ඕස්ට්‍රේලියාව බේරගත්ත කෝල්ටර්-නයිල් සංචිතයෙන් හැලේ?

1587

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6) ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයේ දී පන්දු 60ක දී වේගවත්ව ලකුණු 92ක් රැස්කළ ඕස්ට්‍රේලියාවේ නේතන් කෝල්ටර්-නයිල් හට, ඉන්දියාව සමඟ පැවැත්වෙන මීළඟ තරගයේ දී කණ්ඩායමෙන් ඉවතට යාමට වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය…….

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවේ පළමු කඩුලු 5 ලකුණු 79ක් වැනි අඩු මට්ටමේ ලකුණකට දැවී ගියේය. නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් තුල ලකුණු 288ක් ලබා ගත්තේ ස්ටීව් ස්මිත්ගේ අර්ධ ශතකය හා නේතන් කෝල්ටර්-නයිල් ලබා ගත් වේගවත් ශතකය නිසාවෙනි. අවසානයේ ඕස්ට්‍රේලියාව එම තරගය ලකුණු 15කින් ජයග්‍රහණය කරන්නට සමත් විය.

පිළිතුරු ඉනිම දියත් කළ කොදෙව් කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ හා පසුපෙළ ඉතාමත් ඉක්මනින් බිඳ දමමින් තරගය ඕස්ට්‍රේලියාව දෙසට රැගෙන ඒමට කටයුතු කළ මිචෙල් ස්ටාර්ක් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය. ඒ ඔහුගේ නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 46ක් පමණක් ලබා දෙමිනි.

නමුත් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කෝල්ටර්-නයිල් එම තරගයේ යොමු කළ පන්දුවාර 10 තුළ ප්‍රතිවාදීන් හට ලකුණු 70ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට නොහැකි විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න << 

තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී එක්තරා මාධ්‍යවේදියෙක් ඉරිදා දිනයේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට හැකි වේ ද? යන්න කෝල්ටර්-නයිල්ගෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු ලබා දුනි.

“මම මේ තරගයේ පන්දු යැවීමේ දී ලකුණු 70ක් ලබා දුන්නා නමුත් කඩුල්ලක් හෝ දවා ගන්නට බැරි වුනා. පිතිකරණයෙන් මම සාර්ථක වුනා තමයි, ඒත් පන්දු යවන්නෙක් ලෙස මම මෙහි දී අසාර්ථකයි. ඒක නිසා ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයේ දී යම් හෙයකින් මට කණ්ඩායමේ ස්ථානය අහිමි වුනොත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.” කෝල්ටර්-නයිල් පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝල්ටර්-නයිල්,

“මම හා ස්ටීව් ස්මිත් ඉතාමත් හොඳ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. මගේ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ ස්මිත් මට මේ ලකුණු ලබාගන්න ලොකු සහායක් දුන්නා. එයා තම හැම වෙලාවේම මගේ ඔලුව සකස් කරලා හොඳින් පිතිකරණයේ නිරත වෙන්න අවශ්ය මානසික ශක්තිය ලබා දුන්නේ. ඒ ලකුණු ප්‍රමාණය ගන්න ඒ දුන්න අදහස් ටික මට ගොඩක් වැදගත් වුනා කියලා මම හිතනවා.” යැයි කෝල්ටර්-නයිල් පවසන ලදි.

කෝල්ටර්-නයිල් මේ තරගයේ දී ලබා ගත් ලකුණු 92 ලබා ගැනීම සඳහා පන්දු 60ක් වැය කළේය. එසේම එම ඉනිම සඳහා 4 පහර 8ක් හා 6 පහර 4ක් ද අන්තර්ගත විය.

“පන්දුවට පහර දෙමින් ඉන්න කොට මගේ බැට් එකේ පොඩි කෑල්ලක් ගැලවුනා. නමුත් මම ඒ බැට් එක මාරු කරන්න ගියේ නැහැ. මට ඕන වුනේ මගේ කණ්ඩායමට ඉක්මනින් හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා දෙන්නයි. මම මගේ ශතකය බල බල සෙල්ලම් කළේ නැහැ.” යැයි සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය හා වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර ගත් කෝල්ටර්-නයිල් අවසන් ලෙස පැවසීය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<