චන්ද්‍රගුප්ත, අසලංක හා සිතාර ශතක අතරට

980

අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (19) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

අද දිනය තුල පන්දු යැවීමෙන් මොහොමඩ් ශිරාස් හා අදීශ තිලංචන වැඩි දස්කම් දක්වද්දී පිතිකරණයෙන් රොන් චන්ද්‍රගුප්ත, සිතාර ගිම්හාන හා චරිත් අසලංක දස්කම් දැක්වීමට සමත් විය.

සම්මුගේ ශතකය බස්නාහිර උතුරේ දැවැන්ත ජයට පාර කපයි

අන්තර් පළාත් 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) දිනය තුල තවත් තරග කිහිපයක්ම ආරම්භ වූ …

උතුරු පළාත හා මධ්‍යම පළාත

A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වූ මෙම තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී ආරම්භ විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ මධ්‍යම පළාත් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

උතුරු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 93ක් තරම් අඩු මට්ටමේ ලකුණු සංඛ්‍යාවකි. එහි දී රාජු කජානත් නොදැවී ලකුණු 28*ක් රැස්කර ගන්නා ලදි. දකුණතින් මඳ වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් ලකුණු 40ක් තුල කඩුලු 6ක් දවා ගන්නා ලදි. ලහිරු සමරකෝන් කඩුලු 3යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට, මධ්‍යම පළාත් කණ්ඩායම උතුරු පළාත් පළමු ඉනිම අභිබවා ලකුණු 189ක් ඉදිරියෙන් පසුවේ. එහි දී තෙවන කඩුල්ල සඳහා සුපිරි සබඳතාවයක් ගොඩනැංවීමට සහය වුන රොන් චන්ද්‍රගුප්ත ලකුණු 137ක් ලබාගෙන පෙර තරගයේ දී ගිලිහී ගිය ශතකය මෙම තරගයේ දී වාර්තා කිරීමට සමත් විය. ඔහුට අමතරව ඩිලාන් නයනජිත් ලකුණු 40යි. දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටින වනිඳු හසරංග ලකුණු 34*යි.

උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 93 (25.4): රාජු කජානාත් 28*, රිසිත් උපමාල් 22, මොහොමඩ් ශිරාස්  6/40, ලහිරු සමරකෝන් 3/22

මධ්‍යම පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 282/4 (49): රොන් චන්ද්‍රගුප්ත 137, ඩිලාන් නයනජිත් 40, වනිඳු හසරංග 34*, නිමේෂ් ගුණසිංහ 26

බස්නාහිර පළාත් මධ්‍යම හා උතුරු මැද පළාත

කොළඹ බ්ලුම්ෆීල්ඩ් තණතීරුව මත කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු මැද පළාත් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලද්දේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් සිදු වන අපහසුතාව වළක්වා ගැනීමටයි. ඔවුන් සිතූ පරිදිම තරගය ආරම්භ වී මොහොතකට පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

වර්ෂාවෙන් පසුව යළිත් පිටියට පැමිණි බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් අකීල් ඉන්හාම් ලකුණු 73ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුට සහය දුන් අනුක් ප්‍රනාන්දු හා ලහිරු විමුක්ති පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 30ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුන සදීප නිස්සංක ලකුණු 9ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. අවසානයේ බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම ලකුණු 204කට සීමා විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත් කණ්ඩායම පළමු දිනය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා ගන්නා ලදි. එහි දී දිනෙත් තිමෝද්‍ය අගනා පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 35 යි. උතුරු මැද පළාත් කණ්ඩායම බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිමට වඩා තවත් ලකුණු 155ක් පසුපසින් පසුවෙයි.

බස්නාහිර පළාත් මධ්‍යම  පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 204 (55.3): අකීල් ඉන්හාම් 73, අනුක් ප්‍රනාන්දු 37, ලහිරු විමුක්ති 30, සංදීප නිස්සංක 3/09, චන්දුල වීරරත්න 2/21, චතුරංග අබේසිංහ 2/32, ජගත් සඳරුවන් 2/45.  

උතුරු මැද පළාත් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවකු නොදැවී ලකුණු 49 (10): දිනෙත් තිමෝද්‍ය 35*.

බස්නාහිර පළාත් දකුණ හා දකුණු පළාත

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ඇරයුම් කළේය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමට සිය පළමු ඉනිම එතරම් සාර්ථක කර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් අධිෂ්ඨානශීලී පිතිකරණය නිරත වූ මින්හාජ් ජලීල් ලකුණු 36ක් රැස්කරගෙන බස්නාහිර පළාත් දකුණු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට, ඔහුට සහය දුන් මාධව නිමේෂ් හා මලිඳු මදුරංග පිළිවෙළින් නොදැවී ලකුණු 27*ක් හා ලකුණු 24ක් රැස්කර ගන්නා ලදි.

දකුණු පළාත් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුන අදීශ තිලංචන ලකුණු 23ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඔහුට අමතරව චරිත් අසලංක හා තිලංග උදේශන කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 243ක් රැස්කරගෙන ඉතා ප්‍රබල තත්ත්වයක දකුණු පළාත් කණ්ඩායම පසුවේ.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින සිතාර ලකුණු 101*යි. අසලංක ලකුණු 100 රැස්කළ වහාම දැවී ගියේය. පන්දු යැවීමේ දී මිශේන් සිල්වා කඩුලු 2යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට, දකුණු පළාත් කණ්ඩායම බස්නාහිර පළාත් දකුණු පළමු ඉනිමට වඩා ලකුණු 126ක් පෙරමුණේ පසුවෙයි.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 117 (41.4): මින්හාජ් ජලීල් 36, මාධව නිමේෂ් 27*, මලිඳු මදුරංග 24, අදීශ තිලංචන 5/23, චරිත් අසලංක 2/29, තිලංග උදේශන 2/44.

දකුණු පළාත පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 243/2 (45): සිතාර ගිම්හාන 101*, චරිත් අසලංක 100, මිශේන් සිල්වා 2/39.

මෙම තරග සියල්ලකම දෙවන හා අවසන් දිනය හෙට (20) එම ක්‍රීඩාංගණවල දී ම පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට