ස්ටීවන් කරී හඳ බලන්න යන්න හදයි

163

මිනිසා සඳ මත පා තැබු බව විශ්වාස කරන්නෝද, විශ්වාස නොකරන්නෝද සිටිති. එහෙත් NBA ත්‍රිත්ව ශූරයෙකු වන ස්ටීවන් කරී සිටින්නේ එය විශ්වාස කරන්නට තවත් සාක්ෂි සොයන්නන්ගේ පැත්තේය

මේ සතියේදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක සඳහන් වූයේ 1969 වසරේදී මිනිසා සඳ මත පා තැබූ බව ඔහු විශ්වාස නොකරන බවයි. ඒත් සමඟින්ම හූස්ටන් නුවර ස්ථාපිත NASA චන්ද්‍ර විද්‍යාගාරයේ සංචාරයක් සඳහා ඔහුට ලැබුණු ආරාධනාව ඔහු විසින් පිළිගෙන ඇත.

“Winging it” නම් ශ්‍රවණ වැඩසටහනට සහභාගී වෙමින් තමන්ගේ සහෝදර ක්‍රීඩකයන් දෙදෙනෙකු වන වින්ස් කාටර් සහ කෙන්ට් බෙන්ස්මෝර් යන දෙදෙනාගෙන්ද සඳ මත පා තැබීම විශ්වාස කරන්නේද යන්න විමසූ කරී හට ලැබුණු පිළිතුරු වලින් කියවුණේ ඔවුන්ද සඳ මත පා තැබීම විශ්වාස නොකරන බවයි.

“ඔවුන් අපිව අල්ලගන්න එනවාය කියලත් මම විශ්වාස කරන්නේ නෑ.” ස්ටීවන් කරී ඉන්පසුව එසේ පවසා තිබුණි. ඒ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් පිළිබඳව නැගෙන මතවාද ගැනද, නැතහොත් ප්‍රධාන ධාරාවේ මතයන්ට විරුද්ධ වන “ප්‍රති-මතධාරීන්ට” අත්වන අද්භූත ඉරණම් ගැනද යන්න තෝරාබේරා ගැනීම අපහසු විය. කෙසේවෙතත්,

“මට කුමන්ත්‍රණයක් පටන්ගන්න ඕන නෑ.” යනුවෙන් පවසමින් ඔහු කතාව අවසන් කළ බවද සඳහන් වේ.

දැනට ලොව සිටින දක්ෂතම ලකුණු තුන බැගින් රැස්කරන්නා (3 point shooter) ලෙස සැලකෙන ස්ටීවන් කරී තෙවරක් තම NBA පැසිපන්දු කණ්ඩායම වන ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම සමඟින් NBA ශූරතාවයන් තුනක් දිනා ඇත. ඉන් දෙකකදී වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔහුට හිමිවිය. ලකුණු 3 බැගින් රැස්කරන දිගු විදුම් සිදුකරමින් තරග තුළදී ඔහු පෙන්වන ජයග්‍රාහී ඉරියව්වද සඳමත ඇවිදින මිනිසෙකුගේ මෙන් වීම විනෝදජනක ය. එහෙත් ඔහුගේ අලුත්ම විවාදයෙහි අතීතය මඳක් සිහිකරගනිමු.

media.golfdigest.com – ඔහු පෙන්වන ජයග්‍රාහී ඉරියව්වද සඳමත ඇවිදින මිනිසෙකුගේ මෙන් වීම විනෝදජනක ය

1969 වසරේදී මිනිසා පළමුවරට සඳ මත පා තැබූ බව සටහන් වූ අතරම එය ලොවම පුදුමයට පත්කරමින් ඇමරිකාව ලොව පුරා ජනප්‍රිය කිරීමට සමත් පුවතක් විය. ඇමරිකානුවන් සඳ මත ඇවිදින වීඩියෝ දර්ශනද ජනතාවට නැරඹීමට හැකිවීම නිසා එය සැබෑම ආශ්චර්යයක් ලෙස පොදු ජනයා විසින් සැලකුණේය. එවකට රුසියානු සහ ඇමරිකානු රටවල් අතර අභ්‍යවකාශයේ බලය තහවුරු කරගැනීම සඳහා පැවති සීත යුද්ධයේදී ඇමරිකාව තම ශක්තිය ප්‍රදර්ශනය කළ ප්‍රබල අවස්ථාවක් ලෙස එය සැලකිණි.

එහෙත් පසුකාලීනව ඒ පිළිබඳ ප්‍රතිමතයක් ගොඩනැගෙන්නට විය. එහිදී කියවුණේ නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඕල්ඩ්‍රින් ඇතුළු කණ්ඩායම සඳ මත පා තැබීමේ පුවත තිර පිටපතකට අනුව කෙරුණු රංගනයක් බවයි. විශේෂයෙන්ම සඳ මත පිහිටුවනු ලැබූ ධජය සුළඟට ලෙලදීම වැනි කරුණු ගැන කතාබහක් ඇතිවිය. එහිදී ප්‍රති-මතධාරීන් පැවසුවේ සඳ මත වායුගෝලයක් නොමැති පසුබිමක එසේ ධජ ලෙලදීමක් සිදුවිය හැකිද යන්නයි.

ඇමරිකානුවන්ගෙන් 20%ක්, බ්‍රිතාන්‍යයන්ගෙන් 25%ක්, රුසියානුවන්ගෙන් 28% එය විශ්වාස නොකළ බව, සිදුකරන ලද සංගණනයකදී පැහැදිළි විය. සඳ මත පා තැබීම සත්‍යයක් බව ජනගත කිරීම සඳහා CIA ඇතුළු සංවිධාන කිහිපයක් මඟින් අරමුදල් සැපයූ බවටද මත පළවිය. ලෝක පාලකයන් ජනතාවට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ගැන විශ්වාස කරන්නන් (Conspiracists) තවතවත් හේතු දක්වමින් මෙය කුමන්ත්‍රණයක් බව කීවේය.

කෙසේවෙතත් 30 හැවිරිදි සුපිරි පැසිපන්දු ක්‍රීඩක ස්ටීවන් කරීගේ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය පිපිරී ගියේය. ඔහුගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේ ප්‍රකාශකයෙකු සඳහන් කොට තිබුණේ,

“1969 සිට 1972 දක්වා කාලය තුළ ඇමරිකානුවන් දොළොස්දෙනෙකු සඳ මත පා තබා ඇති බවට සාක්ෂි තිබෙනවා.” යනුවෙනි.

“අප කැමතියි කරී මහත්මයා අපේ හූස්ටන් වල තියෙන ජොන්සන් ආකාශ මධ්‍යස්ථානයට ගිහින් චන්ද්‍ර විද්‍යාගාරයේ සංචාරයක යෙදෙනවනම්. සමහරවිට ලබන පාර වොරියර්ස් කණ්ඩායමම රොකට්ස් එක්ක (Houston Rockets – හූස්ටන්හි NBA පැසිපන්දු කණ්ඩායම) සෙල්ලම් කරන්න ඒවි.” යනුවෙන්ද ඒ ප්‍රකාශකයා සඳහන් කොට තිබුණේ උපහාසයෙනි.

“ඔහු ආවහම ඔහුට මුලින්ම අපි අවුරුදු 50කට කලින් කරපු දේවල් අතපත ගාන්න ලැබේවි. ඒ වගේම තව ටික කාලෙකින් ආයෙත් අපි ඒ වැඩේම කරන්න අපි දැනට වැඩකරගෙන යන හැටිත්. හැබැයි මේ සැරේ අපි යන්නේ ඉන්නමයි” ඔහු තවදුරටත් පවසා තිබුණේ සඳ මත ජනාවාස ඉදිකිරීමේ NASA වැඩපිළිවෙල සිහිකරමිනි.

එළඹෙන නව වසරේ මාර්තු 23 වැනිදා හූස්ටන් රොකට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගී වීමට ස්ටීවන් කරී ඇතුළු ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම සූදානමින් සිටින නිසා කරීට විද්‍යාගාරයට යාමට සැබවින්ම අවස්ථාවක් ලැබෙනු ඇත. ඒ පිළිබඳ ධනාත්මක ඉඟි පළකරමින් CNN නාලිකාවේ ට්විටර් පණිවුඩයක් පහළ ස්ටීවන් කරී විසින් අව් කණ්නාඩි පැළඳ සිටින ඉමොජි රුවක් සටහන් කොට තිබිණි.