ශ්‍රී ලංකා පිත්තට සිම්බාබ්වේ මවිත වෙයි

2022
Sri Lanka vs Zimbabwe development cricket 1st test 2nd day

ඊයේ (28) ආරම්භ වූ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර සිව්දින තරඟයේ දෙවන දිනය අද (29) නිමාවන විට සිම්බාබ්වේ පළමු ඉණිමට නොදෙවෙනි ඉණිමක් දියත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: සිම්බාබ්වෙන් පළමු දිනයේම අභියෝගයක්

හරාරේ පිටියේදී අද දිනය සඳහා තරඟය ආරම්භ කරන විට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 302ක් රැස් කරගෙන සිටි අතර අද දිනයේ දි සිම්බාබ්වේ ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් එකතු වෙද්දී ඔවුන්ගේ 7 වන කඩුල්ල ලෙස කාල් මුම්බාව ලකුණු 9කට දවාලීමට ශෙහාන් මදුසංක සමත් විය. අනතුරුව 8 වන කඩුල්ල සඳහා ලුකේ ජොන්ග්වේ හා එක්වූ වෙලිංටන් මසකඩ්සා ලකුණු 36ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහිදී ලුකේ විසින් 4 පහරවල් 5ක් සමඟ ලකුණු 50ක් ලබාගන්නා ලදි.

සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 77ක් තුළ දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම – 349-10 (100.1) බ්‍රයන් චැරී 76, ටැරිසායි මුසකන්ඩා 61, චාල්ස් කුංජේ 53, ලුකේ ජොන්ග්වේ  50, ජෝයිලෝඩ් ගුම්බි 47, නිමන්ත ප්‍රනාන්දු 2/23, ශෙහාන් මදුසංක 2/69, චරිත් අසලංක 2/79

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගල වන පබසර වඩුගේ හා හශාන් දුමිදු පිළිවෙලින් ලකුණු 4කට හා ලකුණු 3කට දවාලීමට වික්ටර් නව්වාචි සමත් විය.

කෙසේ වෙතත් ලකුණු 40ක් තුළ කඩුලු 4ක් බිදවැටී අසරණව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිබිදීම අාරම්භ කරමින්, 5 වන කඩුල්ල සඳහා එක්වූ සඳුන් වීරක්කොඩි හා චරිත් අසලංක සිම්බාබ්වේ පන්දු යවන්නන් මිවත කරමින්, ඔවුන් කිසිසේත්ම නොසිතූ ලෙස ලකුණු 236ක දැවැන්ත හා වර්ණවත් සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව නැවතත් පණගන්වා ගැනීමට සමත් විය.

එම සබඳතාවය සිම්බාබ්වේ පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසු කිරීමට සමත් වු සබඳතාවයක් විය. එම සබඳතාවය නිමාවූයේ දෙවන දිනයේ අවසන් කඩුල්ල ලෙස සඳුන් වීරක්කොඩි ලකුණු 151කට දැවීයාමත් සමගිනි. කෙසේ වෙතත් සඳුන් 4 පහරවල් 21කින් හා එක් 6 පහරකින් සිම්බාබ්වේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබුනි.

සඳුන් සමඟ ශ්‍රී ලංකා ඉණිම ගොඩනැංවූ චරිත් අසලංක ද ශතකයක් රැස් කිරීමට සමත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ හිසරදය දෙගුණ තෙගුණ කරමිනි. අසලංක 4 පහරවල් 12ක් සමඟ නොදැවී ලකුණු 100*ක් වාර්තා කල අතර දෙවන දිනය අවසන් වනවිට අනෙක් අන්තයේ සිටින නිමන්ත ප්‍රනාන්දු රැස් කලේ එක් ලකුණක් පමණි.

දෙවන දිනය අවසන් වනවිට,

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම –287-05 (73)  සඳුන් වීරක්කොඩි 151, චරිත් අසලංක 100*, රුමේෂ් බුද්ධික 17, වික්ටර් නව්වාචි 3/42, කාල් මුම්බා 2/63

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉණිමට වඩා කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 62ක් පිටුපසින් සිටියි.

හෙට (30) තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට