ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ අතිශය තීරණාත්මක තරගය හෙට (14) පැවැත්වීමට නියමිතයි. ඒ හිටපු ශූරයන් වන හොං කොං කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (14) පෙරවරු 11 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පුට්‍රා විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ප්‍රථම ජය වාර්තා කරයි

මැලේසියාවේ ක්වලාම්පූර් නුවර යූපීම් ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන ආසියානු ශූරතා කනිෂ්ඨ රග්බි තරගාවලියේ.

මේ තරගාවලියේ තමන්  සහභාගී වූ පළමු තරගයෙන් චීන තායිපේ කණ්ඩායම පරදවා ලකුණු 54 – 08ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට ප්‍රබල හොං කොං කණ්ඩායම සමත් විය. පසුගිය අප්‍රේල් මාසයේ  සිම්බාබ්වේ හී පැවති ජගත් රග්බි කනිෂ්ට කුසලාන (World rugby Junior Trophy) තරගාවලියේ ශූරතාව දිනාගත් හොං කොං කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම හෙට තරගය සඳහාත් ක්‍රීඩා කිරීම ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රබලත්වය මනාව විදහා පායි. චීන තායිපේ සමඟ තරගයේදී හොං කොං පසුපෙළ ක්‍රීඩකයන් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ අතර ඔවුන්ගේ කණ්ඩායමේ නායක මාක් කෝබර්ග් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු ලෙස තරගය ආරම්භ කර දෙවන අර්ධයේදී හාෆ් බැක් ස්ථානයේ ක්‍රීඩා කරමින් උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කිරීම කැපී පෙනුණු කරුණක් විය.

කෙසේ වෙතත් හොං කොං කණ්ඩායමේ වඩාත්ම කැපී පෙනුණු තරුව බවට පත්ව සිටින්නේ ෆුල් බැක් ක්‍රීඩක මැතිව් වෝර්ලියි. ඔහු පසුගිය තරගයේදී ඔවුන් හට හිමිවූ අවස්ථා හයේදීම පන්දුව නිවැරදිව ගෝල කණු අතරින් එල්ල කරන්නට සමත් විය. 2015 වසරේ සිට ප්‍රංශයේ ප්‍රබල රග්බි ක්‍රීඩා සමාජයක් වන රේසිං 92 කණ්ඩායමේ පුහුණු ඇකඩමියේ සාමාජිකයෙක් වන වෝර්ලි තවත් වසරක් පුරා එහි රැඳී සිටීමට ද නියමිතයි.

හොං කොං කණ්ඩායමේ පුහුණුකරු පීටර් ඩ්රේවට්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව සමඟ තරගය ඉතා අභියෝගාත්මක පරීක්ෂණයක් වේවි. ඔවුන් ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. එමනිසා ඔවුන් අපිට මෙම තරගාවලියේ හමුවන ඉතාමත් අසීරු ප්‍රතිවාදීන් කණ්ඩායම බවට පත්වෙන බව විශ්වාසයි. ඔවුන් සති තුනක් පුරා පුහුණු කඳවුරක් පවත්වමින් හොං කොං කඩුල්ල තරණය සඳහා පුහුණු වූ බවටත් වාර්තා වුනා

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගය ජය ගැනීම සඳහා අවසන් මොහොත වනතෙක් සටන් කිරීමට සිදුවිය. එම තරගයේදී ආබාධ සඳහා ගතවූ කාලය වෙනුවෙන් ලබාදෙන අතිරේක කාලය (injury time) තුල ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ සෙන්ටර් ක්‍රීඩක තනුජ මධුරංග විසින් වාර්තා කල අති විශිෂ්ට උත්සාහක දිනුම නොවන්නට තරග ප්‍රතිඵලය මැලේසියාවට වාසිදායකව ලැබීමට විශාල ඉඩකඩක් පැවතුණි. කෙසේ වෙතත් මෙම තරගයේ ප්‍රතිඵලය මැලේසියා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයට සාධාරණයක් ඉටු නොකළේ ඔවුන් සෑම අතින්ම පාහේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීම හේතුවෙනුයි. තරගය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ බවක් දක්නට ලැබුණි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නිලුෆර් ඊබ්‍රහිම් පැවසුවේ මෙවැන්නක්,

අපි බලාපොරොත්තු වුනේ නැහැ මැලේසියා කණ්ඩායම අපට මෙතරම් විශාල අභියෝගයක් එල්ල කරයි කියලා. ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් සැමවිටම පාහේ අපේ කණ්ඩායමට වඩා දක්ෂතා අතර සිටියා

හෙට තරගය තරමක් වෙනස් තත්ත්වයක් යටතේ පැවැත්වීමට නියමිතව ඇත්තේ දිනයේ කාලගුණ අනාවැකියට අනුව ක්‍රීඩාංගනය වියලි ස්වභාවයක් ඉසිලීමට වැඩි අවස්තාවක් පැවතීම හේතුවෙනුයි.

