ආසියාව ජය ගත් “උඩුදුම්බර තරුව”

2068

තායිලන්තයේ බැංකොක් නුවර දී නිමා වූ 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතරින් තරුෂි දිල්සරා කරුණාරත්න වඩාත් කැපී පෙනුණා.  

ඇය තමන් සහභාගී වූ මීටර් 800 කාන්තා සහ මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වල දී රන් පදක්කම් දිනා ගත් අතර එම ඉසව්වල නව තරග වාර්තා පිහිටුවීමට ද සමත් වෙනවා.  

මේ අතරින් මීටර් 800 වාර්තාව ඇය විසින් පිහිටුවන්නේ වසර 25ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමෙන් වීම විශේෂයි. 1998 දී ජපානයේ දී පැවති 12 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී චීනයේ Zhang Sian විසින් මිනිත්තු 2.01.16කින් තබා තිබූ වාර්තාව තරුෂි විසින් බිඳ හෙළන්නේ මිනිත්තු 2.00.66ක දක්ෂතාවක් දක්වමින්.  

මේක මගේ පළමුවැනි විවෘත ජාත්‍යන්තර තරගාවලිය. ඒ නිසා ම යමක් කළ යුතුයි යන බලාපොරොත්තුවෙනුයි තරගාවලියට එක් වුනේ. සිතූ ලෙසින් ම තරගාවලිය නිමා කිරීමට ලැබීමත් සහ නව තරග වාර්තාවලට යන්න හැකි වීම ගැනත් ගොඩක් සතුටු වෙනවා. මගේ ඉසව්වේ දී ප්‍රතිවාදීන්ගෙන් හොඳ තරගයක් තිබුණා. ඒ නිසාමයි මට හොඳම කාලයකට තරගය නිමා කරන්න ලැබුණේ,” තරුෂි ThePapare.com සමඟ පැවසුවා

1993 දී මැනිලා නුවර දී දමයන්ති දර්ශා පාසල් සිසුවියක් ව සිටිය දී දිනා ගත් පදක්කමෙන් පසුව තවත් පාසල් සිසුවියක් ලෙසින් තරුෂි පදක්කමක් දිනා ගන්නේ වසර 30කට පසුව වීමත් විශේෂයක්. එමෙන් ම ආසියානු කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරතාවලියක දී පදක්කමක් දිනා ගත් සිව්වැනි මෙරට ක්‍රීඩිකාව බවට ද ඇය පත්වුනා. ඊට පෙර ඒ සඳහා දායක වී තිබුණේ දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ සහ විදුෂා ලක්ෂානි.  

තායිලන්තයේ පුහුණුවීම්වල දී කකුල යම් ආබාධිත තත්ත්වයකට ලක් වුනා. ඒ නිසා මගේ ඉසව්වලට සහභාගී වෙන්න පුළුවන් ද කියන අවිනිශ්චිත තත්ත්වයක තිබුණේ. කොහොම වුනත් ලැබුණ වෛද්‍ය ප්‍රතිකාර සමඟින් තරගයට සහභාගී වීමට යම් විශ්වාසවන්ත බවක් ඇති වුනා. කකුලෙ අමාරුව යටපත් කරගෙන තමයි තරගයට සහභාගී වුනේ, තරුෂි ඒ අභියෝගාත්මක තරගාවලියේ මතකයන් අවධි කළා.  

තරුෂි එම තත්ත්වය යටතේ එම ඉසව්වෙන් පමණක් නොවේ, මීටර් 400 කාන්තා සහය දිවීමේ ඉසව්වට ද සහභාගී වෙනවා. එහි දී ඇය නදීෂා රාමනායක, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ සයුරි මෙන්ඩිස් සමඟ එක් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. එම ඉසව්ව ඔවුන් විසින් මිනිත්තු 3.33.27කින් නිමා කරන ලද අතර එය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි සැලකෙන්නේ.  

