අයර්ලන්ත පන්දු යැවීම හමුවේ නෙදර්ලන්තය අසරණ වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

29

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ පළමු තරගය ලෙස අද (18) සවස් වරුවේ පැවති තරගයෙන් නෙදර්ලන්තය පරදවා කඩුලු 7ක ජයක් ලබා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Pieter Seelaar පළමුවෙන් පන්දුවෙන් පහර දීමට තීරණය කළා.

ඔහුගේ තීරණයට යම් අභියෝගයක් එල්ල කළ අයර්ලන්ත ක්‍රීඩකයන් මුළු ලකුණු සංඛ්‍යාව 22ක් වන විට Ben Cooper සහ Bas de Leede පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ නෙදර්ලන්තයට තරග ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් Max ODowd සහ Colin Ackermann ලකුණු 29ක සම්බන්ධතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ නැංවූවා.

නමුත් නෙදර්ලන්තය දැඩි අසීරුතාවයකට ඇද දමමින් තරගයේ නවවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අයර්ලන්ත යොවුන් ක්‍රීඩක Curtis Campher පන්දු හතරක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට (Double hat-trick) සමත් වුනේ රශීඩ් කාන් සහ ලසිත් මාලිංගට පසු එම දස්කම පෑ පළමු ක්‍රීඩකයා සහ විස්සයි විස්ස ලෝක කුසලානයක එම දස්කම පෑ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමිනුයි.

එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ලකුණු 11ක් ලබා සිටි Colin Ackermann දවා ගැනීමට සමත් වූ Campher අනෙක් පන්දුවාර ත්‍රිත්වයේ දී Ryan ten Doeschate, Scott Edwards සහ Roelof van der Merwe පිළිවෙළින් දවා ගනිමින් එම වාර්තාව පිහිටවුයේ නෙදර්ලන්ත ඉනිම ලකුණු 51කට කඩුලු 6ක් බවට පත්කරමිනි.

එම දරුණු කඩාවැටීමෙන් පසු නෙදර්ලන්ත නායක Pieter Seelaar හා එක්ව ආරම්භක පිතිකරු Max ODowd සටන්කාමී ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ නමුත් ලකුණු 51ක් ලබා සිටි ඔහුව දවා ගැනීමට Mark Adair සමත් වුනා.

නෙදර්ලන්තය සටනක් ලබා දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට Pieter Seelaar උත්සහ කළත්, අයර්ලන්ත පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුනේ ලකුණු 106ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ Pieter Seelaar ලකුණු 21ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේදී Curtis Campher ලකුණු 26කට කඩුලු 4ක් සහ Mark Adair ලකුණු 9කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු 107ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අයර්ලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Paul Stirling සහ Kevin O Brien විසිනුයි.

ඔවුන් දෙදෙනා විසින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට උත්සහ කළත්, මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වන විට ලකුණු 9ක් ලබා සිටි Kevin O Brien පිටියෙන් ඉවත් කිරීමට Brandon Gloverට හැකි වුනා.

එම කඩුල්ල ලබා ගැනීමෙන් කෙටි වේලාවකට පසු එනම් මුළු ලකුණු සංඛ්‍යාව 36ක් වන විට අයර්ලන්ත නායක Andrew Balbirnie ලකුණු 8කට පිටියෙන් ඉවත් කිරීමට Fred Klaassen හැකි වූයේ අයර්ලන්ත කණ්ඩායමට ද තරමක පීඩනයක් ගෙන දෙමිනුයි.

එම කඩුල්ලෙන් පසු Paul Stirling සමඟ එක්වූ Gareth Delany නෙදර්ලන්ත පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 29ක් තුළ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් රැස් කළා.

එම ඉනිමෙන් ලැබූ සහයත් සමඟ පන්දුවාර 15.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට හැකි වූ අතර වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළ Paul Stirling පන්දු 39ක දී නොදැවී ලකුණු 30ක් රැස්කළා.

ඒ අනුව පළමු තරගයෙන්ම පහසු ජයක් ලබා ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට අයර්ලන්ත ක්‍රීඩකයන්ට හැකි වූ අතර පන්දු යැවීමේ දී Brandon Glover, Fred Klaassen සහ Pieter Seelaar අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

  • නෙදර්ලන්තය: 106/10 (20) – Max ODowd 51, Pieter Seelaar 21, Curtis Campher 4/26, Mark Adair 3/9
  • අයර්ලන්තය: 107/3 – Gareth Delany 44, Paul Stirling 30*, Fred Klaassen 1/18, Pieter Seelaar 1/14

A කාණ්ඩයේ තවත් තරගයක් අද (18) රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<