රවීන් යාපා (ශා. පීතර), හරිත් බණ්ඩාර (ඉසිපතන), වජීඩ් ෆාහ්මි (සහිරා) සහ සයාන් සාබර් (වෙස්ලි) යන ක්‍රීඩකයන් පළමු තරගයේදී දස්කම් අතර සිටින ලදී. එමෙන්ම ආදේශක ක්‍රීඩකයන් ලෙස පිටියට පිවිසි විද්‍යා විද්‍යාලයේ සුපුන් ඩිල්ශාන් සහ තනුජ මධුරංග ද ඉහල දස්කම් දක්වන්නට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආක්‍රමණශීලී භාවය ඉතා අඩු මට්ටමක පැවතුනත්, කුෂාන් ඉඳුනිල් අවස්ථා කිහිපයකදී පිටිය මධ්‍ය ප්‍රදේශයේ සිට ප්‍රතිවාදී ආරක්ෂාව බිඳ දමන්නට සමත් විය. සංදේශ් ජයවික්‍රමද සැලකිය යුතු මට්ටමක දස්කම් පෙන්වීමට සමත් වූ අතර ඔහු හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ආක්‍රමණශීලී දස්කම් පැවතුණද ඔවුන් හට වඩාත් වැදගත් වන්නේ ආරක්ෂක උපක්‍රම සවිමත් කිරීමයි. මැලේසියාව සමඟ පැවති  තරගයේ දක්නට ලැබුණු මට්ටමෙන්ම හෙට තරගයේදී ද ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් ක්‍රීඩා කළහොත් එම තරගයේ ප්‍රතිඵලය ඉතා ලැජ්ජා සහගත පරාජයක් බවට පත්වනු නොඅනුමානය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉක්මනින් වර්ධනය කර ගත යුතු ගුණාංග වන්නේ නීතිගරුක ක්‍රීඩා විලාශය සහ වැදගත් අවස්ථා වලදී ඉක්මන් මෙන්ම නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි. පළමු තරගයේ 78 වන මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ඉතා පහසු ස්ථානයක සිට ලැබුණු දඬුවම් පහරක් ගෝලය වෙත එල්ල කිරීම වෙනුවට  ඉක්මනින් පන්දුව රැගෙන ඉදිරියට ඇදීමේ උපක්‍රමය භාවිත කිරීමට ඔවුන් ගත් තීරණයේ ප්‍රතිඵලය බවට පත් වූයේ පන්දුවේ අයිතිය ප්‍රතිවාදීන්ට හිමිවීමයි.  එම අවස්ථාවේ පන්දුව ගෝලය වෙත එල්ල කිරීමෙන් ලකුණු 3ක් පමණක් ලබා ගත්තද තරගයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත්ව තිබුණි. වාසනාවකට මෙන් ඉන් අනතුරුව උත්සාහක දිනුමක් වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කාලය ලැබුණු නමුත් අවසන් මිනිත්තු කිහිපයේදී ඔවුන් කලබලයට පත්ව තරග ඥානය ඔවුන්ගෙන් ගිලිහී ඇති බව පැහැදිලිවම දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය එළඹෙන තරගය සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමට සති අන්තයේ පැවති තරග වල වීඩියෝ දර්ශන විශ්ලේෂණය කිරීම වෙනුවෙන්ද කාලය වෙන් කර තිබුණි. තියුණු තරග ජයග්‍රහණයකින් පසු ක්‍රීඩකයන්ද නිසි ශාරීරික යෝග්‍යතාවට පැමිණෙමින් මෙන්ම ධනාත්මක මානසිකත්වයකින්ද පසුවෙයි.

ශ්‍රී ලංකාව සහ හොං කොං අතර තරගයේ සජීවී විකාශය හෙට (14) උදෑසන 10.50 සිට www.ThePapare.com වෙබ් අඩවිය හරහා සහ ඩයලොග් TV නාලිකා අංක 1 (DIALOG NOW) ඔස්සේද, ජංගම දුරකථනයේ My TV මොබයිල් යෙදුම (App) හරහාද නැරඹීමේ හැකියාව පවතියි. එමෙන්ම මැලේසියාව සහ චීන තායිපේ අතර තරගය ද පස්වරු 12.50 සිට www.ThePapare.com ඔස්සේ ඔබ වෙත ගෙන  එන්නට සියලු කටයුතු සූදානම් කර තිබේ.

හොං කොං සමඟ තරගය ආරම්භ කිරීම සඳහා නම් කල ශ්‍රී ලංකා කණ්ඩායම:

නිඛිල ගුණධීර, පණ්ඩුල ද සිල්වා, සයාන් සාබර්, නිරෝෂ් පෙරේරා, , ජනිත් ගල්පොත්තගේ, අදීශ වීරතුංග, වජීඩ් ෆවුමි, ශලීන්ද්‍ර අලහකෝන්, හරිත් බණ්ඩාර, සංදේශ් ජයවික්‍රම, රමේෂ් ප්‍රනාන්දු, කුෂාන් ඉඳුනිල්, සුපුන් දිල්ශාන්, නවීන් හේනකංකානම්ගේ, ගයාන් වික්‍රමරත්න.

ආදේශක ක්‍රීඩකයන්

ලහිරු ගොඩවත්තගේ, අවීෂ ප්‍රියංකරගේ, ඇන්ඩෲ යාපා, අශෝක් විජේකුමාර්, තනුජ මාලිම්බඩ, උදය පොතුපිටියගේ, වගීෂ වීරසිංහ, රොමේෂ් ප්‍රියංකර.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට