බෝංචි ඇට සහ බත් කා, ශූරයාව බිම දැමූ ඇන්ඩි රුයිස්

636

හෙවිවෙයිට් බොක්සිං ඉතිහාසය අනපේක්ෂිත ජයග්‍රහණ රැසකින් සමන්විතය. එහෙත් ඉන් වඩාත්ම හොඳින් මතකයේ රැඳී තිබෙන උඩු යටිකුරු වීම් දෙකක් නම්, 1990 දී ජේම්ස් “බස්ටර්” ඩග්ලස් විසින් ප්‍රබල මයික් ටයිසන්ව පරාජය කිරීම සහ 2019 ජුනි පළවැනිදා ඇන්ඩි රුයිස් විසින් ඇන්තනී ජෝෂුවාව පරාජය කිරීමයි.

ජුනි පළවැනිදා තරගයට පෙර ඇන්තනී ජෝෂුවා තරග 22කින් 22ක්ම ජයගෙන සිටියා පමණක් නොව, ඉන් 21ක්ම නොක්-අවුට් ආකාරයෙන් ජයගෙන තිබුණි. අනෙක් පස සිටි ඇන්ඩි රුයිස් තරග 33කින් 32ක් ජයගෙන තිබුණි. එතුළ නොක්-අවුට් ජයග්‍රහණ තිබුණේ 21ක් පමණි. අනෙක් අතින් රුයිස් රැඳී සිටියේ ශ්‍රේණිගත කිරීම් වල මැද මට්ටමේ නිසා ඔහුට ලැබුණු ප්‍රබල සටන් ගණන අඩුය. මෙයින් මා නොක්-අවුට් ප්‍රහාරකයන් විශිෂ්ටයන් යැයි පවසනවා නොව, දෙදෙනාගේ ශක්තිය තිබූ මට්ටම් දෙක දෙකක් බැව් පවසනවා පමණි. කෙසේ වෙතත් මින් පෙර හෙවිවෙයිට් ලෝක ශූරයා වූ ඇන්තනී ජෝෂුවා විසින් රුයිස්ව මීළඟ තරගය සඳහා තෝරාගන්නේ ඔහුව පහසුවෙන් පරාජය කොට ටයිසන් ෆියුරි නම් බ්‍රිතාන්‍ය බොක්සිං ශූරයාට මීළඟ අවස්ථාව ලබා දීමටයි.

හත්වැනි වටයේදී රුයිස්, ජෝෂුවාව බිම දැමුවේය

නමුත් සිදු වූයේ අනෙකක් බව මේ වන විටත් අපි දනිමු. තරගයේ හත්වැනි වටයේ දී දෙවරක්ම ජෝෂුවා හට බිම වැටෙන්නට පහර දුන් රුයිස් ජයගත්තේය. ඒ ඉතිහාසය වෙනස් කරමිනි. ලොව පළමු මෙක්සිකානු සම්හවයක් ඇති හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූරයා රුයිස් ය. එමෙන්ම ඔහු බොක්සිං ඉතිහාසයට තවත් අනපේක්ෂිත මතකයක් එක්කළේය.

29 හැවිරිදි ආන්ද්‍රේ පොන්ස් රුයිස් නොහොත් ඇන්ඩි රුයිස් දැන් සුපිරි තරුවකි. රූපවාහිනී නාලිකාවල ප්‍රකට චරිතයකි. පසුගිය ජුනි 5 වැනිදා “Jimmy Kimmel Live” වැඩසටහනට එක්වීමේ වාසනාව ද ඔහුට ලැබුණි.

රුයිස්, “Jimmy Kimmel Live” අතරතුර

පළමු මෙක්සිකානු හෙවිවෙයිට් ලෝක ශූරයා හැටියට මෙතනට එන්න ලැබීම ආශීර්වාදයක්.” රුයිස් එහි දී කීවේය.

මෙක්සිකානුවන්ව ඇමරිකාව තුළ සැලකෙන්නේ තරමක් කලහකාරී ජාතියක් ලෙසයි. ඔවුන්ගේ රට තුළ පවතින අවස්ථාවන්ගේ අඩුකම සහ සමාජ පරිසරය නිසා ඔවුන් තරමක් යුධකාමී ජාතියක් බව සැවොම දනියි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද තමන්ගේ මැතිවරණ සැලසුමේ ප්‍රධාන මාතෘකාවක් ලෙස මෙක්සිකානුවන් මර්දනයතබාගත්තේ ඇමරිකානුවන් තුළ පවතින මෙක්සිකානු විරෝධය හොඳින් වටහා ගනිමිනි.

රුයිස් ද ඇඟ පුරා පච්චා කොටාගත් දැඩි සිතක් ඇති මෙක්සිකානුවෙකි. එහෙත් ඔහුගේ ශරීරය හෙවිවෙයිට් බොක්සිං ක්‍රීඩකයෙකුට සුදුසු මට්ටමක තිබුණේ නැත. ජෝෂුවා සහ රුයිස් දුටු ඇතැම් බොක්සිං විචාරකයන් රුයිස්ට සිනාසුනේය. ජෝෂුවාට එරෙහි තරගයට ආරාධනා ලැබෙන විට ඔහු සිටින්නට ඇත්තේ තමන්ගේ නිවසේ කවිච්චියේ වැතිරී මෙක්සිකානු අල පෙති සපමින් විය හැකිය. ලොව ශක්තිමත්ම හෙවිවෙයිට් ශූරයා සමඟින් වූ තරගයට සූදානම් වීම සඳහා ඔහුට ලැබුණේ මාසයකුත් සති දෙකක කාලයක් පමණි.

Video – ක්‍රීඩාවටත් වැඩ පෙන්වූ ඔහු – Michael Jordan

මයිකල් ජෝඩ්න්, ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි…

එහෙත් ආධුනික අංශයේ (Amateur) සාර්ථක බොක්සිං පසුබිමක් තිබූ රුයිස් තමන්ගේ දෑත් වල වේගය ගැන විශ්වාසය තැබුවේය. එමෙන්ම තම මෙක්සිකානු ජාන වලින් ලැබුණු ජීව විද්‍යාත්මක වාසිය, එනම් වේගවත් සහ බරැති පහරවල් එල්ල කිරීමේ හැකියාව ඔහුට තිබුණි. සාමාන්‍යයෙන් මෙක්සිකානු බොක්සිං ක්‍රීඩකයන්ව සැලකෙන්නේ දෘඪ සිතැති, කලහකාරී, මිඩ්ල්වෙයිට් අංශයෙන් (කි.ග්‍රෑම් 70-75) පහල ස්ථාන හොබවන ක්‍රීඩකයන් ලෙසයි. මේ වන විටත් WBA/WBC/IBF සුපර් මිඩ්ල්වෙයිට් ශූරයා වන කනෙලෝ අල්වාරෙස් මීට හොඳම උදාහරණයකි.

එහෙත් රුයිස් කතාබහෙන් එතරම් තද නැත. ඔහුගේ මව කුඩා කාලයේ දී ඔහුට බත් සහ ධාන්‍ය වැඩිපුර කැවූ බව ඔහු කියයි. කුඩා කල සිටම ඔහු ශරීරයෙන් විශාලය. තරගයට පෙර කිසිවෙකුගේ විශ්වාසය නොලැබීම ගැන ඔහු මෙසේ සිහිකළේය.

රුයිස්, ඔහු කුඩා කාලයේ දී ඔහුගේ පවුල සමඟින්

හැමෝම මං ගැන සැකයකින් හිටියා. කවුරුත් මාව (හැකියාව) විශ්වාස කළේ නැහැ.” ඔහු කීවේය. සාමාන්‍යයෙන් තරගයකට පෙර තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කටමැත දෙඩවීමට බොක්සිං ක්‍රීඩකයන් දක්ෂයන් වුවත්, රුයිස් මෙම තරගයට පෙර පැවසුවේ “මේක දෙපැත්තටම යන්න පුළුවන්” යනුවෙනි. අද ඔහුට එය සිනාසෙමින් සිහි කළ හැකිය.

මම මං ගැන විශ්වාස කළා. ඒකයි මම පළමු මෙක්සිකානු හෙවිවෙයිට් ශූරයා වුනේ.” ඔහු කීවේය.

රුයිස්ට පෙර ජෝෂුවාට එරෙහිව තරග කිරීමේ අවස්ථාව උදා වූ ජෙරල් මිලර් තහනම් උත්තේජක පරීක්ෂණයෙන් තෙවරක්ම අසමත් වීම රුයිස්ගේ වාසනාව ඉහළට ගෙන ආවේය. නමුත් මිලර්ද සිටගෙන ඇත්තේ රුයිස්ගේ පැත්තෙන් බව ඔහු කියයි.

මට ඔහුත් එක්ක හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඔහුටත් ඕන වුනේ මම දිනන්නයි. ස්තුතියි ජෙරල්.” ඔහු සිනාසුනේය.

නවතම පුවත වන්නේ ජෝෂුවාට එරෙහිව නැවත තරගයක් ලබා දීමට රුයිස්ගේ කැමැත්ත ලැබී ඇතයන්නයි. සාමාන්‍යයෙන් හෙවිවෙයිට් බොක්සිං සම්ප්‍රදාය නම් ශූරයා විසින් පරාජිතයාට නැවත අවස්ථාවක් ලබා දී ඔහුව පරාජය කිරීමෙන් තම ශූරතාවය තවත් තහවුරු කරගැනීමය.

ඔහුට නැවත තරගයක් ඕන නම් මම ඒක ඔහුට දෙනවා. මම එහෙට (එංගලන්තයට) යන්න හෝ ඔහු මෙහෙට (ඇමරිකාවට) එන්න හෝ පුළුවන්.” රුයිස් එසේ කියද්දී පූරක ජිමී කිමෙල් “ඇයි තමන්ගේ රටේ එය තියානොගන්නේ? එය නේද වඩා හොඳ?” යනුවෙන් විමසීය.

Video – ලෝහමය බාහු වලින් මුහුණු තලන්නා – Mike Tyson

මයික් ටයිසන්, ජීවිතාභියෝග රැසකට මුහුණ දුන් චරිතයකි….

ඔව්, ඒක හොඳයි. අපිට මෙක්සිකෝවේ දී සටන් කරන්න පුළුවන්.” රුයිස් එකඟ විය. ඔහුගේ නිජබිම ඇමරිකාව නොව, මෙක්සිකෝව බව ඔහු නොකියා කීවේය.

ඔහුව ඕනෑම අභියෝගයකට සූදානම් කරනු ලැබූ ආරම්භය ගැන ද රුයිස් මෙසේ සිහිකළේය.

මම මුලින්ම ජිම් එකකට යනකොට මට වයස අවුරුදු 6යි. මං මහත කොල්ලෙක්. ඉතින් මට සටන් කරන්න මගේ වයසේ මගේ බරට කට්ටිය නොහිටි නිසා මම සටන් කළේ අවුරුදු දොළහේ, දහතුනේ අයත් එක්ක. මට අවුරුදු හතේ දී මං ඔවුන්ට හොඳටම පහර දුන්නා. පිස්සු වගේ.” ඔහු විනෝදයෙන් කියාගෙන ගියේය. බොක්සිං වළල්ල මත සිටි මෙක්සිකානු සටන්කරුවා මෙන් සැබෑ ජීවිතයේ දී ඔහු දෘඪ නැත.

ජුනි පළවෙනිදා තරගයට පෙර ඔට්ටු තැබීම් වලදී ඔහු 11-01ක් ලෙස පසුපසින් සිටියේය. එහෙත් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් ඔට්ටු තැබූ බව ඔහු පවසයි. එහෙත් ජයග්‍රහණයේ දී එය එතරම් නරක නැත.

මට හරිම ආඩම්බරයි. මගේ ගලක් වගේ මෙක්සිකානු පුතා!” රුයිස්ගේ පියා එහි දී තම පුත්‍රයාගේ දස්කම් අගය කළේය. මාස හයකින් එළඹෙන ජෝෂුවා-රුයිස් 2′ තරගයට පැමිණීමේ දී තමන්ගේ ශරීරය වෙනස් කරගැනීමට ඔහු උත්සාහ කරන බව රුයිස් පැවසුව ද එය තරමක් උපහාසාත්මක විය. ජෝෂුවා මෙන් වාත්තු කළ ශරීර ශෝභාවක් නොමැතිව රුයිස් ඔහුට වැටෙන්නට පහර දුන්නේය.

dailypost.ng – පරාජිත ලෝක ශූරයා, ඇන්තනී ජෝෂුවා

මම කැමතියි මෙක්සිකානු ජෝෂුවා කෙනෙක් වගේ ඇඟ හදාගන්න.” ඔහු සිනාසුනේය.

ඇන්තනී ජෝෂුවා හට තවත් අවස්ථාවක් හිමිවී තිබේ. ඔහු එය කෙසේ හසුරුවාගන්නේ ද යන්න ඔහු සතු වගකීමකි. එහෙත් ඔහු ANTHONYJOSHUA.COM නම් තම වෙබ් අඩවියට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ මෙසේයි.

මම සොල්දාදුවෙක්. මම මගේ ඉපිලීම් සහ පහත බැසීම් යන දෙකම භාරගත යුතුයි. සාර්ථකත්වය ඔලුවට ගහන්න දෙන්නත් හොඳ නෑ, අසාර්ථකත්වය හදවතට ගහන්න දෙන්නත් හොඳ නෑ.” ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ කථිකයෙකු ද වේ. රුයිස් තරම් සැහැල්ලුවෙන් ඔහුට කතා කළ නොහැක. ඔහුට යළි දිනාගන්නට යමක් තිබේ.

සුබ පැතුම් ඇන්ඩි රුයිස්. ඔබට ශූරයා ලෙස සිටින්නට මාස 6ක් තිබෙනවා. මම නැවත සකස් විය යුතුයි, විශ්ලේෂණය කළ යුතුයි, මගේ උපරිමය කළ යුතුයි. නැවත තරගයේ දී මගේ රාජකාරිය කළ යුතුයි.”

ඔහු තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු කරාවි ද? තවමත් දින නියම නොවූ මීළඟ තරගයේ දී අපට නැරඹිය හැකි වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<