කිසිදා අමතක නොවන “උනන්දුවා” – කුමාර් ධර්මසේන

5748
Kumar Dharmasena
Getty Images

එකල ඔහුගේ පිතිකරණය නැරඹීමට පාසල් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම රට පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද පාසල් ක්‍රිකට් තරග නැරඹීමට පැමිණි බව මම අසා ඇත්තෙමි. ඒ කුමක් වෙතත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රබල පිතිකරුවෙකු වූ කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ පිට දඟපන්දු යවන්නෙකු ලෙසය.

වර්තමානය සම්පූර්ණයෙන්ම ඔහුගේ ක්‍රිකට් විනිසුරුකරණය වෙත ඉලක්කගතව ඇත. ICC විනිසුරුවරුන් අතර ප්‍රභූ පන්නයේ (Elite panel) පළමු තැන ද ලබා ගන්නට තරම් විනිසුරුකරණයේ සමතෙකු වූ ධර්මසේන, ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ දී එතරම් කීකරු පන්දු යවන්නෙකු නොවේ. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අහිංසක දඟපන්දු යවන්නන් අතරට ධර්මසේන එක්වන්නේ දඩබ්බරයෙකු ලෙස ය. එනම් කරදරකාර පිතිකරුවන් මෙන්ම දැවී යන පිතිකරුවන්ගේ කන් පුරවන්නෙකු ලෙස ය. අද අප කතා කරන්නේ කුමාර් ධර්මසේන නමැති අඩුවෙන් කතා බහට ලක්වන “ක්‍රීඩකයා” ගැනයි. 

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු කරුණකි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි කෙසඟම ක්‍රිකට් ක්‍රීඩකයන් කවුදැයි ඔබගෙන් පැනයක් විමසුවහොත් ඉක්මණින්ම මතකයට නැගෙන ක්‍රීඩකයෙකු වන කුමාර් ධර්මසේන ප්‍රථමයෙන්ම ජාත්‍යන්තරයට පැමිණියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහුගේ පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව SSC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පන්දුවාර 45ක් යවා කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහු අසමත් විය. එහෙත් මීළඟ තරගයේ දී සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඇන්ඩෲ හඩ්සන්ගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් විය.

ඔහුගේ තෙවැනි ටෙස්ට් තරගයේ දී දඟපන්දු යවන්නන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 8ක්ම ඔහු විසින් දවා ගත්තේ පළමු ඉනිමේ 6ක් සහ දෙවැනි ඉනිමේ 2ක් වශයෙනි. එහි දෙවැනි ඉනිමේ දී 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 30ක් ලබා ගන්නට ද ඔහු සමත් විය. බැලූ බැල්මට හොඳ පිතිකරුවෙකු ලෙස නිර්ණය කරගත නොහැකි ක්‍රිකට් ආම්පන්නයන්ගෙන් සැරසුණු ඔහු, ශරීරයට වඩා විශාල හිස් ආවරණයක්, අත් ආවරණයක්, පා ආවරණ සහ ඇඳුම් පැලඳුම්වලින් සැරසී පිතිකරණයට පැමිණෙන ආකාරය රැවටිලිකාර ය. ඔව්, ඔහු උවමනාවෙන් පිතිකරණයේ යෙදෙන සෑම විටකම හොඳ පිතිකරුවෙකි.

1994 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරග වෙත පැමිණි ඔහු පාකිස්තානයට එරෙහිව පැවති සිය පළමු එක්දින තරගයේ දී බාසිත් අලී සහ ආසිෆ් මුජ්ටාබාව දවාගෙන, පන්දුවාර 9ක දී ලකුණු 34කට කඩුලු 2ක් වාර්තා කළේය. 1994 පැවති මැන්ඩෙලා කුසලාන තරගාවලියේ දී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 37කට කඩුලු 4ක් වාර්තා කළේ දඟපන්දු යවන්නන්ට එතරම් සහායක් නොමැති පෝට් එලිසබෙත් තණතීරුව මතදී ය.

මුල් කාලීනව එතරම් කඩුලු අතර නොසිටියත්, නායක අර්ජුන රණතුංග විසින් දිගින් දිගටම ධර්මසේනව කණ්ඩායමේ ක්‍රීඩා කරවීම දක්නට ලැබුණි. ධර්මසේනගෙන් කඩුලුවලට වඩා බලාපොරොත්තු වුනේ නව පන්දුවෙන් දඟපන්දු යැවීමයි. එමෙන්ම ඒකාකාරී දඟපන්දු යවන්නන් අතරට වෙනසක් රැගෙන ඒමයි. එකල බොහෝ විට වේගපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් පමණක් යැපුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පන්දු යැවීමේ වෙනස ධර්මසේනයි. තරගයේ පන්දු වාර 10-15 අතර පන්දු යැවීමට පැමිණෙන ඔහුට අයත් කාර්යභාරය වූයේ මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරියට පන්දු යවන්නට අවශ්‍ය වේදිකාව සැකසීමයි.

Kumar Dharmasena
ධර්මසේන පන්දු යවමින්

පළමු වාරයේ දී ධර්මසේන විසින් ලකුණු සිරකොට මුරලි, සනත් සහ අරවින්ද ද සිල්වා වැනි එකිනෙකාට තරමක් සමාන දඟපන්දු යවන්නන් හට වේදිකාව තනාදෙන අතර, දෙවැනි වාරයේ දී පැමිණ මැදපෙළ කඩුලු ලබා ගන්නට ද සමත් විය. ඒ ශ්‍රී ලංකාවේ අනෙකුත් දඟපන්දු යවන්නන්ට සාපේක්ෂව ඔහු සතුවූ වෙනස උපයෝගී කොට ගනිමිනි. පන්දුවේ වේගය සහ තණතීරුව මත ලිස්සන ස්වභාවය ඒ වෙනසයි.

එහි දී අඩු ලකුණු ලබා දෙමින් පන්දුවාර ඉක්මනින් අවසන් කිරීම ඔහු විසින් බොහෝ තරගවල දී සිදු කළ අතර ඇතැම් තරගවල දී  ඔහු අසාර්ථක වූ අවස්ථා ද තිබුණි. එහෙත් නායක අර්ජුනගේ සිතෙහි ධර්මසේන ගැන පැවති විශ්වාසය දැඩි ය. ඊට හේතුව ධර්මසේනගේ “උනන්දුවයි”. ඉතා උනන්දුවෙන් කඩුලු ලබා ගැනීමට වෙහෙස වන, පන්දු රැකීමේ දී සිරුර එහා මෙහා විසිකරන, පහළ මැදපෙළින් පිටියට පිවිස තරග දිනවන්නට උත්සාහ දැරීම නිසා නායක අර්ජුන, ධර්මසේනට අවස්ථා ලබා දුන්නේය. ධර්මසේනට “උනන්දුවා” යන නම පටබැඳෙන්නේ ද එබැවිනි.

Kumar Dharmasena
“උනන්දුවා”

ධර්මසේන සාමාන්‍ය දඟපන්දු යවන්නන්ට වඩා දිගු “දිව ඒමක්” (Run up) තිබූ පිට දඟපන්දු යවන්නෙකි. ඔහුගේ පන්දු තණතීරුව මත ලිස්සා යන ස්වභාවයක් තිබූ නිසා තණතීරුවේ පතිත වී ඉක්මනින් පිත්ත වෙතට ඇදී ගියේය. ධර්මසේන විසින් යැවූ පන්දුවක සාමාන්‍ය වේගය පැ.කි.මී. 85 සිට 100 දක්වා වූ මට්ටමක තිබෙන්නට ඇත. එකල උප මහාද්වීපිකව නිර්මාණය කෙරුණු තරමක් මන්දගාමී තණතීරුවල දී මෙන්ම එංගලන්ත, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා, නවසීලන්ත තණතීරුවල දී ද එය පන්දු යවන ශ්‍රී ලංකා පිලට වාසිදායක වන අයුරු පෙනෙන්නට තිබුණි. ගණනින් කඩුලු විශාල ප්‍රමාණයක් දවා නොගත්තත්, ධර්මසේනගේ දඟපන්දුවලින් ශ්‍රී ලංකාව ලද වාසිය එයයි.

එමෙන්ම ඔහුගේ ආමර් පන්දුව ඉතා වැදගත් අවියකි. ඔහුගේ පන්දුවල තිබූ වේගය නිසා පිතිකරුවන් රැවටුණු අවස්ථාවන් බොහෝය. පන්දුවාර 40න් එහා පන්දු යැවිය හැකි හැකියාව ද ඔහු සතු විය. ඇතැම් අවස්ථාවල පන්දුව වේගයෙන් පිතිකරුගේ පයේ මහපටැඟිලි වෙත එල්ල කිරීමට ඔහුට තිබූ හැකියාව නිසා ඔහු මෙකල ක්‍රිකට් ක්‍රීඩා කළේ නම් වත්මන් වේගවත් ක්‍රිකට් පිටියට හොඳ ආයෝජනයක් වන්නට තිබුණි.

ඔහු විසින් ලබාගෙන ඇති එක්දින කඩුලු 138න් කඩුලු 109ක්ම මුල් පෙළ සහ මැදපෙළ කඩුලු ය. එමෙන්ම ඉන් 83ක් ශ්‍රී ලංකාවෙන් පිටතදීත්, 55ක් ශ්‍රී ලංකාව තුළදීත් ලබාගෙන ඇත. මේ ඔප්පු වන්නේ මා ඉහත කියූ කරුණුයි. ටෙස්ට් කඩුලු 68කට හිමිකම් කියන ධර්මසේන ඉන් 40.6%ක්ම ප්‍රතිවාදී මැදපෙළින් ගලවා ගත් ඒවා ය.

1998 වසරේ දී ධර්මසේනගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක් පලවී තිබූ අතර වසර දෙකක්ම ඒ වෙනුවෙන් කැපකිරීමට ඔහුට සිදු වූ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු විය. යළි ආගමනයෙන් පසුව එක්දින තරග ක්‍රීඩා කළත්, ඔහුට ටෙස්ට් තරග ලැබීමේ යම් අඩුවක් තිබුණි.

ඔහුගේ පිතිකරණය පාසල් අවධියේ දී ඉතා ඉහළ මට්ටමක තිබුනත්, ජාත්‍යන්තරයේ දී පන්දුවට පහර දෙන්නට සිදු වූ ස්ථාන සහ අවස්ථාවන් හේතුවෙන් සංඛ්‍යා දත්තවලින් සාර්ථකව නිරූපණය නොවේ.

1994 පාකිස්තානයට එරෙහිව සනත් ජයසූරිය විසින් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූ “සිංගප්පූරු එක්දින තරගයේ දී” අංක 8 පිතිකරු ලෙස පන්දු 50කින් ලකුණු 51ක් රැස්කිරීමට කුමාර් ධර්මසේන සමත් විය. ඒ ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. එතැන් සිට එක්දින අර්ධ ශතක 4ක් ඔහු සතුවී ඇත. එක්දින ලකුණු සාමාන්‍යය 22.63කි.

Kumar Dharmasena
තරග දිනවූ පිතිකරුවෙක්

1997 බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ එකම එක්දින තරගයේ දී 8 වැනි කඩුල්ල වෙනුවෙන් කුමාර් ධර්මසේන (51*) සහ දුලිප් ලියනගේ (43) විසින් පැවැත්වූ ලකුණු 91ක සබඳතාවය මේ වන විටත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම 8 වැනි කඩුල්ලේ සබඳතාවයයි. 1997 පැවති විල්ස් සිව්කොන් තරගාවලියේ දී ධර්මසේන (69*) සහ ලංකා ද සිල්වා (57) විසින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 83ක සබඳතාවයක් පවත්වන ලදි.

1996 දී පැවති බෙන්සන්&හෙජස් 9 වැනි තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය “එවකට නැගී එන” ශ්‍රී ලංකා කණ්ඩායම 147කට කඩුලු 6ක් දැවී සිටිය දී පිටියට පිවිසි ධර්මසේන නොදැවී ලකුණු 28ක් ලබා තරගය ජය ගන්නා තෙක්ම පිටියේ රැඳී සිටියේය.

එම තරගාවලියේම 12 වැනි තරගයත් ශ්‍රී ලංකාව විසින් ජය ගත්තේ ලකුණු 243ක ඉලක්කයක් හඹා යමිනි. 196ට කඩුලු 6ක් දැවී තිබූ මොහොතේ පිටියට පිවිසි ධර්මසේන එහිදීත් නොදැවී ලකුණු 24ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියේය. එසේ පන්නරය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක ශූරයන් බවට පත්වූ අතර ධර්මසේන එම තරගාවලියේ ද අවසන් මහා තරගය ඇතුළුව තරග 5කට ක්‍රීඩා කළ ලෝක ශූර ක්‍රීඩකයෙකි.

රට වෙනුවෙන් වැඩ හතරම කළ හෂාන්

ඇතැම් ක්‍රිකට් පිතිකරුවන් හරිම අපිළිවෙළ ය

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ඔහුගේ ලකුණු සාමාන්‍යය 19.73ක් වුවත් ඉන් පෙනෙනවාට වඩා ඔහු පිතිකරණයේ දක්ෂයෙකි. එමෙන්ම දස්කම් පෙන්වූයෙකි.

1995 ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී තෙවැනි තරගය පැවැත්වුණේ සියල්කොට්හිදී යි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 158-6ක් ලෙස අස්ථාවර තත්වයක සිටියදී පිටියට පිවිසි ධර්මසේන ඉනිම අවසන් වන තුරු නොදැවී ලකුණු 62ක් රැස්කළේය. පළමු ඉනිමේ දී කඩුලු දෙකක් ද වාර්තා කරන්නට ඔහු සමත් විය. තරගය අවසන්  වූයේ ලකුණු 144ක ජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමිනි.

ටෙස්ට් අර්ධ ශතක 3ක පමණක් හිමිකරුවෙකු වුවත් ඔහුගේ නොදැවුණු ඉනිම් රාශියක් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයන් ස්ථාවර කළ බව අපට මතකය. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වැඩි වශයෙන් හැඳින්වූයේ නැතත් ඔහු තුන් ඉරියව් දඟපන්දු යවන්නෙකි. පිටිය කෙළවර පන්දු රකින වේගවත් පන්දු රකින්නෙකි. යාර තිහේ සීමාව ඇතුළත ශරීරය විසිකළ හැකි “උනන්දුවෙකි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය හැඩකළ ධර්මසේන 2004 වර්ෂයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේ නැත. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ මීළඟ පිම්ම දැවැන්ත එකකි. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස සේවයට එක්වීමයි.

Kumar Dharmasena
2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණාත්මක සිදුවීම

2006 දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් සමුගැනීම සටහන් කළ ඔහු 2009 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස සිය පළමු එක්දින තරගයට දායක විය. 2011 වසරේ අගභාගය වන විට ජාත්‍යන්තර විනිසුරුවන්ගේ ඉහළ පැලැන්තියට ඔහුව නම් කරන ලදි. 2012 වසරේ ලොව හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබුවේ ද ඔහුයි.

2015 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට විනිසුරුවරයෙකු වශයෙන් දායක වීමත් සමඟ “ඔහු එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකට ක්‍රීඩා කළ සහ විනිසුරුවරයෙකු වශයෙන් දායක වූ පළමු පුද්ගලයා” බවට පත්විය. 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට ද ඔහු විනිසුරුවරයෙකු වශයෙන් දායක විය. 2012 වසර තුළ ද ලොව හොඳම විනිසුරු වූ ධර්මසේන 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයට ද විනිසුරුවරයෙකු වශයෙන් දායක විය.

හොඳ විනිසුරුවරයෙකු වශයෙන් ලොව පුරා කීර්තිනාමය පතුරුවාගෙන සිටින ඔහු ගැන මේ වන විට බොහෝ දෙනාට මතක ඇත්තේ විනිසුරු කෝණයෙන් පමණි. එබැවින් අඩුවෙන් කතාබහ වන, වැඩියෙන් වැඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන අප කියවන  ගමනේ එක් පිටුවක් ඔහුට වෙන්වන්නේ ක්‍රීඩක කෝණයකිනි. ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් මෙවන් “ක්‍රීඩකයන්” කිසිදා අමතක කළ යුතු නොවේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<