සම්මුගේ ශතකය බස්නාහිර උතුරේ දැවැන්ත ජයට පාර කපයි

1584

අන්තර් පළාත් 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) දිනය තුල තවත් තරග කිහිපයක්ම ආරම්භ වූ අතර අද (16) එම තරගවල අවසන් දිනය ක්‍රියාත්මක විය. දිනය තුළ පිතිකරණයෙන් සම්මු අශාන්, රොන් චන්ද්‍රගුප්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් නිශාන් පීරිස් දස්කම් දැක්වීමට සමත් විය.

සඳකැන් හා සචිතගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබලයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු…

බස්නාහිර පළාත් උතුර හා ඌව පළාත

B කාණ්ඩයේ මෙම තරගය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. ඌව පළාත කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට තීරණය කර අතර බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඉනිමක හා ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

පළමුව පිටියට පැමිණි ඌව පළාත් පිතිකරුවන් පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 163ක් රැස්කර ගන්නා ලදි. නවිඳු නිර්මාල් ලකුණු 64යි. ඔහුට සහය වූ එම්. දිනෙත් ලකුණු 37යි. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ බස්නාහිර පළාත් උතුර වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 70ක් වාර්තා කළේය. ඊයේ දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටියේ ඌව පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 26ක් පසුපසින් සිටිමිනි.

දෙවන දිනය වූ අද දිනය තුල ඔවුන්ගේ ඉනිම තවතවත් සවිමත් කළ සම්මු අශාන් අගනා ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. සහන් ආරච්චිගේ හා චරණ නානායක්කාර පිළිවෙළින් ලකුණු 35ක් හා ලකුණු 33ක් රැස්කර ගත්තේ බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම ලකුණු 292ක් වෙත ගෙන යමිනි. පන්දු යැවීමේ දී එස්. ගොබිනාත් කඩුලු 5යි.

ලකුණු 129ක පළමු ඉනිමේ අවාසියක් ද සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ඌව පළාත් කණ්ඩායමේ ලිසුල ලක්ෂාන්ට හැරෙන්නට අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක වීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

එහි දී ලිසුල ලකුණු 54ක් සමඟින් තම අර්ධ ශතකය සාර්ථක කර ගත්ත ද, ඌව පළාත ඉනිමක පරාජයෙන් ගලවා ගන්නට එම ඉනිම ප්‍රමාණවත් නොවීය. නිශාන් හා දුවිඳු පිළිවෙළින් කඩුලු 5ක් හා 4ක් දවා ගන්නා ලදි.

ඌව පළාත පළමු ඉනිම  – සියල්ලන්ම  දැවී ලකුණු  163 (45.1): නවිඳු නිර්මාල් 64, එම්. දිනෙත් 37, බිනුර ප්‍රනාන්දු 5/20.

බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  292 (76.5): සම්මු අශාන් 108, පැතුම් නිස්සංක 70, සහන් ආරච්චිගේ 35, චරණ නානායක්කාර 33, එස්. ගොබිනාත් 5/69.

ඌව පළාත දෙවන ඉනිම  – සියල්ලන්ම  දැවී ලකුණු 121 (43.3): ලිසුල ලක්ෂාන් 54, නිශාන් පීරිස් 5/27, දුවිඳු තිලකරත්න 4/38.


වයඹ පළාත හා උතුරු මැද පළාත

පනාගොඩ යුධ හමුදා  පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය උතුරු මැද පළාත් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට උතුරු මැද පළාත සමත් විය.

උතුරු මැද පළාතේ ඇරයුමින් පිටියට පැමිණි වයඹ පළාත් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 104ක් ලබා ගන්නා ලදි. එහි දී සචින් දිල්රංග ලකුණු 20ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී හෙලක්මාල් නානායක්කාර ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තේය. චන්දුල වීරරත්න කඩුලු 3යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 158ක් ලබා ගත්තේ හෙලක්මාල්ගේ අගනා ලකුණු 69ත් සමඟයි. ලකුණු 54ක පළමු ඉනිමේ වාසියක්ද ලබා ගත් උතුරු මැද පිතිකරුවන් යම්තාක් මට්ටමකට දමනය කළ අසිත ප්‍රනාන්දු හා සචින්ත පීරිස් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

තරගය දෙවන දිනයට ආරම්භ වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරන වයඹ පළාත් කණ්ඩායම  කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබාගෙන සිටි අතර එතැන් සිට තම කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 247ක් දක්වා ඔසවා තැබීමට රුක්ෂාන් ප්‍රනාන්දු හා මිනෝද් භානුකගේ සබඳතාවය වයඹ පළාතට බෙහෙවින් ඉවහල් විය. එහි දී රුක්ෂාන් අනර්ඝ නොදැවී ලකුණු 86*ක් ලබා ගත් අතර, මිනෝද් ලකුණු 70යි. චන්දුල වීරරත්න හා හරිත් මදුවන්ත කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 194ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි උතුරු මැද කණ්ඩායමට තරගය අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණි. එහි දී දිනෙත් තිමෝද්‍ය වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 89ක් වාර්තා කළේය. සචින්ත පීරිස් කඩුලු 4ක් දවා ගනිමින් තම කණ්ඩායම පූර්ණ පරාජයකින් ගලවා ගන්නා ලදි.

