ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (03) නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රථම ඉනිමේදී පෙන්නුම් කල දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකානුවන් කඩුලු 10ම අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවේ.

අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් ලෙස සටහන් වූ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව, දිවා කාලය එළඹෙත්ම ලකුණු 392ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත් වූහ. ඊයේ දිනයේ නොදැවී ලකුණු 68ක් ලබාගෙන සිටි කඩුලු රකින පිතිකරු ක්වින්ටන් ඩි කොක් අද ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කරමින් ශතකයක් කරා ලඟා විය. තම ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය ලෙස ඔහු රැස් කල ලකුණු 101ට මනා ලෙස කල්‍ යල් මැන එල්ල කරන ලද හතරේ පහර 11ක් ඇතුළත් විය.

මීට අමතරව වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කරන කේශව් මහරාජ් අංක 10 පිතිකරු ලෙසින් පැමිණ නොදැවී රැස්කල ලකුණු 32, දකුණු අප්‍රිකානුවන්ට අමතර වාසියක් සැලසීය. ශ්‍රී ලංකාවේ පන්දු යැවීම යම් තරමකට ගුණාත්මක බවකින් යුතු වුවද පිටියේ සිදුකළ වැරදි නිසාවෙන් දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යන ගමන පහසු විය.

ලහිරුගේ අභියෝගයට එල්ගාර්ගෙන් ප්‍රබල ප්‍රතිරෝධයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) කේප්ටවුන් හිදී ආරම්භ විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තම කෙටි ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ලහිරු කුමාර අද ලකුණු 122කට කඩුලු 6ක් බිඳ හෙලීය. එම කඩුලු 6 අතරට හෂීම් අම්ලා, ජේ. පී. ඩුමිනි, ක්වින්ටන් ඩි කොක් වැනි සුපිරි පිතිකරුවන්ව ඇතුළත් විය. තවමත් 19 වැනි වියේ පසුවන ලහිරු තමන්ට ආගන්තුක තණතීරුවක් මතදී මේ වනතෙක් දක්වා ඇති දක්ෂතා සැලකිල්ලට ගන්නා විට ශ්‍රී ලංකාවේ අනාගතය පිලිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකිව තිබේ. මීට අමතරව සුරංග ලක්මාල් සහ රංගන හේරත් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු පුවරුවේ පීඩනය හිසමත තබාගෙන පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් දක්නට ලැබුනේ තරමක් මන්දගාමී පිතිහරඹයකි. කෙසේවෙතත් ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක් එක් කිරීමට සමත් විය. නමුත් කිසිදු ශ්‍රී ලාංකීය පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවටවත් ලඟාවීමට ඉඩ නොදුන් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 110කට සීමා කළහ.

අංක 7 පිතිකරු වශයෙන් මෙම තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග හතරේ පහර 5ක් සමඟින් වාර්තා කල ලකුණු 26 ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට කේප්ටවුන් තණතිල්ලේ හැසිරීම ගැන කිසිදු අවබෝධයක් නොතිබුණු බව හොඳින් පෙනෙන්නට තිබූ අතර දකුණු අප්‍රිකානුවන්ගේ පිටියේ පන්දු රැකීමද ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඉනිමේ නිමාව ඉතාමත් ඉක්මනින් සිදුවිය. පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ කල වර්නන් ෆිලැන්ඩර් සහ කාගිසෝ රබාඩා කඩුලු 4 බැගින් බිඳ හෙලීය. කේශව් මහරාජ් ලකුණු 32ට කඩුලු 2යි.

දකුණු අප්‍රිකානුවන් ප්‍රථම ඉනිමේ ලකුණු 282ක් ඉදිරියෙන් පසුවීම නිසා ශ්‍රී ලංකා පිළ නැවතත් පන්දුවට පහරදීම සඳහා යෙදවීමට අවස්ථාව තිබුනත් තවමත් පිතිකරණය පිලිබඳ විශ්වාසය තැබිය හැකි බව පෙනෙන තණතීරුවේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානුවෝ තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිනය නිමාවන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 35ක් රැස් කරගෙන සිටියි. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් මේ වන විට පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 317ක් ඉදිරියෙනි. එබැවින් බොහෝදුරට හෙට හවස් කාලය වනතෙක් පිතිකරණයේ යෙදෙමින් ලකුණු 500ක පමණ දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දී ඔවුන්ව ඉක්මනින් දවා ගැනීම දකුණු අප්‍රිකාවේ තරග සැලැස්ම බව පෙනෙන්නට තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 35 (පන්දුවාර 11): ඩීන් එල්ගාර් 19*, ස්ටීවන් කුක් 15*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට