ලෝක කුසලානයේ පළමු අභියෝගයට සිංහයන් සීරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

351

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (18) අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රතිවාදීන් වන්නේ නැමීබියාවයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි රැසකට සහභාගී වී අත්දැකීම් ලබා ඇති කණ්ඩායමක් වුවත්, නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලානයක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර පැවැත්වුණු පුහුණු තරග දෙකම සහ ඕමානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරග දෙකම ජයගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව මේ තරගයට අවතීර්ණ වෙනවා.

ශ්‍රී ලංකාව පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් මේ වන විට කණ්ඩායමක් ලෙස ඉතාමත් හොඳ රිද්මයකට පැමිණ තිබීම ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන සාධකයක්.

කෙසේ නමුත් නැමීබියාව ස්කොට්ලන්තයට එරෙහිව සහ ඕමානයට එරෙහිව ඔවුන් සහභාගී වුනු පුහුණු තරග දෙකම පරාජයට පත්ව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගයට අවතීර්ණ වෙනවා.

වැඩි අවධානයට

ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් වී තිබෙන්නේ ඔවුන්ගේ අංකය 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවා ගැනයි. පුහුණු තරග දෙකේ දී සහ ඕමාන තරග දෙකේ දී ඒ සඳහා උපනායක ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් අත්හදා බැලූ නමුත් ඔවුන් කිසිවෙකු හට එම ස්ථානය තුල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා හට කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය ලැබීමට වැඩි ඉඩක් තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමෙන් ද කණ්ඩායමේ සමබර කරගැනීමට හැකි වන නිසයි.

කණ්ඩායම් සංයුතිය

ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවා වන කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරා පැතුම් නිස්සංක සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත. මෑතක දී අංක 4 ස්ථානය සඳහා නිසි සාධාරණයක් ඉටු කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අංක 5 පිතිකරු ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කිරීම සඳහා වැඩි ඉඩක් තිබෙනවා.

අංක 5 සිට 7 දක්වා ස්ථාන තුන තුල ක්‍රීඩා කිරීම සඳහා නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග සූදානමින් සිටින විට, පන්දු යවන්නන් තෝරාගැනීමේ දී අතිරේක වේගපන්දු යවන ක්‍රීඩකයෙක් සමඟ ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ ස්ථානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ලහිරු කුමාරයි.

ඒ අනුව ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කරද්දී, යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමේ දඟපන්දු යවන්නා ලෙස හෙට (18) තරගය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාවේ පිතිකරණ දෙස බැලූ කල අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන්නේ ඔහු මේ වන විට ඉතාමත් හොඳ පිතිකරණ රිද්මයක සිටින නිසයි.

එසේම පන්දු යවන්නන්ගේ අංශය සලකා බැලීමේ දී දුෂ්මන්ත චමීරගේ දස්කම් සහ ඔහුගේ පන්දු යැවීමේ වේගය ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ අවියක් වනු ඇති අතර වනිඳු හසරංගව නැවතත් සුපුරුදු රිද්මයට රැගෙන ඒමට මේ තරගය විශාල රුකුලක් විය හැකි.

නැමීබියාව දෙස බැලීමේ දී සමස්තයක් ලෙස ඔවුන්ට ජාත්‍යන්තර විස්සයි විස්ස අත්දැකීම් අඩු නමුත්, ඔවුන් සතුව ද දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිටිනවා.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රීඩකයෙක් වන David Wiese ඒ අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අතර ඔහු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අමතරව IPL, CPL සහ PSL වැනි ඉහළ මට්ටමේ ලීග් පවා ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුට විස්සයි විස්ස පිටියේ 2,800කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සහ 200කට වඩා වැඩි කඩුලු ප්‍රමාණයක් හිමියි.

ඊට අමතරව ඔවුන්ගේ කණ්ඩායම් නායක Gerhard Erasmusගේ තුන් ඉරියව් දස්කම් සහ Craig Williamsගේ පිතිකරණය ඔවුන්ගේ කණ්ඩායමට තිබෙන විශාල අවි වෙනවා.

ශ්‍රී ලංකා – නැමීබියා තරගයේ අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (c), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර.
  • නැමීබියාව: Stephan Baard, Zane Green (wk), Craig Williams, Gerhard Erasmus (c), David Wiese, JJ Smit, Jan Frylinck, Bernard Scholtz, Ruben Trumpelmann, Ben Shikongo, Pikky Ya France

තණතීරුව සහ කාලගුණය

අබුඩාබි තණතීරුව තරමක් මන්දගාමී ස්වභාවයක් උසුලනු ඇති අතර ලකුණු 150-160ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි නම් ඉතාමත් හොඳ තරගයක් දීමට අවස්ථාව තිබෙනවා.

කාලගුණය දෙස අවධානය යොමු කිරීමේ දී වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල වීමට හැකි නොවුනත් ඒ අවට දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  අද (17) ආරම්භ වුනු අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය 18 වැනිදා නැමීබියාව සමඟ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<