ලකුණු 1000යි; කඩුලු 100යි – කරන්දෙනියේ සුපිරි පාසල් තරුව

377

පාසල් ක්‍රිකට් පිටියේ තරගාවලියක් තුළ ලකුණු 1000ක් සහ කඩුලු 100ක් ලබා ගත් ක්‍රීඩකයෙක් වේ නම් ඒ ඉතා කලාතුරකිනි. මේ දක්ෂතාව කිරීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ නායක, සමිත් ඉසුරු ශානක ඇල්කඩුව හෙවත් සමිත් ඉසුරු සමත් විය. 

2020 පාසල් මහා තරග වීරයෝ – දිනෙත් ජයකොඩි

මේ අවුරුද්දෙත් සුපුරුදු ලෙස ආරම්භ වුන මාර්තු උන්මාදය (March Madness) ………………

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ නියෝජනය කරන්නේ දෙවැනි කොටසේ තරගාවලියයි. නිමා වූ පාසල් ක්‍රිකට් වාරයේ දී ඔවුන් තරග 15කට සහභාගී වෙන්නේ ය. ඒ සෑම තරගයකට ම සහභාගී වූ සමිත් ඉසුරු ලබා ගත් ලකුණු ප්‍රමාණය 1224කි. ඊට අමතරව ඔහු පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 122ක් දවා ගැනීමට ද සමත් වන්නේය. 

මෙය රන්දෙණිය විදුහල් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දක්ෂතාවන්ගේ ප්‍රමුඛ ස්ථානයට පත්වෙන අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ද අමතක කළ නොහැකි දක්ෂතාවක් ලෙසින් සටහන් වනු නියත ය. අනෙක් අතට මේ දක්ෂතාව තවත් වැදගත් වන්නේ සමිත් ඉසුරු පසුගිය පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ද ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයන් ගොන්නේ සිටින ක්‍රීඩකයෙක් වන බැවිනි. ඔහුට එම වසරේ කඩුලු 100 අහිමි වන්නේ කඩුලු 5ක අඩුවකිනි. 

“මේ දක්ෂතා දැක්වීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. තරගාවලිය ආරම්භයේ දී ම ලකුණු අතරට පැමිණිය යුතුයි කියන බලාපොරොත්තුවේ සිටියේ. මගේ කණ්ඩායමේ මේ තරග වාරයේ දී ක්‍රීඩා කළ වැඩි දෙනෙක් නවකයෝ. ඉතිං ඒ නිසාම මා කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා සිටියා. ඒ නිසාම මා වෙත වැඩි පීඩනයක් ද එල්ල වුනා. නමුත් ඒ අභියෝගය ජය ගන්න මට හැකි වුනා. ඊට කණ්ඩායමේ සෑම දෙනාම දැක්වූ සහයෝගයට මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.” සමිත් ThePapare.com සමඟ පැවසුවේය. 

දකුණතින් පන්දුවට පහර දෙන සමිත් ලකුණු දහස ලබා ගැනීම වෙනුවෙන් ඉනිම් 27කට මුහුණ දුන්නේ ය. ඒ අතරට ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් ඇතුළත් කිරීමට ඔහු සමත් විය.  ඔහුගේ හොඳම ඉනිම වන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 228යි. ඊට අමතරව ජාඇල ක්‍රිස්තු දේව විද්‍යාලයට (122) සහ බලපිටියට රේවත මධ්‍ය මහා විද්‍යාලයට (128) එරෙහිව ශතක රැස් කිරීමට ඔහු සමත් විය. 

ඊට අමතරව සමිත් මීගමුව සාන්ත පීතර විද්‍යාලය (61), මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය (55), ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය (53), කළුතර සිරි කුරුස විද්‍යාලය (87), කළුතර විද්‍යාලය (66) සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට (70 සහ 58) එරෙහිව අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළේය.  

දකුණතින් පා දඟපන්දු යැවූ සමිත් නිමා වූ තරග වසරේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිවය. එහි දී ඔහු ලකුණු 92කට කඩුලු 8ක් දවා ගන්නේය. 

ඔහු තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ කළුතර සිරි කුරුස විද්‍යාලයට එරෙහිවය. එහි දක්ෂතා වන්නේ ලකුණු 63කට කඩුලු 11කි. ඊට අමතරව ඔහු කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 113කට කඩුලු 11ක් ද දවා ගැනීමට සමත් විය. සමිත්ගේ කඩුලු ලැයිස්තුවේ ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 12ක් ද වාර්තා වන්නේය. 

පළමු පෙළ ශතකයේ ළාබාලයා “පවන්”

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ පළමු පෙළ ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා………..

ඒ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය (5/67), මීගමුව සාන්ත පීතර විද්‍යාලය (5/43), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය (7/71), කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය (5/51), පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (8/92), ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය (5/70), යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය (5/22), ජාඇල ක්‍රිස්තු දේව විද්‍යාලය (6/69), කළුතර සිරි කුරුස විද්‍යාලය (5/23 සහ 6/40), කළුතර විද්‍යාලය (6/54) සහ හොරණ තක්ෂිලා විද්‍යාලයට (6/81) එරෙහිවය. 

සමිත් පසුගිය 2018/19 වසරේ කණ්ඩායමේ උප නායකත්වයේ ද කටයුතු කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය. එවර ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 1012ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 95ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. 

එවර ඔහු තරග 15ක ඉනිම් 26කට මුහුණ දෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් ද සමඟින් මේ ලකුණු ප්‍රමාණය වාර්තා කළේය. එවර ඔහුගේ හොඳම ඉනිම වූයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 179යි. 

පන්දු යැවීමේ දී තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ තරගයක පන්දු යැවීමේ හොඳම දක්ෂතාව වන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව ලකුණු 98කට ලබා ගත් කඩුලු 13යි. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහු ලකුණු 45කට කඩුලු 8ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කරන්නේ ය. 

තිදෙනෙක්ගෙන් සමන්විත වූ පවුලේ බඩපිස්සා වන්නේ සමත්ය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු උපුල් ශාන්ත පියාත්, ගෘහණියක වූ නන්දමාලි වීරසිංහත් මලිත් මධුශාන් සහ දමිත් චේනුත ඔහුගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනාය. සමිත් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ තම වැඩිමහල් සහෝදරයා වන මලිත් මධුශාන්ගේ පසුපස යමිනි. එවකට ඔහු විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ අතර සමිත් ද ඔහු පසුපස වැටෙමින් ක්‍රිකට් අකුරු කළේය. 

ඒ අනුව ඔහු කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට මේ දක්වා තම විද්‍යාලය නියෝජනය කරයි. ඔහුට එළඹෙන 2020/21 වසරේ ද වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව තිබෙන්නේය. 

“මම දැනට පිට පිට වසර දෙකක දී ලකුණු1000 වාර්තා කරලා තිබෙනවා. මගේ ඊළඟ බලාපොරොත්තුව ඊළඟ අවුරුද්දේදීත් ලකුණු 1000ක් වාර්තා කරමින් පිට පිට ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයෙක් වෙන්න.” සමිත් පැවසුවේ හිත කොනක දළුලා වැඩෙන බලාපොරොත්තුවකි.

අමිහිරි මතකයට වසර 13යි

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවති 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය ………

සමිත් ක්‍රිකට් ආරම්භ කළේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරමිනි. එම කණ්ඩායම පළමු කොටසට උසස් කිරීමේ මෙහෙවරට දායක වීමට සමිත් සමත් වෙන්නේය. ඒ පන්නරය දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට තවත් උත්තේජනයක් විය.

ඒ අනුව ආ ගමනේ දී සමිත් ඉසුරු පසුගිය වසර ද්විත්වයේම ඔහුගේ දක්ෂතා වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ඇගයීමට ලක් වෙන්නේය. ඔහු 2017/18 තරග සමයේ දී පිතිකරුවෙක් ලෙසින් කඩුලු 456ක් ද, පන්දු යවමින් කඩුලු 30ක් දවා ගන්නේය. එකී දක්ෂතා ද හේතුවෙන් එම වසරේ සම්මාන උළෙලේ දී දක්ෂතම පන්දු රැකීමේ අනුශූරතාවයෙන් ඔහුව පිදුම් ලබන්නේය. 

ඉන් අනතුරුව 2018/19 වසරේ ඩයලොග් දක්ෂතම පාසල් තුන් ඉරියව් ක්‍රීඩකයා ශූරතාව හිමිවෙන්නේ සමිත්ටය. එමෙන්ම දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ඩයලොග් අනුශූර කුසලානය ද එම සම්මාන උළෙලේ දී ම දිනා ගැනීමට  සමිත් සමත් වෙන්නේය. ඊට අමතරව පැවති මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම් උළෙලේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් එම වසරේ දී සම්මාන දිනා ගැනීමට ද ඔහු සමත් වෙන්නේය. 

මේ ඇගයීම් සමඟින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබන්නේය. එහි දී ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ තරග දෙකකට පමණි. එම තරග දෙකේ දී ඔහුට සිතු සේ දක්ෂතාවන් දැක්වීමට අවස්ථාවක් නොලැබුණි. 

එතැන් සිට ඔහුට ජාතික ක්‍රිකට් කරළියේ අවස්ථාවක් නොලැබුණ ද ඔහුගේ දක්ෂතා රන්දෙණි මාතාව වෙනුවෙන් දැක්වීමට ඔහු සමත් වෙන්නේ ය. ඒ අනුව ය, ලකුණු 1000ක් සහ කඩුලු 100ක් ලබා ගනිමින් ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් පිටියේ අතලොස්සක් වූ එවන් වාර්තා තැබූවන් අතරට සමිත්ට එක් වෙන්නට අවස්ථාව හිමි වෙන්නේ. 

 “මේ තරමින් දක්ෂතා දැක්වීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙහි සම්පූර්ණ ගෞරවය අජන්ත කුමාර සර් සහ චමුක මිලාන් සර් වෙත හිමි විය යුතුයි. ඔවුන් දෙදෙනා අපි අපේ දෙමාපියන් වගේ. ඒ තරමට ම ඔවුන් අපිට සමීපව හොඳ නරක පවා උගන්වනවා. මගේ ක්‍රිකට් දිවියට උදව් කරන ඔවුන් දෙදෙනා ඇතුළු පාසලේ සෑම දෙනාමත් ගෙදර සියලුම දෙනාමත්  දැක්වූ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ ද ආශීර්වාදය සහිතව කවදා හරි දවසක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීම මගේ අරමුණයි.” සමිත් පැවසුවේය.

ඔහුගේ අනාගත ක්‍රිකට් ගමනට ThePapare.com අපෙන් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<