පදක්කමකට දුක සින්නකර දුර දුවන “ක්‍රිෂාන්තනී”

244

ඇය වේලු ක්‍රිෂාන්තනී. මෙවර කතරගම දී පැවති 46 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගයේ පළමුවැන්නී වෙන්නේ ඇයයි. 33 හැවිරිදි ඇය මෙහි දී පැය 2 විනාඩි 55 තත්පර 30කින් තරගය නිමා කරමින් දක්ෂතා දක්වනවා. මධ්‍යම පළාත නියෝජනය කළ ඇයගේ පදංචිව සිටින්නේ නුවරඑළිය, උඩුපුස්සැල්ලාවේ පිහිටි ඔල්ඩිමා වත්තයි.  

“පුංචිම කාලේ වත්තේ ඉස්කෝලෙට ගියා. හරියට කිසිම දෙයක් තිබුණෙ නැහැ. ගොඩාක් දෙනෙක් යංතම් අකුරු දෙක තුනක් ඉගෙන ගන්නකම් පාසල් යනවා. ඊට පස්සේ අම්මත්, තාත්තත් එක්ක එකතු වෙලා වත්තේ වැඩට යනවා. මගේ තාත්තා, ඒ දවස්වල පුංචි කඩයක් කළා. මේ නිසා තාත්තට උවමනාව තිබුණා මට ටිකක් ඉහළට උගන්වන්න. මම පවුලේ බාලයා. අයියයි, අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ අයගෙන් තාත්ත මට තමයි ගොඩාක් ආදරේ. අපේ පවුලේ වාසනාව මම කියල තමයි තාත්තා කිව්වේ.”

මේ වාසනාවන්තිය වත්තෙ පාසලෙන් පස්සේ අවුරුදු දෙකක් විතර සූරියගහපතන කනිෂ්ඨ විද්‍යාලයට යනවා. ඊටත් පස්සේ රාගල සාන්ත බ්‍රියනාට් ටැමිල් මහා විද්‍යාලයට. එතැනින් තමයි වේලු ක්‍රිෂාන්තනීගෙ ක්‍රීඩා කතාව පටන් ගන්නේ. 

“8 වසරේ සිටම මම දුවන්න පටන් ගන්නවා. මුල ඉඳලම මැරතන් තමයි දිව්වේ. මුලින්ම මම 2003 අවුරුද්දේ කිලෝ මීටර් 5 රේස් එකකට සහභාගී වුනා. එකෙන් 9 වැනියා වුනා. ඊට පස්සේ අවුරුද්දේ 5 වැනියා වුනා. පුහුණුවීමක් කියල හරි හැටි දෙයක් කළේ නැහැ. ඒත් මම ටිකක් මහන්සි වුනා. තාත්තගෙ කඩේට බඩු ගේන්නෙ මම. අපේ ගෙදර ඉඳල පාරට පඩි පෙළ 155ක් බහින්න ඕන. මම ඒක එක හුස්මට නගිනව බහිනව. ඒක තමයි මගේ පුහුණුවීම වුනේ. ඒ දවස්වල අපේ ගෙදරින් මේ පඩි පේළි නගින බහින වැඩිම කෙනා මම තමයි. ඒ පුහුණුවත් සමඟ මම අවුරුද්දෙන් අවුරුද්ද ඉස්සරහට ඇවිත් හතර වැනි අවුරුද්දේ දී පළමුවැනියා වුනා.”

මේ ජයග්‍රහණයත් සමඟින් ක්‍රිෂාන්තනීගේ මැරතන් ගමට නිසි මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒ තම සහෝදරයාගේ මැදිහත් වීමෙන්. 

“අයියගෙ යාළුවෙක් හිටියා කුලසිරි සමරසිංහ කියලා කෙනෙක්. එයා කිව්වා, ඔයාට මේ ක්‍රීඩාවෙන් හොඳ තැනකට යන්න පුළුවන්. හොඳ කෝච් කෙනෙක් හොයල දෙන්නම්. පුහුණුවීම්වලට සහභාගී වෙනවා ද කියලා. මම කැමති වුනා.” 

එතැන් සිට ක්‍රිෂාන්තනී, ආරියරත්න නමැති මහත්මයෙක් යටතේ මාස 6ක කාලයක් ද, ජගත් කීර්ති නැමති මහත්මයෙක් යටතේ තවත් මාස 6ක කාලයක් ද පුහුණුවීම් ලබනවා. ඒ කාලයේ දී කොට්ඨාස, පළාත් තරගවලට සහභාගී වෙන ක්‍රිෂාන්තනී 2004 වසරේ දී කනිෂ්ඨ ජාතික ක්‍රීඩා උළෙලේ දී මැරතන් තරගය ජයග්‍රහණය කරනවා. 

ඉන් අනතුරුව ක්‍රිෂාන්තනීගේ පුහුණුකරු වන්නේ නෝබට් පෙරේරා මහතා. ඔහු යටතේ පුහුණුව ලබමින් සිටිය දී 2007 වසරේ දී තංගල්ලේ දී පැවති ජාතික මැරතන් තරගයට සහභාගී වන ඇය ඉන් 7 වැනි තැන ලබා ගත්තා. ඉන් අනතුරුව එම වසරේම කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයට ද සහභාගී වෙන ඇය ඉන් 9 වැනි තැන ලබා ගත්තා. 

“ඒ දවස්වල මට හරි හැටි අඳින්න ඇඳුම් තිබුණෙ නැහැ. මේ හැම මැරතන් එකටම මම සහභාගී වුනේ සපත්තු නැතිව. ප්ලාස්ටර් ගහගෙන දිව්වේ. අවුරුදු 6ක් 7ක්ම මම දිව්වෙ ඒ විදිහට. ඒ වුනත් මම හැම මීට් එකකට පළමු දහ දෙනා අතර හිටියා.”

ක්‍රිෂාන්තනිලගෙ ශරීරවල දක්ෂතාව තිබුනත් ජීවිතවලට වාසනාව ලේසියෙන් ළඟා වුනේ නැහැ. ආවත් බොහොම කලාතුරකින්. මැරතන් ඉසව්වෙන් යා යුතු මාර්ගයක් විවර වී තිබුනත් ගෙදර දොරේ අඩු-පාඩු ක්‍රිෂාන්තනීලට දැඩිව දැනුණා.

“මම අවුරුදු 18 දී පාසල් ගමන නතර කරනවා. ඒ ගමන්ම ක්‍රීඩාව ද නතර වෙනවා. තාත්තට ඒ දවස්වල සනීප නැතිව හිටියේ. අම්මා වත්තේ දළු කඩනවා. අයියලා, අක්කලාට වුනත් හරි හැටි ආදායම් මාර්ගයක් තිබුණෙ නැහැ. ක්‍රීඩාව කරන්න  පුළුවන්. අපි ජීවත් වෙන්න ඕන. මම ගාමන්ට් එකක රස්සාවකට ගියා.” 

ක්‍රිෂාන්තනීගේ තෝරාගැනීම වුනේ කොළඹ, කිරුළපනේ ප්‍රදේශයේ වූ ගාමන්ට් එකක්. ගාමන්ට් රස්සාව කළත් ක්‍රිෂාන්තනිගේ හිතෙන් ක්‍රීඩාව අයින් වුනේ නැහැ. ඇය හැකි සෑම විටකම මැරතන් තරගවලට සහභාගී වුනා. පළාත් තරගවල පළමු තුන්දෙනා අතර ක්‍රිෂාන්තනීත් හිටියා. එතැන දී මැරතන්වලට සහභාගී වෙන්න ඉඩ ඇහිරෙද්දී ඇය වත්තල, හැඳල ගාමන්ට් එකකට යනවා. එතැනින් පස්සේ නැවතත් ගමට.

