මායිම් ගම්මාන යථිවරයෙකුගේ ක්‍රිකට් සිහිනය

156

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් අලුත් දේ මගින් වර්ණවත් වෙනවා. ගෝමරංකඩවල රතනජෝති විද්‍යායතන පිරිවෙනේ පරිවෙනාධිපති නාරංඕවිට චන්ද්‍රානන්ද හිමියන් ද ඊට දායකත්වය දක්වනවා. ඒ ක්‍රිකට් පුහුණුකරවන හාමුදුරුනමක්, ක්‍රිකට් වෙනුවෙන්ම කැපවෙන පරිවෙනාධිපති හිමි නමක් ලෙසින්. මේ ඒ ගැන කතාව. 

කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින්….

ගෝමරංකඩවල කියන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක්. ඒ මිනිස්සු විඳින දුක් කන්දරාව සුළු පටු නැහැ. ඉර එළියත් සමඟ බිම් කොටමින් ඔට්ටු වෙන ඔවුන් හඳ එළියේ පැල්කොටයකට වෙලා ඒ බව බෝග ආරක්ෂා කර ගන්න නිදිවරනවා. 

මේ චක්‍රයේ යම් වෙනසක් වෙන්නේ පාසල් යන දරුවෙක් දෙන්නෙක් පැල් රකින්න ආවොත් තමයි. එතකොට අම්ම හරි තාත්තට හරි නිදහසක් ලැබෙනවා. ඒත් ඉතිං ඊට පහුවදාට ඒ දරුවගෙ පාසල් ගමන නතර වෙනවා. මේ චක්‍රයට හුරු වුණු පවුල්වල දරුවන්ගේ පාසල් ගමන සිදු වෙන්නෙ යලට මහට.

“පාසල් එන්නැති එවුන් කොහොම ද මහත්තයෝ ක්‍රිකට්වලට ගෙන්න ගන්නෙ. ඒත් ඉතිං අපි යංතම් 11 දෙනෙක් හොයාගෙන වැඩේ පටන් ගත්තා. ඒකත් කළේ ක්‍රිකට්වලට ආසා කළ කිහිප දෙනෙක් පිරිවෙනෙන් වෙනත් පාසලකට යන්න අවසර ඉල්ලුවා. ළමුන් 200ක් විතර ඉන්න පිරිවෙනෙන් මොවුනුත් ගිහිං කොහොම ද? අපි කොහොම හරි ක්‍රිකට් පටන් ගත්තා.” ගෝමරංකඩවල රතනජෝති විද්‍යායතන පිරිවෙනේ පරිවෙනාධිපති නාරංඕවිට චන්ද්‍රානන්ද හාමුදුරුවෝ ක්‍රිකට් ක්‍රීඩාව පිරිවෙනට ආ ආකාරය ගැන විමසද්දී පැවසුවා.

ඒ 2017 අවුරුද්දේදී විතර. ඒකත් හරි අපූරු විදිහට. මේ පිරිවෙනේ ඉගෙන ගන්නවා, දිලිප් මධුරංග රත්නායක කියන දරුවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ඇඟලුම් කමක් දක්වනවා. කොයිවෙලෙත් ඉතිං ක්‍රිකට් තමයි. තමන්ට වඩා වැඩිමල් අය සමඟ කරන මේ සෙල්ලමත් සමඟින් ඔහුට තරමක ඉල්ලුමක් ලැබෙනවා. ඒ දෙකට බෙදී ගහන කණ්ඩායම්වලින්. මේ අතර ඔහුගේ දක්ෂතා දකින මහදිවුල්වැව විද්‍යාලයේ ළමුන් කිහිප දෙනෙක් ඒ බැව් ඒ පාසලට ගිහිල්ලා කියලා ඔහුව ඒ පාසලට ගෙන්න ගන්නත් උත්සාහ කරනවා. ඒකට මධුරංගත් එක පයින්ම කැමති වෙනවා. ඒත් ඉතිං පරහකට හිටියේ පරිවෙනාධිපති චන්ද්‍රානන්ද හාමුදුරුවෝ. 

“වෙනත් පාසලකට යන්න ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවහම ඇයි කියලා ඇහුවා. මම කිවුවා ක්‍රිකට් ගහන්න කියලා. හරි අපි ක්‍රිකට් ගහන්න කොහේවත් යන්න ඕන නැහැ, මෙහේ ගහමු කියලා කිවුවා. ඊට පස්සෙ දවසක ටෙනිස් බෝල කිහිපයකුයි. බැට් දෙකකුයි ගෙනත් දුන්නා.” දිලිප් මධුරංග පැවැසුවා. 