මෙම A කාණ්ඩයේ තරගය අවසානයේ තවත් ලකුණු දෙකක් ලබා ගැනීමට උතුරු මැද පළාත් කණ්ඩායමට හැකි වූයේ නම් ඔවුන්ට පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණි.

වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  104 (29.1): සචින් දිල්රංග 20 , හෙලක්මාල් නානායක්කාර 5/34, චන්දුල වීරරත්න 3/15.

උතුරු මැද පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 158 (57.3): හෙලක්මාල් නානායක්කාර 69, අසිත ප්‍රනාන්දු 3/34 , සචින්ත පීරිස් 3/43.

වයඹ පළාත් දෙවන ඉනිම –  247/9 dec (54): රුක්ෂාන් ප්‍රනාන්දු 86*, මිනෝද් භානුක 70, චන්දුල වීරරත්න 3/32, හරිත් මදුවන්ත 3/50.

උතුරු මැද පළාත් දෙවන ඉනිම – 192/9 (51):  දිනෙත් තිමෝද්‍ය 89, සචින්ත පීරිස් 4/61, තරිඳු රත්නායක  3/54.


මධ්‍යම පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ මධ්‍යම පළාත් කණ්ඩායම කෝල්ට්ස් තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පළමුව පිතිකරණයට පිටියට පැමිණි බස්නාහිර පළාත් මධ්‍යම පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 249ක් රැස්කර ගන්නා ලදි. එහි දී හිමාශ ලියනගේ ලකුණු 75ක් ලබා ගන්නා විට, අකිල් ඉන්හාම් ලකුණු 53යි. පන්දු යැවීමේ දී ලක්ෂාන් ප්‍රනාන්දු හා මොහොමඩ් ශිරාස් කඩුලු 4 බැගින් දවාලන ලදි.

ඊයේ දිනය අවසන් වන විට මධ්‍යම පළාත් දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී  ලකුණු 183යි.

දෙවන දිනය වූ අද දිනය තුල ලකුණු 70ක් ලබාගෙන සිටි තානුක දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි. දක්ෂ පිතිකරණයක නිරත වූ රොන් චන්ද්‍රගුප්ත අවාසනාවන්ත ලෙස ශතකයට එක් ලකුණක් පමණක් ඉතිරිව තිබිය දී දැවී ගියේය. සහන් නානායක්කාර හා ජනිත් ලියනගේ කඩුලු 3 බැගින් දවා ගනිමින් මධ්‍යම පළාත් පළමු ඉනිම ලකුණු 298කට සීමා කරවිය.

ලකුණු 49ක පළමු ඉනිමේ අවාසියක් ද ඇතිව පිටියට පියමං කළ බස්නාහිර පළාත් මධ්‍යම පිතිකරුවන්ට දිනය අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 226ක් පමණයි, මනෙල්කර් ද සිල්වා හා ජනිත් ලියනගේ අගනා සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවා ගන්නා ලදි.

මනෙල්කර් ලකුණු 67ක් ලබාගත් අතර, ජනිත් නොදැවී ලකුණු 59ක් රැස්කර ගන්නා ලදි. සධීර සමරවික්‍රම ලකුණු 51යි. පන්දු යැවීමේ දී මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් ප්‍රනාන්දු හා චරිත් සුදාරක කඩුලු 2ක බැගින් දවාලන ලදි.

මධ්‍යම පළාත් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම  – දැවී ලකුණු 249 (53.2): හිමාෂ ලියනගේ 75, අකිල් ඉන්හාම් 53, මොහොමඩ් ශිරාස් 4/55,  ලක්ෂාන් ප්‍රනාන්දු 4/60.

මධ්‍යම පළාත් පළමු ඉනිම  – සියල්ලන්ම දැවී ලකුණු 298 (77.4): රොන් චන්ද්‍රගුප්ත 99, තානුක දාබරේ 70, සහන් නානායක්කාර 3/58, ජනිත් ලියනගේ 3/63, ලසිත් ඇඹුල්දෙණිය 2/57.

බස්නාහිර පළාත් මධ්‍යම දෙවන ඉනිම  – කඩුලු 6ක් දැවී ලකුණු 226 (59): මනෙල්කර් ද සිල්වා 67, ජනිත් ලියනගේ 59*, සධීර සමරවික්‍රම 51, මොහොමඩ් ශිරාස් 2/66, ලක්ෂාන් ප්‍රනාන්දු 2/52, චරිත් සුදාරක 2/70.

ඉදිරි සතියේ පැවැත්වෙන තරග

ජුලි  19 – 20 මධ්‍යම පළාත උතුරු පළාත BRC
බස්නාහිර පළාත් මධ්‍යම උතුරු මැද පළාත බ්ලුම්ෆීල්ඩ්
බස්නාහිර පළාත් දකුණ දකුණු පළාත හම්බන්තොට
ජුලි 20 – 21 නැගෙනහිර පළාත ඌව පළාත මාතර

 

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට