පළමු පෙළ ශතකයේ ළාබාලයා “පවන්”

139

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ පළමු පෙළ ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූයේ සී. සී. සී. කණ්ඩායමේ පවන් රත්නායක ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු පෙළ තරගවල ශතකයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් වසර 41ක් ම රැඳී සිටියේ සුදත් පැස්කුවෙල් ය.  ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර වරම් දිනා සිටි වමත් පිතිකරු සුදත් පැස්කුවෙල් මේ වාර්තාවට හිමිකම් කියන්නේ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති තුන් දින තරගයේ දීය. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 17කුත් දින 265ක්. 

2020 පාසල් මහා තරග වීරයෝ – ශලින් ද මෙල්

සෑම වසරකම වගේ පෙබරවාරි අන්තිම වගේ ඉඳන් අප්‍රේල් මුල වගේ වෙනකන් ලංකාවේ පාසල් බොහෝමයක්….

කොළඹ රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ සුදත් පැස්කුවෙල් ඒ වෙද්දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් ශ්‍රී ලංකාවේ ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසයට එක්ව සිටියා. 

1979 වසරේ ජුනි මස 9 වැනිදා නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනිද්දී ඔහුට වයස අවුරුදු 17කුත් දින 237ක්. ඒ 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්. එම තරගයේ දී ඔහුට ලබා ගැනීමට හැකි වන්නේ එක් ලකුණක් වූවත් ඊට දවස් 7කට පසුව පැවති තම ජාත්‍යන්තර තරග දිවියේ අවසන් තරගය වූ ඉන්දියාව සමඟ තරගයේ දී නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

සුදත් පැස්කුවෙල්ගේ මෙම වාර්තාව අභියසට යෑමට ඊට පසුව සමත් වෙන්නේ චරිත් අසලංක ය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරද්දී ගාල්ල ක්‍රිකට් සමාජය ද නියෝජනය කළ චරිත් අසලංක 2015 වසරේ දී නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 123කට මුහුණ දෙමින් ලකුණු 114ක් ලබා ගනිමින් එම දක්ෂතාව දක්වනවා. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 17කුත් දින 285ක්. 

මේ වමත් ක්‍රීඩකයන් දෙදෙනාම අභිබවා යමින් දකුණතින් පන්දුවට පහර දුන් පවන් රත්නායක තමන්ට වයස අවුරුදු 17කුත් දින 189ක් වෙද්දී මේ වාර්තාව තමන් සතු කර ගත්තා. ඒ මුවර්ස් කණ්ඩායමට එරෙහිව සී. සී. සී. පිටියේ දී පැවති තරගයේ දීයි. 

ඔහු මේ වාර්තාවට හිමිකර ගන්නේ 2020 පෙබරවාරි මස 29 වැනිදා පෙරවරුවේ. 28 වැනිදා ආරම්භ වන තරගයේ අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි පවන් රත්නායක තරගයේ පළමු දිනය නිමා වෙන විට නොදැවී ලකුණු 94ක් ලබා සිටියා. ඊට පසු දින ඔහු තමන් මුහුණ දුන් 157 වැනි පන්දුවේ දී කවිශ්ක අංජුලගේ පන්දුවකට ලකුණක් ලබා ගනිමින් තම පළමු පෙළ මංගල ශතකය මෙන්ම පළමු පෙළ ශතකයක් වාර්තා කළ ළාබාලතමයා ද වෙනවා. 

“වාර්තා තැබීමක් ගැන මගේ කිසිම හැඟීමක් තිබුණෙ නැහැ. අපිට අවශ්‍ය වෙලා තිබුණේ වැඩි ලකුණු ගණනක් ගහල ප්‍රතිවාදීන්ට ළඟා විය නොහැකි ඉලක්කයක් ලබා දෙන්න. ඒ වෙද්දී අපිට ඉතිරි වෙලා තිබුණෙ තවත් කඩුලු 2ක් විතරයි.“ පවන් රත්නායක එම ඉනිම ගැන පැවසුවා. 

සී. සී. සී. ඉනිම අවසන් වන විට පවන් රත්නායක පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 164ක් ලබා ගන්නවා. එමෙන්ම ඔහු ලහිරු ගමගේ එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් ද, අවසන් කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු හා එක්ව ලකුණු 75ක සබඳතතාවක් ද තම කණ්ඩායමට එක් කරනවා. ඒ අනුව ඔහුට තම කණ්ඩායමේ බලාපොරොත්තු සඵල කිරීමටත් හැකි වෙනවා.  

පළමු පෙළ ළාබාලතම ශතකලාභීන්

නම ක්‍රීඩා සමාජය එරෙහි වයස
පවන් රත්නායක සී. සී. සී.  මුවර්ස් අවුරුදු 17 දින 189
සුදත් පැස්කුවෙල් ශ්‍රී ලංකා අයර්ලන්ත අවුරුදු 17 දින 265
චරිත් අසලංක ගාල්ල සී. සී. ගුවන් හමුදාව අවුරුදු 17 දින 285

කාගේත් කතාබහට ලක් වූ මේ ළාබාලතමයාගේ ක්‍රිකට් ආගමනය සිදු වෙන්නේ කොළඹ, මහානාම විද්‍යාලයේ 5 පන්තියේ ඉගෙනුම ලබද්දී. නමුත් ශිෂ්‍යත්වය හේතුවෙන් කෙටි කාලයකට ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙන පවන් ඊට පසු වසරේ දී වයස අවුරුදු 13න් පහළ තෙවැනි පෙළ කණ්ඩායමට එක් වෙනවා. ඊට පසු වසර ද්විත්වයේ දී විද්‍යාලයීය 13න් පහළ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන පවන් අවසන් වසරේ දී කණ්ඩායමේ නායකත්වය ද උසුලනවා. 

ඒ වෙද්දී පවන්ගේ පුහුණුකරු වෙන්නේ පසිඳු ලියනාරච්චි මහතා. ඔහු යටතේ වයස අවුරුදු 15න් පහළ විද්‍යාලයීය කණ්ඩායමට එක්වෙද්දී පවන්ගේ දක්ෂතා බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙනවා. ඔහු 15න් පහළ පළමු වසරේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 644ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 36ක් ලබා ගන්නවා. මේ දක්ෂතා හේතුවෙන්ම ඔහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ඇගයීමට ද ලක් වෙනවා. ඔහු දිවයිනේ දක්ෂතම පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් අනුශූරතාවන් ද්විත්වයම එම වසරේ දී දිනා ගැනීමට හැකි වෙනවා. 

අනතුරුව ඔහු ලකුණු 922ක් ලබා ගන්නවා. ඒ 2017 වසරේ දී. එම වසරේ දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ නායකත්වය ද ඔහුට හිමි වෙනවා. 13න් පහළ වසර ත්‍රිත්වයෙන් පසුව වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරද්දී ම ඔහුට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා. එහෙත් එම වයස් කාණ්ඩයේ පළමු තරග තුනට ඔහුට සාර්ථකව මුහුණ දීමට හැකි වෙන්නේ නැහැ. 

නමුත් සිව්වැනි තරගයේ දී ඔහු ශතකයක් ලබා ගනිමින් දක්ෂතා අතරට පිවිසෙනවා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි තරගයේ දී. 

“මම හිතන්නෙ මගේ දක්ෂතා වගේම පිතිකරුවෙක් ලෙසින් තරගයක දී ප්‍රතිවාදීන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන එකත් මම දැන ගත්තෙ ඒ තරගයේ දී. ඒ වගේම එම තරගයෙන් පසුව ගොඩක් දෙනෙක් මා ගැන බලාපොරොත්තු තබා ගත්තා. මම හිතනවා, මේ වෙද්දී මම ඒ හැම කෙනෙක්ගේම බලාපොරොත්තුවලට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඒ වගේම මට තව දුර ගමනක් යන්න තිබෙනවා.” පවන් තම පාසල් දක්ෂතා ගැන පවසන්නේ එලෙසින්.

පවන් වයස අවුරුදු 19න් පහළ පළමු වසරේ දී ලකුණු 500ක් ද, දෙවැනි වසරේ දී ලකුණු 670ක් ද සහ තෙවැනි වසරේ දී ලකුණු 780ක් ද රැස් කරනවා. මේ ගෙවී යන්නේ පවන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ගත කරන සිව්වැනි වසරයි. 