ඒත් ඉතිං මධුරංගට අවශ්‍ය වුනේ ටෙනිස් බෝල ක්‍රිකට් ගහන්න නෙමේ. ලෙදර් බෝල ක්‍රිකට් ගහන්න. මධුරංග මේ බවත් පැවසුවා. හාමුදුරුවන්ගෙන් ලැබුණෙ පෙර උත්තරයම තමයි. 

චන්ද්‍රානන්ද හාමුදුරුවන් ගිහි කාලෙ පාසල් ගියේ නාරංඕවිට සුමනසිරි විද්‍යාලයට. ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ පිහිටා ඇති මේ පාසලත් දරිද්‍රතාවයෙන් පිරුණ පාසලක්. ඒ වුනත් පාසල් කාලයේ දී ඔය කොයි සෙල්ලමත් කළා කියලයි හාමුදුරුවෝ පැවසුවේ. ඒ අතරින් හාමුදුරුවන්ගේ ද කැමැත්ත වෙලා තියෙන්නේ ක්‍රිකට් තමයි. 

කවදහරි දවසක අම්බලන්ගොඩ- ඇල්පිටිය- ගාල්ල යන නගරවල පාසලකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න තමයි ගිහිකාලේ හාමුදුරුවන්ගේ ද සිහිනය වෙලා තියෙන්නේ. ඒත් ඉතිං පැවිදි ජීවිතය ඒ සියලු සිහින හකුළා දැමුවා. නමුත් මධුරංගගෙ සිහිනය චන්ද්‍රානන්ද හාමුදුරුවන්ගේ අතීතය නැවත සිහිපත් කළා. 

“මමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න බලාගෙන හිටපු කෙනෙක්. මට ඒක බැරි වුනේ මහණ වුන නිසා. ඒත් මේ දරුවාගේ ඉල්ලීම මම නැවත මගේ ගිහි ජීවිතයේ කුඩා කාලයට ගෙන ගියා. මට නොලැබුණ අවස්ථාව මේ දරුවන්ට ලබා දෙන්න ඕන කියන හැඟීම ඇති වුනා. කොහොම හරි ක්‍රිකට් ආරම්භ කරනවා කියන අධිෂ්ඨානයට පැමිණියා. අපි මීට අවුරුදු දෙකකට, තුනකට  විතර ඉහත දී මේ වැඩේ කුඩාවට ආරම්භ කළා.” 

පිරිවෙනේ සෙල්ලම් කරන්න පිට්ටනියක් නැහැ. යන්තම් තියෙන එළිපෙහෙළි කර ගත් කැලෑ කෑල්ලක් තමයි ක්‍රීඩාංගණයක් ලෙසින් භාවිතා වෙන්නේ. ක්‍රීඩාංගණයට යන්න නම් ගමේ සිට ගෝමරංකඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට යන්න ඕන. ඒත් ඉතිං එතැනට යන්නෙ තරගයක් ළං වෙන කොට විතරයි. නැත්තම් ඉතිං සෙල්ලම අර එළිපෙහෙළි කර ගත් කැලෑ කෑල්ල තමයි.

හිතේ හයිය තිබුණ පමණින්ම ක්‍රිකට් ගහන්න බැහැ කියල කාටත් තේරෙන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ. ඒත් ඉතිං ආරම්භ කළ වැඩේ නතර කරන්නත් බැහැ. කොහොමින් කොහොම හරි කොල්ලො ටික වැඩේ කරගෙන ගියා. ඒ අතරේ නාරංඕවිට හාමුදුරුවෝ තමන්ට හම්බ වෙන පඩියෙන් සහ හිතවත් කිහිප දෙනෙක් හමුවෙලා විස්තරේ කියලා, ඔවුන්ගෙන් ද උදව් අරගෙන වැඩේ ගැටගහගෙන ගියා. 

මේකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලියේ සේවය කළ නුවන් චතුරංග මහතා උදව් කළා. ඔහු මේ ළමුන්ගේ පුහුණුකරු වුනා. කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස පිරිවෙනේ ඉගැන්වූ ලක්ෂිත පෙරේරා මහතා නම් කළා.  

පුහුණුකරු නුවන් මහතාට මේ වැඩේ එක දිගට කරන්න ලැබෙන්නෙ නැහැ. ඇයි ඉතිං, වැඩට යන්න එන්නත් එපැයි. මේක බාධාවක් කර ගන්න නාරංඕවිට හාමුදුරුවෝ කැමති වුනේ නැහැ. ඔහු නොමැති දවස්වල පුහුණුවීම් වැඩේ බාර ගත්තේ අපේ කතා නායක හාමුදුරුවෝ. උන් වහන්සේ කමටහන් ආරක්ෂා කරගනිමින් මේ දරුවන්ගේ පුහුණු වීම් කළා. ඒක බොහෝ දෙනෙක්ට අමුතු අත්දැකීමක් වුනා. විස්මයට පත් වෙන සිදුවීමක් වුනා. පිරිවෙනේ දායක සභාවේ කිහිප දෙනෙක් මේ වැඩේ එච්චර හොඳ නැහැ හාමුදුරුවනේ” කියල කියපු අවස්ථාත් තිබුණලු. ඒත් පටන්ගත්ත දේ අතරමග නතර කරන්නත් බැහැනේ. 

“මේ අතර අපි පිරිවෙනේ අය කුඩුම්බිගල චාරිකාවකට සහභාගී වූනා. එහේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ මහත්වරු කිහිප දෙනෙක් හමුවුණා. ඔවුන් සමඟ කතා කර කර ඉන්න විට මේ ක්‍රිකට් වැඩේ ගැනත්  කතා වුනා. ඒ මහත්වරු එදා ගියේ අපිට උදව් කරනවා කියලයි. ඊට පස්සේ සති කිහිපයයි ගියේ අපිට “මැටිමක්” සහ අවශ්‍ය ක්‍රිකට් උපකරණ ගෙනත් දුන්නා. අපි අදටත් ඒ උපකරණ පාවිච්චි කරනවා.” නාරංඕවිට හාමුදුරුවෝ පැවසුවා.

ගෝමරංකඩවල කියන්නේ එල්. ටී. ටී. ඊ. තර්ජනයට ලක් වූ මායිම් ගම්මානයක්. එදා පන බයට කැලේ පැන්න අය අද තම බව-බෝග ආරක්ෂා කර ගන්න කැලේට යනවා. වෙනසකට තියෙන්නේ මර බිය නැති එක විතරයි. ඒත් සතා සිවුපාවාගෙන් එල්ල වෙන බලපෑම එදා සිට කිසිදු වෙනසක් නෑ. 

කොහොම වුනත් පවුලේ ආර්ථිකයට ඉහළ දැමීමට මේ සියලු බාධා හමුවේ පවුලේ කුඩා දරුවාගේ සිටම උදව් ලැබෙනවා. මේ වැඩවලට උදව්-පදව් ලැබෙද්දී පිරිවෙන් ගමනත්, ක්‍රිකට් ගැහිල්ලත් අංක දෙක බවට පත්වෙනවා. 

“ඒ වගේ දරුවොන්ට මොන ක්‍රිකට් ද මහත්තයෝ. එදා වේල හොයාගෙන කන පවුල්වල දරුවෝ වැඩි දෙනෙක් ඉන්නේ. ඒත් ඉතිං මෙච්චර අමාරුවෙන් පටන් ගත්ත ක්‍රීඩාව අතරමග නතර කරන්නත් බැහැනේ.” නාරංඕවිට හාමුදුරුවෝ පවසනවා.

 නාරංඕවිට චන්ද්‍රානන්ද හාමුදුරුවෝ පවසන්නේ ක්‍රිකට් පුහුණුවීම්වලට එන දරුවන්ට එක දවසකට වඩා නොපැමිණ ඉන්න බැහැ කියලයි. එහෙම කෙනෙක් හිටියොත් හාමුදුරුවෝ පිරිවෙනේ තියෙන පරණ නයින්ටියට පණ දෙනවා. ඒ කියන්නේ එල්. ටී. ටී. ඊ. කලබල දවස්වල දාල ගියපු මෝටර් බයිසිකලයක්. 

ඒක යම්තම් පන ගහන විදිහට හදාගෙන තියෙන්නේ කට්ටි පනින කොල්ලො කුරුට්ටෝ කුදලාගෙන එන්නම තමයි. මාතලි දිව්‍ය පුත්‍රයාත් පරදින තාලෙට දුවිලි අවුස්සගෙන එන බයිසිකලේ සද්දේ ඇහෙද්දි කට්ටි පැන්න සෙට් එකම පිරිවෙනේ. “එහෙම නැතිවත් බැහැනේ මහත්තයෝ.” හාමුදුරුවෝ බුලත් කහට පිරි දත් පෙන්වා සිනාසෙමින් පැවසුවා. 

මේ කැපවීමත් සමඟින් ඔවුන් 2018 වසරේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගාවලියට සහභාගී වෙනවා. එම වසරේ දී ඔවුන් දිස්ත්‍රික් ශූරයන් බවට අභිශේක ලබනවා. 

මෙවර තරගාවලියේ දී ඔවුන් මේ වන විට අවසන් කණ්ඩායම් 64ට සුදුසුකම් ගන්නේ ප්‍රසාද ලකුණු 50.760ක් ලබා ගනිමින් එම කාණ්ඩයේ අංක එකට ශ්‍රේණිගත වෙමින්. 

එහි දී නායකයා ලෙසින් කටයුතු කරන ගෝමරංකඩවල ක්‍රිකට් ආරම්භ කිරීමට හේතු වූ දිලිප් මධුරංග තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කැපී පෙනෙන මෙහෙවරක් තම කණ්ඩායම වෙනුවෙන් සිදු කරනවා. ඔහු දකුණත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස තරග 4ක දී ලකුණු 120ක් ඉක්මවා ලබා ගන්නා අතර දකුණතින් වේගපන්දු යවමින් කඩුලු 15ක් ද දවාගෙන තිබෙනවා. 

“ලොකු හාමුදුරුවෝ ගොඩක් වෙහෙසෙනවා අපි වෙනුවෙන්. අපිත් අපේ උපරිම දක්ෂතාවන් දක්වනවා. ඒත් ඉතිං අනිත් පාසල් සමග තරගවලට ගියහම අපිට තියෙන අඩු-පාඩු කැපී පෙනෙනවා. තියෙන උපකරණ බෙදාගෙන තමයි ක්‍රීඩා කරන්නේ. අපිට කියල වෙන වෙනම ක්‍රිකට් උපකරණ නැහැ.” මධුරංග පවසනවා. 

“මේ ළමයි අතරමං කරන්න බැහැ. පිරිවෙනෙන් පිට වෙද්දී මේ අයට වෙනත් පාසල්වලට ඇතුළත් කරන්න වැඩ පිළිවෙළක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම අපි රතනජෝති විද්‍යායතන ක්‍රිකට් සමාජය හදල තියෙනවා. ඒකෙ දැනට සාමාජිකයන් 25ක් විතර ඉන්නවා. ඔවුන් එක්ව මේ වැඩ කරන්නේ මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. රතනජෝතියෙන් ක්‍රිකට් ගහපු දරුවෙක් කවද හරි දවසක කොළඹ ක්‍රිකට් ගහන්න එවන්න තමයි අපේ උත්සාහය.” නාරංඕවිට හාමුදුරුවෝ පවසනවා. 

එහෙත් එය අසීරු ගමනක්. දැනටමත් නාරංඕවිට හාමුදුරුවන්ගේ ගුරු වැටුපෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. උන් වහන්සේ එය ඉතා කැමැත්තෙන්ම කරන දෙයක්. ඊට අමතරව උන් වහන්සේ දන්න කියන අය ළඟට ද ගොස් උදව්-පදව් ගන්නවා. ඒ සඳහා ඔබට ද ඔවුන්ට උදව් කළ හැකියි. 

රතනජෝති විද්‍යායතන පිරිවෙන, ගෝමරංකඩවල, ත්‍රිකුණාමලය ඔවුන්ගේ ලිපිනය. එහෙමත් නැත්නම් 078 343 3953 හෝ 077 324 1492 දුරකතන මගින් නාරංඕවිට හාමුදුරුවෝ ඇමතීමෙන් ඔවුන්ට උදව් කිරීමට ඔබටත් හැකියාව තිබෙනවා. 

මේ දුෂ්කර ක්‍රිකට් ක්‍රියාවේ යෙදෙන රතනජෝති විද්‍යායතන පිරිවෙන් ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරන්නේ ඔවුන්ට හෙට දවසේ දී ක්‍රිකට් ලොව ජය ගැනීමට හැකිවේවායි යන පැතුම ද සමඟින්.   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<