ගොඩක් දුර යන්න තියෙනවා. මේ ආරම්භය විතරයි,” තරුෂි පවසනවා.  

තරුෂිගේ ගමන් මඟ ගොඩ නැගෙන්නේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සහ සුසන්ත ප්‍රනාන්දු නැමති අසහාය පුහුණුකරුවා හරහා.  

අම්මගෙන් තාත්තගෙන් පස්සේ මගේ ජීවිතයේ වඩාත් ම සමීප පුද්ගලයා වෙන්නේ සුසන්ත සර්. මම අද සිටින මේ තත්ත්වයට ගෙනාවේ සුසන්ත සර්. මම මේ තරමින් මේ ගමන එන්න විශාල ලෙස මහන්සි වුනා. කැපවුනා. සුසන්ත සර් ද ඒ ලෙසින් ම මගේ පිටුපස සිටිමින් මාව මේ තැනට තල්ලු කළා. මේ ජයග්‍රහණ පිටුපස සිටින යෝධ ශක්තිය සුසන්ත සර්,” තරුෂි ගෞරවාන්විත ව පවසනවා. 

තරුෂිලා ජීවත් වුනේ උඩුදුම්බර, දඹගහපිටිය කියන ග්‍රාමයේ. මුලින් ම පාසල් යන්නේ උඩුදුම්බර චූලාභය ද්විතික පාසලට. එතැනින් තමයි ඇය පළමු වරට මලල ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ. ඇයගේ මේ මලල ක්‍රීඩාවට පිවිසීමේ කතාව පිටුපස තවත් සුවිශේෂී චරිතයක් සිටිනවා. ඒ ඇයගේ අයියා, හර්ෂ කරුණාරත්න නැමති ආසියානු පදක්කම්ලාභියා 

මගේ අයියා දුවනවා දැකල තමයි මමත් කුඩා දවස්වල සිට ම දුවන්න උනන්දුවක් ඇති වෙන්නේ. ඒ දවස්වල අයියා සමස්ත ලංකා තරගවලට පවා සහභාගී වෙනවා. තරග ජයග්‍රහණය කරනවා දැකල ඒකට ආසාවක් ඇති වුනා. ඒ අනුවයි මම මලල ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ.” 

තරුෂි කියන මේ කාලයේ දී ඇයට වයස අවුරුදු 9ක් පමණක් වෙන්නැති. චූලාභය ද්විතියික පාසලේ ක්‍රීඩා භාරව සිටියේ පුෂ්පා කුමුදුනී යාපාරත්න මහත්මිය. ඇය යටතේ මලල ක්‍රීඩාවේ මුලකුරු කියැවූ තරුෂි පළමු වරට සහභාගී වෙන්නේ කෙටි දුර ධාවන තරගවලට.  

චුලාභයේ දී මගේ දක්ෂතා කලාප තරගවලට පමණක් සීමා වුනා. මේ අතර 8 වසරේ ඉගෙන ගනිද්දී මට වලලට එන්න මඟ පෑදෙනවා. ඒකට උදව් කරන්නේ සුසන්ත සර්. අයියත් වලලෙ නිසා ගෙදරටත් ඒක විශාල පහසුවක් වෙනවා.” 

එසේ පැමිණි ඇය තමන් සහභාගී පළමු තරගාවලිය වූ මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 සහ මීටර් 800 ඒකල ඉසව්වලින් නව තරග වාර්තා තබමින් රන් පදක්කම් දිනා ගන්නවා. එමෙන් ම මීටර් 400 සහ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වලිනුත් ඇය රන් පදක්කම් දිනා ගනිමින් තරගාවලියේ 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙනවා.  

එතැන් සිට මීටර් 400 සහ 800 ඉසව් ද්විත්වයේ ජයකෙහෙළි නැංවීමට තරුෂි සමත් වෙනවා. ඒ අනුව  ඇය 2019 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී මිටර් 400 සහ මීටර් 800 ඉසව්වල නව තරග වාර්තා තමන් නමින් ලියා ගැනීමටත් සහ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 ඉසව්වේ තරග වාර්තාව තමන් නමින් ලියා ගැනීමටත් සමත් වෙනවා.  