මේ වසරේ දී ඔහු ද්විත්ව ශතකයක්, ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1247ක් වාර්තා කිරීමට සමත් වෙනවා. ඔහුගේ මේ වසරේ හොඳම ඉනිම වෙන්නේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 200යි. එම තරගයේ දී ම ඔහු දෙවැනි ඉනිමේ දී ද නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් ඉනිම දෙකේ දී ම ශතක ලබා ගත් අතලොස්සක් වූ පිතිකරුවන් අතරට එක් වෙනවා. 

ඊට අමතරව ඔහු කොළඹ තර්ස්ටන් (108), කොළඹ ඉසිපතන (116), කුරුණෑගල මලියදේව (137), මහනුවර ත්‍රිත්ව (නොදැවී 123) යන විද්‍යාලවලට එරෙහිව ශතක ඉනිම් වාර්තා කරනවා. මේ ඉනිම් සමඟ ඔහු මෙවර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ 14 වැනි රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී වැඩි කතා බහට ලක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙක් ද වූවා. නමුත් COVID-19 වසංගතය හේතුවෙන් එම තරගයේ ඉදිරිය ගැන මේ වන විට නිශ්චිත තීරණයක් නැහැ. 

“ඇති වූ තත්ත්වය ගැන අපි හැමෝටම විශාල කනගාටුවක් තියෙනවා. පාසල් ක්‍රිකට් තරග, ක්ලබ් ක්‍රිකට් තරග සියල්ලම නැති වුනා. අපි ඉතා හොඳින් බිග් මැච් එකට මුහුණ දෙන්න සිටියේ. කණ්ඩායම හොඳ තත්ත්වයේ සිටියේ. ඒත් මොනවා කරන්න ද? මේ තත්ත්වය ඉතා ඉක්මනින් අවසන් වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ.”  අහිමි වූ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගැනත් රටේ පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණ ගැනත් පවන් පැවැසුවේ එලෙසින්. 

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ පසු පවන් අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඒ අනුව ඔහු එංගලන්තය, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග කණ්ඩායම්වල සාමාජිකත්වය ලබා ගන්නවා. නමුත් පවන් පවසන්නේ තමන්ට ලැබුණ අවස්ථා කිහිපයේ දී සාර්ථක වීමට ඔහුට නොහැකි වූ බවයි. 

එහෙත් ඉතා ඉක්මනින්, එසේත් නොමැති නම් අඩු වයසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීම ඔහුගේ බලාපොරොත්තුවක්. 

“මට අඩු වයසින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුණා. ඒ වගේම පළමු පෙළ තරගවලටත් ක්‍රීඩා කරන්න ලැබුණා. එහි දී අපේ කණ්ඩායමේ වගේම අනෙක් කණ්ඩායම්වල සිටින ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන අය මගේ දක්ෂතා අගයමින් කතා කළා. මට සුබ පැතුවා. ඒ අයගේ ද සහයෝගය ඇතිව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.” පවන් පවසනවා. 

පවන් පවුලේ අය සමඟින්.

මේ ගමන නිර්මාණය වෙද්දී ඔහුගේ පුහුණුකරුවන් වන මහානාමයේ ප්‍රධාන පුහුණුකරු කැලුම් ගංගොඩවිල සහ සහාය පුහුණුකරු සොනාල් දුල්ෂාන් ද සී. සී. සී. කණ්ඩායමේ තරංග ධම්මික ද ඔහු පසු පසින්ම වෙන බවයි ඔහු පවසන්නේ. ඒ වගේම පියා වන ආර්. එල්. සුමුදු ප්‍රියංකර ද, මව වන ඩබ්ලිව්. ඒ. දුශාන්ති රුක්ෂිලා සහ පවුලේ අනෙක් සාමාජිකාව වන රිශින් රවිශ්කා ද පවන්ගේ දක්ෂතා දෙස මහත් උනන්දුවෙන් බලා සිටිනවා. 

ඔවුන් සමඟ එක්ව පවන් රත්නායක යන ගමන සාර්ථක වේවායි ThePapare.com අපගේ පැතුම් ද ඔහු වෙත පුද කරනවා. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<