තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

124

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර “ගිලෝරා බැන්ග්’ හිදී පැවැත්වෙන 3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ තෙවන දිනය අද (10) ක්‍රියාත්මක විය. අද දිනයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් විය.

පැරා ක්‍රීඩා උළෙලේ තනි ඉසව්වක පදක්කම් ත්‍රිත්වයක් ලංකාවට

3 වන ආසියානු පැරා ක්‍රීඩා මලල උළෙලෙහි දෙවන දිනය අද (09) ක්‍රියාත්මක විය. අද දිනයේත් තරග…

උදෑසන පැවති ඉසව් අතරින් පිරිමි උස පැනීමේ T 64/44 කාණ්ඩයේ ඉසව්ව නියෝජනය කළ ලාල් පුෂ්පකුමාර දිනයේ ප්‍රථම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී ඔහු මීටර් 1.76ක දක්ෂතාවයක් වාර්තා කළේය.

ඉන්පසු පැවති පිරිමි දුර පැනීමේ T 42/61/63 කාණ්ඩයේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ චරිත ඉන්ද්‍රපාල ශ්‍රී ලංකාව රනින් බබළවන්නට සමත් වූයේ මීටර් 5.76 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. තරගාවලියේ පළමු දිනයේදීත් චරිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

පිරිමි මීටර් 100 T 45/46/47 කාණ්ඩයේ ඉසව්වේ අවසන් තරගය වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි ඉසව්ව අවසානයේ තත්පර 11.58ක දක්ෂතාවයක් වාර්තා කළ ද ඔහුට එම ඉසව්වේ දී ලබා ගත හැකි වූයේ 8 වන ස්ථානයයි.

පිරිමි මීටර් 100 T 44/62/64 කාණ්ඩයේ අවසන් තරගය වෙනුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලැබීය. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික තත්පර 11.98ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ සිව්වැනි ස්ථානය ද, තත්පර 12.04ක කාලයක් වාර්තා කරමින් දුමිර මධුරංග ඉසව්වේ 5 වන ස්ථානය ද දිනා ගැනීමට සමත් විය.

චරිත ඉන්ද්‍රපාල

ඉන් අනතුරුව කාන්තා මීටර් 100 T45/46/47 කාණ්ඩයේ අවසන් තරගය ක්‍රියාත්මක විය. එම ඉසව්ව සඳහා ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සහභාගී වූ අතර තත්පර 14.58ක කාලයක් වාර්තා කළ ඇයට හිමි වූයේ ඉසව්වේ 7 වන ස්ථානයයි.

දිනයේ පිටිය ඉසව් අතරින් කාන්තා හෙල්ල විසිකිරීමේ F 57 කාණ්ඩයේ අවසන් වටය වෙනුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සහභාගී වූ තිසාරා ජයසිංහ මීටර් 13.13ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ 9 වන ස්ථානය දිනා ගත්තාය.

පැරා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අද (08) ආරම්භ විය. එහි දී පළමු දිනය….

දින තුනක් අවසන් වන විට රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් සටහනේ 14 වන ස්ථානයෙහි රැඳී සිටියි. රන් පදක්කම් 104ක් සමඟින් චීනය තවමත් පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයෙහි රැඳී සිටියි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<