ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුවට අත වනයි

949
Sri Lanka vs Zimbabwe 1st test 3rd day report

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා  සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරගයේ තෙවන දිනය අද (30) හරාරේ පිටියේදී නිමාවූයේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම මෙම තරඟය පිළිබඳව ජයග්‍රහණයක් සිතෙහි පෙරදැරි කරගෙනයි. අද දිනය ආරම්භ වනවිට ශ්‍රී ලංකා සංවර්ධන ලකුණු පුවරුව මෙසේය.

287-05 (73) චරිත් අසලංක 100*, නිමන්ත ප්‍රනාන්දු 1*

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පිත්තට සිම්බාබ්වේ මවිත වෙයි

දිනය ආරම්භ කරමින් තවත් ලකුණු 18ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් වූ පසු, ලකුණු 15ක් ලබා සිටි නිමන්ත ප්‍රනාන්දු 6 වන කඩුල්ල ලෙස දැවීගිය අතර ඉන් සුළු මොහොතකට පසුව විශිෂ්ට ඉණිමකින් මැදපෙළ සවිමත් කරමින් 4 පහරවල් 12ක් සමඟ ලකුණු 103ක් ලබා සිටි චරිත් අසලංක දැවීයන ලදි.

කසුන් මදුසංක අවසානයේ පිතිකරණයට පැමිණ ඉක්මනින් 4 පහරවල් 6ක් එල්ල කර ලකුණු 25*ක් නොදැවී ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 41ක් තුළ දවාලීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වූ අතර, මෙහිදී කාල් මුම්බා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 6ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 346-10 (89.4) සඳුන් වීරක්කොඩි 151, චරිත් අසලංක 103, කසුන් මදුසංක 25*, රුමේෂ් බුද්ධික 17, කාල් මුම්බා 6/89, වික්ටර් නව්වාචි 3/48

ලකුණු 3ක වාසියක් සමඟ දෙවන ඉණිම ආරම්භ කල සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම ලකුණු 19ක ආරම්භ සබඳතාවයක් ගොඩනැංවූ අතර එය නිමා කරමින් චාල්ස් කුංජේ ලකුණු 9කට දැවීයන ලදි.

සිම්බාබ්වේ කණ්ඩායමේ අනෙක් පිතිකරණ අන්තය ඉක්මනින් බිදවැටෙද්දී නායකත්වයක ඉණිමක් දියත් කල බ්‍රයන් චැරී 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 59ක් ලබාගන්නා ලදි.

කෙසේවෙතත් සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 69ක් තුළ දවාලමින් ශෙහාන් මදුසංක හා සංජය චතුරංග  ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ඉහල තැනකට ඔසවා තැබීමට සමත් විය.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 177-10 (54.2) බ්‍රයන් චැරී 59, ටැරිසායි මුස්කන්ඩා  24, ජෝයිලෝඩ් ගුම්බි 23, ශෙහාන් මදුසංක 3/25, සංජය චතුරංග  3/50

ලකුණු 181ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ආරම්භ පිතිකරණ යුගල පළමු කඩුල්ල සඳහා ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය නිමාවූයේ ලුකේ ජොන්ග්වේගේ පන්දුවකට හශාන් දුමිදු ලකුණු 8කට දැවීයාමත් සමගිනි.

දිනය නිමාවට පත්වන විට නොදැවී ක්‍රීඩා කරන පබසර වඩුගේ 4 පහරවල් 4ක් සමඟ ලකුණු 22*ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 38-01 (11) පබසර වඩුගේ 22*, හශාන් දුමිදු 8, ලුකේ ජොන්ග්වේ 1/3

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 143ක් අවශ්‍ය වේ.

හෙට (31) තරඟය සිව්වන හා අවසන් දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට