ඩැනියල් සහ වනුජගේ පිතිකරණයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

184

සංචාරක බංග්ලාදේශ සහ සත්කාරක ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වුණු තෙවැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගත් ශ්‍රී ලංකාව තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද (20) සමත් වුනා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු තරග දෙකම ජයගෙන තිබූ නමුත්, ඔවුන් මේ තරගයට අවතීර්ණ වුනේ වෙනස්කම් 5ක් සිදු කරමිනි.

ඒ අනුව ජීවක ශෂීන්, සදීෂ් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ. යසිරු රොද්‍රිගෝ යන ක්‍රීඩකයින් මදක් විවේක ගන්වා, අද තරගයට හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු, ලහිරු දවටගේ, විනුජ රන්පුල් සහ වනුජ සහන් යන ක්‍රීඩකයින් කැඳවා තිබුණා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – හරිඳු ජයසේකර, රයන් ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), ලහිරු දවටගේ, විනුජ රන්පුල්, වනුජ සහන්, ට්‍රෙවින් මැතිව්, මතීෂ පතිරණ.

බංග්ලාදේශය – Mahfijul Islam, Iftikher Hossain, Tahjibul Islam, Aich Mollah, Abdullah Al Mamun, Ariful Islam, SM Meherob (නායක), Ahosan Habib, Ashikur Zaman, Naimur Rohman, Mushfik Hasan

දෙවැනි තරගයේ දී සාර්ථක ආරම්හක සබඳතාවයක් ගොඩනැංවූ Mahfijul Islam සහ Iftikher Hossainගේ සබඳතාවය මෙවර වැඩි වේලාවක් පවත්වා ගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ. එහි දී තමන් මුහුණ දුන් 6 වැනි පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී යාමට Mahfijul Islamට සිදු වුන අතර විනුජ රන්පුල් එම කඩුල්ල සඳහා හිමිකම් කීවා.

Iftikher Hossain දෙවැනි තරගයේ දී මෙන් සිය අන්තය ස්ථාවර කරගනිමින් දුර්වල පන්දු හමුවේ ලකුණු ලබාගෙන බංග්ලාදේශ ලකුණු සටහන ක්‍රමයෙන් ඉහළ නැංවූ නමුත් ඔහුගේ ඉනිමට ලකුණු 25 දී තිත තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

ඒත් සමඟම ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ජවයක් සහිතව නැවත වතාවක් තරගයට අවතීර්ණ වීමේ ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ කඩුලු 7ක් ලකුණු 71ක් තුල දවා ගැනීමට රන්පුල් සහ උපනායක රවීන් ද සිල්වා සමත් වුනා.

කෙසේ නමුත් Ashikur Zaman සමඟ එක් වුන බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන් වුනු Ahosan Habib සහ Naimur Rohman පිළිවෙළින් ලකුණු 33ක් සහ ලකුණු 27ක් ලබා ගනිමින් Zaman වෙත සහයෝගය ලබා දුන්නා.

නොදැවී ක්‍රීඩා කළ Zamanගේ ඉනිම නිසාවෙන් බංග්ලාදේශය ඉතාමත් හොඳ සටනක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් ගොඩනංවා ගත් අතර පන්දු 73ක දී ගොඩනැංවුණු ඔහුගේ එම ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා.

අවසානයේ දී බංග්ලාදේශ ඉනිම ලකුණු 184කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර විනුජ සහ රවීන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. ඊට අමතරව වනුජ සහන් කඩුලු දෙකක් දවා ගත්තා.

පළමු තරග දෙකට වඩා මේ තරගයේ දී පිතිකරුවන් හට තණතීරුවෙන් විශාල සහයක් නොලැබුණු අතර ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද එම අභියෝගය එසේම වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු හරිඳු සහ රයන්ගේ කඩුලු දෙක ලකුණු 14ක් වන විට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා අංක 4 පිතිකරණ ස්ථානය සඳහා විශාල ස්ථාවරත්වයක් ලබා දී තිබෙන පවන් පතිරාජ නොකඩවා අර්ධ ශතක දෙකක් ලබාගෙන මේ තරගයට පැමිණියා. ඔහුට අවාසනාවන්ත ලෙස මේ තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට නොහැකි වුනු නමුත්, ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීම සඳහා අවශ්‍ය වුනු මුල් අඩිතාලම සකස් කිරීමට පතිරාජ සහ ශෙවෝන් ඩැනියල් සමත් වුනා.

එහි දී ඔවුන් දෙදෙනා අතරේ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවුනා. නමුත් ලකුණු 31ක් ලබා සිටි පතිරාජගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 5ක් ලකුණු 33ක් ඇතුළත බිඳ වැටීම නිසා නැවතත් තරගයේ වාසිය බංග්ලාදේශය දෙසට ඇදී ගියා.

කෙසේ නමුත් ඒ වන විට කඩුල්ල මත ඉතාමත් හොඳින් ස්ථාවර වී සිටි ඩැනියල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි වනුජ සහන් සමඟ එක්ව නොදැවුණු ලකුණු 66*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

ඒ අනුව වත්මන් 19න් පහළ ලෝක ශූර බංග්ලාදේශයට එරෙහිව තෙවැනි ජාත්‍යන්තර යොවුන් එක්දින තරගය කඩුලු 3කින් ජය ගත් ශ්‍රී ලංකාව තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම මේ තරගාවලියේ ජය තමන් සතුකර ගත්තේ සුපිරි දස්කම් ප්‍රදර්ශනය කරමිනි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Mushfik Hasan කඩුලු 3ක් දවා ගන්නා විට, ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ වීරයා වුනු වමත් පිතිකරු ඩැනියල් 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 85*ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිම සඳහා වැය වුනේ පන්දු 116ක් පමණයි.

වනුජ 4 පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 38*ක් ලබාගෙන ඩැනියල් දියත් කළ සටන්කාමී පිතිකරණයේ අවසන් ප්‍රතිඵලය සාර්ථක කරගැනීමට සහය ලබා දුන්නා.

ලකුණු සාරාංශය,

බංග්ලාදේශය – 184 (49.3): Ashikur Zaman 54*, Ahosan Habib 33, Naimur Rohman 27, Iftikher Hossain 25, විනුජ රන්පුල් 3/32, රවීන් ද සිල්වා 3/38.

ශ්‍රී ලංකාව – 188/7 (46.4): ශෙවෝන් ඩැනියල් 85*, වනුජ සහන් 38*, පවන් පතිරාජ 31, Mushfik Hasan 3/46, Ahosan Habib 2/24.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය මේ මස 23 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

>> Click here to view Full Scorecard