“තාත්තටට ගොඩක් අමාරු වුනා. මට කොළඹ ඉන්න හිතුණෙ නැහැ. මම ගමට ආවා. ගමේ ඉඳලා යන්න පුළුවන් ගාමන්ට් එකක වැඩට ගියා. තාත්තත් බලාගෙන හිටියා. ඒත් මැරතන් තරග හිතෙන් අයින් වුනේ නැහැ. පුළුවන් විදිහට කළා. ගාමන්ට් එකේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මීට්වලට ගිහිල්ලා, වරුවෙන් ඇවිත් වැඩ කළ අවස්ථා තියෙනවා. මීට් ළං වෙන කොට පුහුණුවිම් නිසා ගාමන්ට් එන්න පරක්කු වෙනවා. මහන්සි නිසා වැඩිපුර නිවාඩු ගන්න වෙනවා. මම වරුවක් පුහුණුවීම් කරලා ඉතිරි වරුව වැඩට එන්න අවස්ථාව ඉල්ලුවා. නමුත් එහෙම අවස්ථාවක් ලැබුණෙ නැහැ. රස්සාව ද ක්‍රීඩාව ද කියල තීරණය කරන්න කිවුවා. මම ක්‍රීඩාව තෝරා ගත්තා.”

තවත් විශේෂාංග ලිපි:

හිතේ තිබුණ ශක්තියටත්, ආසාවටත් ඒ තීරණය ගත්තත් ක්‍රිෂාන්තනීට ඒ වෙනුවෙන් වැය කරන්න වත්කමක් තිබුණෙ නැහැ. තිබුණ එකම දේ ආත්ම විශ්වාසය පමණයි. 

“ඒ විශ්වාසයත් සමඟ මම නුවර එනවා මහවැලි මීට් එකට. එතැන දී විතානගේ සර් හම්බ වෙනවා. සර් මගෙන් විස්තර ඇහුවා. මම කිවුවා. සර් කිව්වා ඔයා මේ මීට් එක දිනල පෙන්නන්න මම රස්සාවකට දාල දෙන්නම් කියලා. මම මීට් එක දිනුවා. දිනල කෙළින්ම ආයිමත් විතානගේ සර් ළඟට දිවුවා. රස්සාව මොකක්ද කියල ඇහුවා. ඒක කරන්න නම් නුවර එන්න ඕන කියල කිවුවා. ඒ වෙද්දී අප්පච්චි නැති වෙලා. අයියත් ආබාධිත තත්ත්වයට පත් වෙලා හිටියේ. දුවන්න ඕන නම් නුවර යන්නත් ඕන. අන්තිමට අම්මගේ පෙන්ෂන් එකේ සල්ලි රුපියල් 40,000ක් අරගෙන දුවන්න නුවර ආවා.”

එසේ පැමිණි ඇය, හිතවත් සහෝදරයෙක් සේවය කළ නිවාසයක පුංචි කාමර කෑල්ලක නවාතැන් ගන්නවා. එතැන් සිට පුහුණුවිම්වල යෙදෙනවා. තරගවලට සහභාගී වෙනවා. ඔය අතර පැවති කාල්ටන් මැරතන් තරගයේ දී ඇය දෙවැනි ස්ථානය ලබා ගන්නවා. එය පොරොන්දු වූ රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යෑමට සුදුසුකමක් වෙනවා.

“ගුවන් හමුදාවෙ ඉන්ටවිව් ගියා. එතැන දී නැෂනල් රෙකෝඩ් දුවන්න ඕන එතකොට තමයි ගන්නේ කියලා මාව ඉන්ටවිව් එකෙන් ෆේල් කළා. විතානගේ සර් කිව්වා මම නේවි එකටත් කියල තියෙන්නේ, ඔයා එතැනට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දෙන්න කියලා. එතකොට මට අවුරුදු 22ක්. මම කොළඹ පාරවල් දන්නෙත් නැහැ. මම කොම්පඤ්ඤ වීදියේ ඉඳලා මල්වත්ත පාරට දාඩිය දාගෙන පයින් ආවා. පැයක් විතර එළියෙ හිටගෙන ඉඳලා ඇප්ලිකේෂන් එක දීල නුවර ආවා.”

මාස 6ක විතර කාලයක් ගත වුව ද ක්‍රිෂාන්තනීට ලැබුණ රැකියාවක් නැහැ. ආර්ථික අපහසුතා ද එන්න එන්නම දැඩි වුනා. ඇය නැවතත් ගමට යෑමට තීරණය කළා. 

