Home Sinhala වනිඳු සහ පැතුම් ගොඩ ගත් ඉනිම මහීෂ් ජයග්‍රහණයෙන් අවසන් කරයි

වනිඳු සහ පැතුම් ගොඩ ගත් ඉනිම මහීෂ් ජයග්‍රහණයෙන් අවසන් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

341

වනිඳු හසරංග සහ පැතුම් නිස්සංකගේ සටන්කාමී ඉනිමත් මහීෂ් තීක්ෂණගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අද (20) අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය සමඟ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයග්‍රහණයක් හිමි වුනා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ලෝක කුසලානයේ සුපිරි 12 අතරේ අසුනක් වෙන්කර ගැනීමට ද ඔවුන් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙතෙක් මෙම තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් කඩුලු 7කට ලකුණු 171ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ පන්දුවාර 18.3ක දී සියලුම දෙනා දැවී ලකුණු 101ක් පමණයි.

තරගය ආරම්භයට පෙර කාසියේ වාසිය උරගා බැලීම පිණිස දසුන් ශානක සහ Andy Balbirnie පිටියට මැදට පිවිසියේ පළමු තරගවලින් ලත් ජයග්‍රාහී උණුසුමත් සමඟින්. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ප්‍රතිවාදී ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

අද තරගයේ දී දසුන් ශානක තමන් සමඟ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා තිබුණා. අයර්ලන්තය එක් වෙනස්කමක් සහිතව පිටියට පිවිසියා. ඒ Ben White වෙනුවට දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි Craig Young කැඳවමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම;

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග. දුෂ්මන්ත චමීර, මහීෂ් තිත්ෂණ, ලහිරු කුමාර

අයර්ලන්ත කණ්ඩායම;

Andy Balbirnie (නායක) , Paul Stirling, Kevin O’Brien, Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (කඩුලු රකින්නා), Simi Singh, Mark Adair, Josh Little, Craig Young

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙස ම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා. පළමු පන්දුවේ දී පැතුම් ලකුණක් ලබා ගත්ත ද, කුසල්ට ඒ වාසනාව ලැබුණේ නැහැ.

තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම කුසල්ගේ ඉනිම නිමා කිරීමට Paul Stirling සමත් වුනා. ඊට දායක වූ Gareth Delanyගේ උඩ පන්දු රැකීම තරමක මතභේදාත්මක වූවද, රූපවාහිනී පුනරූපන නැරඹූ තෙවැනි විනිසුරුවරයා ද කුසල් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් නම් කළේ අවස්ථා ගණනාවක් ම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම වෙනුවෙන් වැදගත් යමක් කිරීමට හැකි වූයේ නැහැ. ඔහුගේ ඉනිම හතරේ පහරක් සමඟ එක් වූ ලකුණු 6කට සීමා වුනා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ස්ථානයට සුදුස්සෙක් තෝරා ගැනීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන කාරණයක් බවට පත් වුනා. ඒ දිගින් දිගට ම එම ස්ථානයේ නැංගුරම්ලමින් පන්දුවට පහර දෙන්නෙක් මෑත කාලයේ තෝරා ගැනීමට නොහැකි වීම නිසායි.

ඊළඟ පන්දුවේ දී අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම අහිමි වන අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි අගාධයකට ඇද වැටුණා හා සමාන සිදු වීමක් වුනා.

මේ කඩුලු දෙකේ ම හිමිකාරිත්වය Josh Little සතු වුනේ එක ම ආකාරයෙන් පන්දුව කඩුල්ලේ වැදීම හේතුවෙන්. ඒ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුහුණ දී සිටියේ පන්දු 10ක් පමණක් වන අතර කඩුලු 3ක් අහිමි ව තිබුණා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අඩු ලකුණු ප්‍රමාණයකින් සහ වැඩි කඩුලු දැවී යෑමකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවෙද්දී, පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලත් වනිඳු හසරංග 5 වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසියා.

තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ගෞරවනීය ඉනිමක් දායාද කිරීමට වනිඳු සමත් වුනේ පැතුම් හා එක් වෙමින් සිව්වැනි කඩුල්ලට පන්දු 82ක දී ලකුණු 123ක සබඳතාවක් ද එක් කරමින්. එය මෙවර තරගාවලියේ සිව්වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

වනිඳු තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකය 38 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මෙවර තරගාවලියේ වාර්තා කළ මංගල අර්ධ ශතකය ද වුනා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 131ක් වෙද්දී වනිඳු තම ඉනිම හැර ගියේ උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 71ක් ලබා සිටිය දී. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කරගෙන තිබුණා.

පැතුම්ගේ සටන්කාමී ඉනිම ද වනිඳුගේ ඉනිමට නොදෙවෙනි වූයේ නැහැ. ඔහු ඉනිම හැර යද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. පැතුම් තම අර්ධ ශතකය 37 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් වුනා. එය පැතුම්ගේ ද ජාත්‍යන්තර එක්දින පිටියේ වාර්තා වූ මංගල අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා ඉදිරි පෙළ අගාධයකට ඇද දැමූ Josh Little නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් භානුක රාජපක්ෂගේ කඩුල්ල ද දවා ගත්තා. භානුකට අද තරගයේ දී රැස් කිරීමට හැකි වූයේ ලකුණක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට දසුන් ශානක පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද, දුෂ්මන්ත චමීර නොදැවී ලකුණක් ද ලබා සිටියා.

අයර්ලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ Josh Little ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව Mark Adair කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පෙර තරගයේ දී පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් දකුණතින් වේගපන්දු යැවූ Curtis Campherට මෙම තරගයේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ අතර ඔහුගේ පන්දුවාර 4ට ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 38ක් ලබා ගත්තා.

දකුණතින් වේගපන්දු යවන Mark Adair චාමික කරුණාරත්න (2) ගේ කඩුල්ල දවා ගනිමින් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම අර්ධ ශතක කඩුල්ල වාර්තා කිරීමට සමත් වුනා.

ලකුණු 172ක හඹායන ඉනිමකට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම නැවත හරවා යෑවීමට චාමික සහ මහීෂ් තීක්ෂණ සමත් වුනා.

අයර්ලන්තයේ දෙවැනි සහ තෙවැනි කඩුලුවලට ද එතරම් ම ලකුණු සබඳතාවක් එක් කිරීමට පිළිවෙළින් මහීෂ් සහ වනිඳු ඉඩ ලබා දුන්නේ නැහැ.

සිව්වැනි කඩුල්ල ද ඒ හා සමඟ ම දවා ගැනීමට වනිඳුට අවස්ථාවක් උදා වූව ද, දුෂ්මන්ත චමීරගේ දුර්වල පන්දු රැකීම හමුවේ ඒ අවස්ථාව මඟ හැරී ගියා. ඒ වෙද්දී අයර්ලන්ත ලකුණු පුවරුව 42ක් වූ අතර Andy Balbirnie ලබා සිටියේ ලකුණු 13ක් පමණයි.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නායක Balbirnie, Curtis Campher (24) හා එක්වෙමින් එම කඩුල්ලට ලකුණු 53ක් එක් කළා.

අයර්ලන්තයේ වැඩිම ලකුණුලාභියා වූ Balbirnie පන්දු 39කින් ලකුණු 41ක් ලබා ගත්තා. ඊට හතරේ සහ හයේ පහර දෙක බැගින් ද එක් කිරීමට ඔහු සමත් වුනා. ඔවුන් දෙදෙනාට අමතර ව අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් දෙකේ ලකුණු වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. අයර්ලන්තයේ අවසන් කඩුලු 6 පන්දු 34ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා.

අද තරගයේ දී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහීෂ් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. තරග දෙකක දී කඩුලු 6ක් ලබා ගත් මහීෂ් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතර සම පළමු තැනට පිවිසියා.

අයර්ලන්තය අමාරුවේ දැමීමේ දී මහීෂ්ට අමතර ව ලහිරු කුමාර සහ චාමික කඩුලු 2 බැගින් ද, දුෂ්මන්ත චමීර හා වනිඳු අතර කඩුල්ල බැගින් ද බෙදී ගියා. තරගයේ වීරයා වනිඳු හසරංග.

ශ්‍රී ලංකාව; කඩුලු 7ක් දැවී 171 (20): පැතුම් නිස්සංක 61, වනිඳු හසරංග 71, දසුන් ශානක නොදැවී 21, Josh Little 4/23, Mark Adair 2/25

අයර්ලන්තය; සියලුම දෙනා දැවී 101 (18.3): Andy Balbirnie 41, Curtis Campher 24, චාමික කරුණාරත්න 2/27, මහීෂ් තීක්ෂණ 3/17, ලහිරු කුමාර 2/22

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය නෙදර්ලන්තය සමඟ මේ මස 22 වැනිදා පැවැත්වෙන අතර එම තරගයේ උණුසුම් තොරතුරු මෙන් ම තරගාවලියේ සියලු තොරතුරු  ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.


Result


Ireland
101/10 (18.3)

Sri Lanka
171/7 (20)

Batsmen R B 4s 6s SR
Kusal Perera c Gareth Delany b Paul Stirling 0 1 0 0 0.00
Pathum Nissanka c Neil Rock b Josh Little 61 47 6 1 129.79
Dinesh Chandimal b Josh Little 6 6 1 0 100.00
Avishka Fernando b Josh Little 0 1 0 0 0.00
Wanidu Hasaranga c Craig Young b Mark Adair 71 47 10 1 151.06
Bhanuka Rajapaksa c Harry Tector b Josh Little 1 3 0 0 33.33
Dasun Shanaka not out 21 11 2 1 190.91
Chamika Karunaratne b 2 3 0 0 66.67
Dushmantha Chameera not out 1 1 0 0 100.00


Extras 8 (b 1 , lb 5 , nb 0, w 2, pen 0)
Total 171/7 (20 Overs, RR: 8.55)
Fall of Wickets 1-1 (0.2) Kusal Perera, 2-8 (1.3) Dinesh Chandimal, 3-8 (1.4) Avishka Fernando, 4-131 (15.2) Wanidu Hasaranga, 5-143 (16.4) Bhanuka Rajapaksa, 6-157 (18.5) Pathum Nissanka,

Bowling O M R W Econ
Paul Stirling 1 0 4 1 4.00
Josh Little 4 0 23 4 5.75
Craig Young 4 0 24 0 6.00
Mark Adair 4 0 35 2 8.75
Simi Singh 3 0 41 0 13.67
Curtis Campher 4 0 38 0 9.50


Batsmen R B 4s 6s SR
Paul Stirling c Lahiru Kumara b Maheesh Theekshana 7 7 1 0 100.00
Kevin O’Brien c Maheesh Theekshana b Chamika Karunaratne 5 3 1 0 166.67
Andy Balbirnie c Avishka Fernando b Lahiru Kumara 41 39 2 2 105.13
Gareth Delany b Wanidu Hasaranga 2 4 0 0 50.00
Curtis Campher b Maheesh Theekshana 24 28 2 0 85.71
Harry Tector c Kusal Perera b Lahiru Kumara 3 6 0 0 50.00
Neil Rock st Kusal Perera b Maheesh Theekshana 1 3 0 0 33.33
Mark Adair run out () 2 3 0 0 66.67
Simi Singh not out 5 9 0 0 55.56
Craig Young b Dushmantha Chameera 1 6 0 0 16.67
Josh Little b Chamika Karunaratne 1 2 0 0 50.00


Extras 9 (b 4 , lb 3 , nb 0, w 2, pen 0)
Total 101/10 (18.3 Overs, RR: 5.46)
Fall of Wickets 1-8 (0.6) Kevin O’Brien, 2-18 (2.3) Paul Stirling, 3-32 (4.2) Gareth Delany, 4-85 (12.5) Curtis Campher, 5-88 (13.5) Harry Tector, 6-89 (14.2) Neil Rock, 7-92 (15.1) Mark Adair, 8-94 (15.4) Andy Balbirnie, 9-98 (17.1) Craig Young,

Bowling O M R W Econ
Chamika Karunaratne 3.3 0 27 2 8.18
Dushmantha Chameera 3 0 16 1 5.33
Maheesh Theekshana 4 0 17 3 4.25
Lahiru Kumara 4 0 22 2 5.50
Wanidu Hasaranga 4 0 12 1 3.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<