එංගලන්තය පළමු වතාවට ශ්‍රී ලංකාව white wash කරයි

527
Sri Lanka vs England

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේ දී අද (26) නිමා වූ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයත් ලකුණු 42කින් ජයග්‍රහණය කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 37ක් ඉපැරණි දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් white wash කිරීමට සමත් විය. එසේම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක (අවම ටෙස්ට් තරග 3) තරග සියල්ලම ජය ගත් 14 වැනි අවස්ථාව ලෙස ද ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයට එකතු විය.

තෙවැනි දිනයේ දී දිල්රුවන් වේගවත් වාර්තාවක් අලුත් කරයි

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන හා අවසන් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වන විට..

අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසු වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස් හා සැදෑ ආරක්ෂකයා (Night Watchman) වූ ලක්ෂාන් සඳකැන් පිළිවෙළින් ලකුණු 15*ක් හා ලකුණු 1*ක් ලබාගෙන සිටියේය.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවයක් ගොඩනැංවූ සඳකැන් හා මෙන්ඩිස්ගේ සබඳතාවය සඳහා තිත තැබුවේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් විසිනි. 4 පහරක් සමඟින් ලකුණු 7ක් ලබා සිටි සඳකැන් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ඒත් සමඟම ක්‍රමක්‍රමයෙන් තරගයේ පීඩනය වැඩි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසටයි. ඒ නමුත් එම පීඩනය ඉතාමත් හොඳින් පාලනය කරගෙන එංගලන්තය දෙසට එම පීඩනය හැරවූ මෙන්ඩිස් හා රොෂේන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ ස්ථාවරත්වයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය මේ තරගයේ යම් වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වේ යැයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හට යම් බලාපොරොත්තුවක් ද ඇති කළේ ක්‍රමයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වර්ධනය කරමිනි.

>> ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ තෙවන දින සේයා රූ << 

දිනයේ පළමු කාර්තුව අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් ලබාගෙන කාර්තුවේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවාලීමට දකුණතින් පිතිකරණයේ නිරත වන රොෂේන් සිල්වා හා මෙන්ඩිස් සමත් වූයේ තීරණාත්මක තැනකට තරගය පත්වෙන බවට ඉඟි පළ කරමිනි. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි මෙන්ඩිස් හා රොෂේන් පිළිවෙළින් ලකුණු 73*ක් හා ලකුණු 31*ක් ලබාගෙන සිටියේය.

දිවා ආහාරයේ  ලැබුණු විවේකයට පසුවත් උදෑසන සිට පවත්වා ගෙන පැමිණි පිතිකරණ රිද්මයේ වෙනසක් සිදු නොකළ මෙන්ඩිස් – රොෂේන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 185ක් තුල ලකුණු 102ක හොඳ සබඳතාවයක් වර්ධනය කරමින් ස්ථාවරව සිටි මොහොතක අනවශ්‍ය ලෙස ඇති කර ගත් කලබලයක් නිසාවෙන් මෙන්ඩිස් දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසයි. මේ ඉනිමේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් මෙන්ඩිස්ගේ ඉනිම 4 පහර 8කින් හා මනරම් 6 පහරකින් අලංකාරවත් විය. එසේම  මේ තරගාවලිය පුරාවටම එංගලන්ත පන්දු රැකීමත් ඉහළ මට්ටමක තිබූ බවත් පැවසිය යුතුමය.

මේ තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සැලකිය යුතු මට්ටමේ දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ වමතින් පිතිකරණයේ නිරත වන නිරෝෂන් දික්වැල්ල 4 පහර දෙකක් සමඟින් පන්දු 19ක දී ලකුණ 19ක් ලබාගෙන සිටිය දී ලීච්ගේ පන්දුවකට කීට්න් ජෙනින්ග්ස් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු සටහන 214ක් ලෙස දැක්වෙන විටයි.

ඒ්ත් සමඟින් ශ්‍රී ලංකා පසුපෙළ සුපුරුදු පරිදි කඩා වැටුණු අතර පසුපෙළ යම් ආකාරයකින් සවිමත් කිරීමට වෙර දැරූ රොෂේන් සිල්වා ලකුණු 65කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසයි. 4 පහර 4ක් සමඟින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කරගත් රොෂේන් මේ තරගාවලියේ ඔහුට ලැබුණු ටෙස්ට් තරග දෙක තුල සිය හැකි උපරිම දස්කම් දැක්විය.

ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව ගෙදර යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට්..

ශ්‍රී ලංකා දෙවන ඉනිම 226/9ක් ලෙස දැක්වෙද්දී නායක සුරංග ලක්මාල් හා පිටියේ එක්වූ දකුණතින් පිත්ත හසුරුවන මාලින්ද පුෂ්පකුමාර අවසන් කඩුල්ල වෙනුවෙන් නැවතත් සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවූයේ එංගලන්තයට එරෙහිව අවසන් කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ දී වාර්තා කළ වැඩිම ලකුණු සහිත සබඳතාවය වාර්තා කරමිනි. අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු එම සබඳතාවය ලකුණු 58ක් දක්වා වර්ධනය වී තිබිය දී ලකුණු 11ක් ලබා සිටි ලක්මාල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා මේ තරගයත් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 3 වන ස්ථානයේ සිටි එංගලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා උසස් වීමක් ලබා ගත්තේ 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානය දක්වා පහතට ඇඳ දමමිනි. තවද තරග 3ක් හෝ ඊට වැඩි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දඟපන්දු යවන්නන් විසින් කඩුලු 100ක් (ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් කඩුලු 51, එංගලන්ත දඟපන්දු යවන්නන් කඩුලු 49) දවා ගත් ප්‍රථම අවස්ථාව බවට ද මේ තරගාවලිය පත්විය.

පන්දු යැවීමේ දී ජැක් ලීච් හා මොයින් අලී අතරේ කඩුලු 4 බැගින් බෙදී යන ලදි.

එංගලන්ත පළමු ඉනිම – 336 (92.5): ජොනී බෙයාර්ස්ටොව් 110, බෙන් ස්ටොක්ස් 57, ජෝ රූට් 46, ලක්ෂාන් සඳකැන් 4/95, මලින්ද පුෂ්පකුමාර 2/64.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 240 (65.5): දිමුත් කරුණාරත්න 83, ධනංජය ද සිල්වා 73, කුසල් මෙන්ඩිස් 27, ආදිල් රෂීඩ් 5/49, බෙන් ස්ටොක්ස් 3/30.

එංගලන්ත දෙවන ඉනිම  – 230 (69.5): ජෝස් බට්ලර් 64, බෙන් ස්ටොක්ස් 42, බෙන් ෆෝකස් 36*, දිල්රුවන් පෙරේරා 5/88, මාලින්ද පුෂ්පකුමාර 3/28

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 284 (86.4): කුසල් මෙන්ඩිස් 86, රොෂේන් සිල්වා 65, මාලින්ද පුෂ්පකුමාර 42*, ජැක් ලීච් 4/72, මොයින් අලී 4/92.

  • තරගයේ වීරයා – ජොනී බෙයාර්ස්ටොව් (එංගලන්තය)
  • තරගාවලියේ වීරයා – බෙන් ෆෝකස් (එංගලන්තය)

දිනෙන් දින උණුසුම් වන කෙළිබිමේ තොරතුරු, තරග වාර්තා, එසැණ තොරතුරු, වීඩියෝ, ලකුණු සටහන් හා සේයාරූ, ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<