“ඒ වෙද්දී අම්මගෙ පෙන්ෂන් සල්ලිත් ඉවරයි. මම ගෙදර ගියා. ගාමන්ට් එකේ රස්සාව කරගෙන හිටිය නම් මෙහෙම දුක් විඳින්න ඕනෙ නැහැ. අතේ කීයක් හරි තියෙනවා. මම ආයිමත් නුවරඑළියෙ ගාමන්ට් එකකට ගියා.  මාස 4ක් විතර වැඩ කළා. මට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. දුවන්නමයි ඕන. ගෙදරින් බනිනවා දිවිල්ල පැත්තක තියලා රස්සාව කරගෙන ඉන්න කියලා. ඔය අතර මහවැලි මීට් එක ආවා. මට ලොකු විශ්වාසයක් තිබුණා, මේක දිනන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙද්දී මගේ පුහුණුවීම් නතර වෙලා තිබුණෙ. එහෙම දුවල මම ඒ මීට් එකේ පළමුවැනියා වුනා. දිනල ගිහිල්ලා ආයිමත් ගාමන්ට් එකේ වැඩ කළා.”

එසේ ගෙවෙන කාලය ඇයට ලෙහෙසි වූයේ නැහැ. මැරතන් තරගයක් ආසන්න වෙන විට ඇයට ලැබෙන පණිවිඩ මේ තත්ත්වයට හේතු වුනා. මේ හේතුවෙන් ඇය වරෙක සියල්ලන්ගෙන් මිදී විදෙස් ගත වීමටත් සිතුවා. එහෙත් අම්මගෙන් ඊට කැමැත්තක් ලැබුණෙ නැහැ. 

ඔය අතර තිබුණ යොවුන් ක්‍රීඩා උළෙල සහ මහවැලි ක්‍රීඩා උළෙල වගේ තරගවලට ක්‍රිෂාන්තනී සහභාගී වුනා. යොවුන් ක්‍රීඩා උළෙලේ අවුරුදු 2ක් ජයග්‍රහණය කළා. 2013 අවුරුද්දේ යෞවන ක්‍රීඩා උළෙලේ මීට් රෙකෝඩ් එක තිබ්බා. මහවැලි ක්‍රීඩා උළෙලේ අවුරුදු 6ක් 7ක් ජයග්‍රහණය කළා. සපත්තු නැති දෙපාවල දිය පට්ටා එන කම්ම ඒ දිවිල්ල දිවුවා.  

“මට ක්‍රීඩාව අමතක කරන්න බැහැ. මම දන්නවා මට හරි රස්සාවක් තිබුනොත් ක්‍රීඩාව දිගට ම කරගෙන යන්න පුළුවන් කියලා. ගෙදරිනුත් ප්‍රශ්නයක් නැහැ කියලා. මම නේවි එකට කෝල් කරල විස්තර කිව්වා. ඊට පහුවදා උදේ ඉන්ටවිව් එකට එන්න කිව්වා. ගමේ ඉඳල කොළඹට යන්න නම් හවස 4 බස් එකේ යන්න ඕන. සල්ලිත් නැහැ. අයිය හොයල දුන්න සල්ලිවලින් මම කොළඹ ආවා. කොළඹින් බහින්දි පාන්දර 3යි. බස් එකේම එළිය වැටෙනකම් ඉඳලා ස්ටේෂමට ගිහිල්ලා මූණ කට හෝඳගෙන ඉන්ටවිව් එකට ගියා. ඊට පස්සෙ ආයිමත් හවස බස් එකේ නැගල ගෙදර එනකොට ඊට පහුවදා උදේ 4යි.”

එය ක්‍රිෂාන්තනීගේ ඉරණම් ගමන වුනා. ඇයට නාවික හමුදාවේ දොරටු විවර වුනා. 

“නාවික හමුදාව තමයි මගේ හැම දෙයක්ම. මම අද ක්‍රීඩාවෙන් ඔළුව උස්සල ඉන්නේ නාවික හමුදාව නිසා. ජෑන්ස් දිසානායක සර් මගේ දැන් කෝච්. නාවික හමුදාවට ආවට පස්සේ කොළඹ මැරතන් එකේ ලංකාවේ එක වුනා. රේස් එකෙන්ම 4 වැනියා. ඒකෙ ටයිමින් හොඳ නිසා 2017 ජනවාරි ඩුබායි මැරතන් එක ලැබුණා. මම 18 යනවා 19 උදේ රේස් එක එදා රෑම මෙහේ එනවා. දුෂ්කර ගමනක්. ඒත් මම ඒ තරගයෙන් 15 වැනියා වෙනවා. ඒ අවුරුද්දෙම මහියංගණයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ දෙවැනියා වුනා. ආයිමත් කොළඹ මැරතන් එකේ පළමුවැනියා වෙනවා. නැවතත් ටයිමින් හොඳ නිසා චිනේ යන්න ලැබෙනවා. ඒ තරගයෙන් 4 වැනියා වෙනවා. මේ ජයග්‍රහණ ලබන්න ආපු ගමන ගොඩක් දුක් මහන්සියෙන් ආ ගමනක්. දැන් ආපස්ස බලද්දී ගොඩක් සතුටු වෙනවා.” 

ඒ සතුට මත ඇයගේ දුක් මහන්සියත් ඇය විසින්ම වර්ණවත් කරනවා. එසේ නොවන කළ මේ ජයග්‍රහණය තවත් එක් ජයග්‍රහණයක් පමණක් වීමටත් ඉඩ තිබුණා. කොළඹ සිට දිවයන මනසක ක්‍රිෂාන්තනිලාගේ උඩුපුස්සැල්ලාව නගරය යනු කඳුකරයේ මනරම් පරිසරයක්. නමුත් ක්‍රිෂාන්තනීලාට එසේ නැහැ. ඔවුන් එදා සිට අද දක්වාම මේ මනරම් පරිසරය හා ඔට්ටු වෙනවා. ඒ තම ජීවිත යහපත් කර ගැනීමට අවශ්‍ය රුපියල් හා සත එකතු කර ගැනීම වෙනුවෙන්. 

“මෙහේ ඉඳලා කොළඹ ආවේ, ක්‍රීඩා කරන්න ඇති ආසාව නිසා. ඒකට නාවික හමුදාව විශාල ශක්තියක් වුනා. සතුටු වෙන්න දෙයක් තියෙනවා නම් නාවික හමුදාවේ රස්සාව කිරීම පමණයි. බොඩිංවලට ගෙවල, ගෙවල්වල අවශ්‍යතාවන් වෙනුවෙන් වැය කරාට පස්සෙ රස්සාවෙන් ලැබෙන පඩියෙන් ඉතිරියක් නැහැ. අපි ඔක්කෝම ඉන්නෙ එක ගෙදර. ගෙවල් දොරවල් ස්ථීර තත්ත්වයෙන් නැහැ. හුළං කාලෙට ගොඩාක් බයෙන් ඉන්නේ. වහළෙ ටකරන් ගහගෙන යනවා. ගල් තියල, වැලි කොට්ට තියල තියෙන්නේ. ඒත් ඒවත් ඔරොත්තු නොදෙන කාල තියෙනවා. මම නාවික හමුදාවේ වැඩ කරනවා කියල කොරෝනාවලට දුන්න 5000 අපේ ගෙවල්වලට ලැබුණෙ නැහැ. මේ මොන අඩු-පාඩු තිබුනත් මම දුවන එක නතර කරන්නේ නැහැ. දකුණු ආසියානු මෙඩ්ල් එක රට වෙනුවෙන් දිනා දෙන්න ඕන කියල බලාපොරොත්තුව තියෙනවා. ඒකට උපරිම උත්සාහයෙන් පුහුණුවීම්වල යෙදෙනවා. ඒ ජයග්‍රහණයත් සමග ඔලිම්පික් සහභාගී වීමේත් බලාපොරොත්තු තියෙනවා” ක්‍රිෂාන්තනී පවසනවා.

ක්‍රිෂාන්තනීලගෙ කතාවෙ මල් පොකුරුවලට වඩා තියෙන්නේ ගල් බොරළු. ඒක ඒ තරමට ම දුෂ්කරයි. කටුකයි. නමුත් ඔවුන් තුළ ඇති ආත්ම විශ්වාසය ඒ සියල්ලට වඩා දරුණුයි. ඒ දරුණුකම ජයග්‍රහණය වෙනුවෙන්. ඒකත් රට දිනවන්න.

ඇයගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවායි ThePapare.com අපගේ ද පැතුමයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<