නමුත් කොරෝනා වසංගතය නිසා ලොක්ඩවුන් වූ මලල ක්‍රීඩා පිටිය තරුෂිලාගේ ගමනේ යම් පසුබෑමක් ඇති කළා. එහෙත් ඒ මාස කිහිපයකට පමණක් සීමා කිරීමට ඔවුන් සමත් වෙනවා.  

මම වලලෙ හොස්ටල්වල සිටයි පාසල් ගියේ සහ පුහුණුවීම්වලට ගියේ. ඒත් කොරෝනා නිසා හොස්ටල් වහපු එක මගේ ක්‍රීඩා පුහුණුවීම්වලට විශාල බලපෑමක් වුනා. මේ හේතුව නිසා අපි ගෙදර හැමෝම පාසල කිට්ටුව ගෙයක් කුලියට අරගෙන පදිංචියට ආවා.” 

ඒ අනුව නැවත වතාවක් නොකඩවා පුහුණුවීම්වල නිරත වීමට තරුෂිට අවකාශය උදා වෙනවා. ඒ හේතුවෙන් ම ඇයට 2022 වසරේ දී කොලොම්බියාවේ පැවති ලෝක ශූරතා වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වෙනවා. එහි දී ඇය පදක්කම් නොලැබුවත් මීටර් 400 ඉසව්ව තත්පර 54.13කින් නිමා කිරීමට සමත් වෙනවා.  

එමෙන් ම ඇය මේ වසරේ දකුණු කොරියාවේ දී පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ද පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වෙනවා. එහි දී ඇය මීටර් 800 බාලිකා ඉසව්වේ දී රන් පදක්කම දිනා ගන්නේ මිනිත්තු 2.05.63ක දක්ෂතාවක් දක්වමින්. එමෙන් ම ඇය මීටර් 400 බාලිකා ඉසව්ව තත්පර 53.7කින් නිමා කරමින් එහි රිදී පදක්කම දිනා ගත්තා. 

ඊට පසුවයි තරුෂිගේ මේ පදක්කම් පෙළහර. 

මේ ගමන මේ තරමින් එන්න බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මගේ මලල ක්‍රීඩා ජීවිතය වෙනුවෙන් අයියා අවුරුද්දකට වැඩි කාලයක් ක්‍රීඩාව නතර කළා. සුළු රැකියාවල නිතර වෙන අම්මත්, තාත්තත් බොහොම අර පරිස්සමෙන් ඉතිරි කරල තියෙන දේවල් පවා මගේ ක්‍රීඩාව වෙනුවෙන් යෙදවූවා. කිසිම අඩුවක් කළේ නැහැ. පුළුවන් විදිහට හැමදෙයක් ම දරාගෙන කළා.” 

තරුෂිගේ පියා ඩී. එම්. කරුණාරත්න. රැකියාවක් ලෙසින් කරන්නේ ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙසිනුයි. මව නිලූෂිකා දිල්රුක්ෂි අබේවර්ධන. දිගන මාබේරියතැන්න දෙමළ මහා විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරනවා. 

අම්මත්, තාත්තත් හැකි සෑම ආකාරයකින් ම උදව් උපකාර කරනවා. මගේ ක්‍රීඩා ජීවිතය ඔවුන්ට අමතර බරක් වූවත් කවදාවත් ඒ ගැන කියල මගේ ගමන අඩාල කරල නැහැ. ඔවුන් මටත් වඩා මගේ පුහුණුවීම් කටයුතු, අධ්‍යාපනය කටයුතු සොයා බලමින් ඊට යොමු කරනවා.” 

තරුෂිගේ නංගි ශිහාරා කාවින්දි කරුණාරත්න. ඇය ද මේ වෙද්දී මලල ක්‍රීඩා පිටියේ දක්ෂතා දක්වන්නියක් බවට පත් වෙලා. මේ වෙද්දී වයස අවුරුදු 14න් පහළ කාණ්ඩය නියෝජනය කරන ඇය කෙන්ගල්ල ජාතික පාසලේ ඉගනුම ලබන අතර නිමා වූ වත්තේගම කලාප තරගාවලියේ දී තම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට ද සමත් වූවා. 

රටක් කතා වෙන පදක්කම් ගත් තරුෂි, මේ ගමන එන්න මඟ හසර සලසා ගැනීමේ දී ඇයත් සමඟ බොහෝ දෙනෙක් එකතු වූ බවකුයි ඇය පවසන්නේ. ඒ අතර  පුෂ්පා කුමුදුනී යාපාරත්න, ස්වර්ණ පාලිත, ඉවෝන් අබේවික්‍රම, යමුනා රත්නායක , ඉරංග අකලංක, රශ්මි ලෝචන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස සිටිනවා.  

එමෙන් ම තරුෂිගේ මලල ක්‍රීඩා දිවියේ ආරම්භයේ සිට ම මට උදව් උපකාර කරන සුජීව වික්‍රමසිංහ, චමින්ද ජයරත්න සහ වෛද්‍ය රනිල් ජයවර්ධන යන මහත්වරුන් ද මහින්ද කල්පගේ මහතා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයටත්, වලල ඒ රත්නායක විද්‍යාලයේ සහ චූලාභය ද්විතීයික පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සහ ඇයත් සමඟින් ක්‍රීඩාවේ නියුතු සෑම කෙනෙක්මත් ආදරයෙන් සිහිපත් කිරීමට ඇය අමතක කළේ නැහැ.  

මේ අයත් සමඟින් මම නොදන්නා අය පවා මගේ මලල ක්‍රීඩා ජීවිතයට උදව් කළා. ලංකාවේ වගේ ම පිටරටවල අයත් මේ අතර සිටිනවා. ඒ වගේ ම ක්‍රිස්බෝ ආයතනයත්, රිස්බරි ආයතනයත් මා වෙනුවෙන් දක්වනු ලබන අනුග්‍රහයට ස්තූතිය පුද කළ යුතුයි.” 

ඔවුන්ගෙන් ලැබෙන ශක්තියත් සමඟින් මලල කෙළිබිමේ දිගු ගමනක් යෑමට ඇය තම පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සමඟින් පිඹුරුපත් සකසනවා. එය එකින් එක, බොහෝ සීරු මාරුවට යා යුතු ගමනක් ලෙසයි ඔවුන් දකින්නේ.  

මේ ගමනේ සැලසුම්කරු වන්නේ සුසන්ත ප්‍රනාන්දු සර්. සර් තමයි මගේ ගමන තීරණය කරන්නේ. සර්ගෙත් මගෙත් ඉලක්කය වුනේ අඩු වයසින් ආසියානු පදක්කමකට යෑම. ඒ ගමන නව තරග වාර්තාවක් සමඟින් යන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඉදිරියේ දී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග තියෙනවා. ඊට සුදුසුකම් ලබා ගැනීම පළමු අරමුණයි.  

ඊට පසුව ආසියානු තරගාවලියේ දී පදක්කමකට යෑමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරනවා. විවේකයක් ගැන හිතන්නේ නැහැ. විවේකයකට වඩා පදක්කමක් ලැබුණහම තියෙන සතුට ගොඩක් වැදගත්. ඒ නිසා පදක්කමක් ලබා ගැනීමට ඒ විවේකය කැප කරනවා,” තවමත් 19 හැවිරිදි වියේ පසුවෙන තරුෂි කරුණාරත්න ThePapare.com සමඟ පැවසුවා 

එකී කැපවීම මතින් ලෝකයක් ජය ගන්නට පෙරුම් පුරන තරුෂි දිල්සරා කරුණාරත්නට ThePapare.com හී සුබ පැතුම්! 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<