුදීමට Ben Johnson හට සිදු වුනා.

ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් පසු 1999 දී හිටපු ලිබියානු නායක Muammar Gaddafi විසින් සිය පුත්‍රයාගේ පාපන්දු පුහුණුකරු ලෙස Ben Johnson තෝරාගැනීමට කටයුතු කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<