ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

505
Sri Lanka vs Australia

තිලකරත්න ඩිල්ෂාන්ගේ විශ්‍රාම ගැනීමෙන් පසු රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හෙට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන 4 වන එක්දින ක්‍රිකට් තරගය, ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වන බව අමුතුවෙන් සිහි කල යුත්තක් නොවන්නේය.

පසුගිය ලිපි: මට හැමදාම ඩිල්ස්කුප් එක ගැන ආඩම්බර වෙන්න පුලුවන් – ඩිල්ෂාන්

ටෙස්ට් තරගාවලියෙන් 03 – 00 ලෙස ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූවද, ඊට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත් එක්දින තරගාවලිය, කණ්ඩායම් දෙකම විසින් මාරුවෙන් මාරුවට හැලහැප්පිලි මධ්‍යයේ කරට කර දස්කම් දක්වමින් ඉදිරියට අැදුනි. පසුගිය ඉරිදා පැවතී 3 වන එක්දින තරගය කඩුලු දෙකකින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 01 – 02 ලෙස තරගාවලියේ පිටුපසින් පසුවේ.

තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රවේෂ පත්‍ර හිමියන් වෙත සමාව ඉල්ලා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ 18,000කට පමණක් ඉඩ පහසුකම් ඇති ක්‍රීඩාංගනයේ 45,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් පැමිණීම නිසා සිදුවු අපහසුතාවය පිළිබදව කණගාටුවට පත්වන බවයි. හෙට දිනයේදී ද තරගය එම ක්‍රීඩාංගනයේම පැවැත්වෙන නිසාවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ආරක්ෂාවක් සහිතව ක්‍රීඩාලෝලීන් හැසුරවන්නේ කෙසේද යන්න, කාගේත් අවධානය යොමුවන්නා වු කරුණකි.

දිනේෂ් චන්දිමාල් ශතකයක් සමඟ ශ්‍රී ලංකා පිළ ශක්තිමත් කත්, ශ්‍රී ලංකාවේ දපන්දු යවන්නන්ගේ දක්ෂතා දැක්වීම පමාවීමත් සමග අසීරු අවස්ථාවකදි ඕස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරු ජෝජ් බෙයිලීගේ සහයෝගයෙන් ඕස්ට්‍රේලියානුවන් ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව

තිලකරත්න ඩිලෂාන්ගේ සමුගැනීමෙන් පසු, ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හට අභියෝගයක් වීමට, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගේ තනතුරට නව සංයෝගයක් සෙවීමට සිදුව ඇත.

ධනුෂ්ක ගුණතිලක සමඟ ඉනිම ආරම්භ කිරීමට බොහෝ දුරට ධනංජය ද සිල්වා හට ඉඩක් ඇති අතර, කුසල් පෙරේරා ඉනිමේ 7 වන පිතිකරුවා වශයෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පිළට අලුතෙන් එක්වූ තුන් ඉරියවුවෙන් දක්ෂතා දක්වන දපන්දු යවන්නෙක් වන සචිත් පතිරණ, බොහෝ දුරට සීක්කුගේ ප්‍රසන්න වෙනුවට කණ්ඩායමට ඇතුලත් වීමට ඉඩ ඇත්තේ වමත් දඟපන්දු යවන්නන් හට මුහුණ දීමට ඕස්ට්‍රේලියානුවන්ට තරමක් අසීරුවූ නිසාවෙනි. ඇන්ජලෝ පෙරේරා ද, මැද පෙළ පිතිකරුවෙක් වශයෙන් කණ්ඩායමට ඇතුලත් කිරීමට ඉඩ ඇති බව සඳහන් වේ.

‘’ටෙස්ට් තරගාවලියේ සිටම අපිට ප්‍රශ්නයක් වුණේ මිචෙල් ස්ටාක්. පලවෙනි පන්දුවාර දෙකේදීම ඔහු විසින් අපේ කඩුලු දවා ගත්ත එක ලොකු පසු බෑමක් වුණා. 3 සහ 4 වෙනි පිතිකරුවන්ට එම අවස්තාවේදී ලොකු පීඩනයක් ඇති වෙනවා. එ්ක නිසා වඩාත් උචිත  සුසංයෝගයක් පිළිබදව අපි තීරණයක් අරන් නැහැ. කණ්ඩායමේ සුළු වෙනස්කම් සිදු වෙන්න පුලුවන්.’’ යැයි නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර අදහස් දැක්විය.

ශ්‍රී ලංකා සංචිතය (අනුමාන කරන)

ඇන්ජලෝ මැතිව්ස් (නායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, සචිත් පතිරණ, තිසර පෙරේරා, දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු.

ඕස්ට්‍රේලියාව

ඉතා සාර්ථකව දස්කම් දක්වමින් සිටි ෂෝන් මාෂ් 3 වන එක්දින තරගයේ පන්දු රකින අවස්ථාවේදී ඇගිල්ල ආබාදයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. මේ නිසා තරග 4කදි වෙනස්වීමට භාජනය කල 3 වෙනි පිතිකරුවා වශයෙන් උස්මාන් කාවජා ඕස්ට්‍රේලියානුවන්ගේ කණ්ඩායමට ඇතුලත් වේ. ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ පන්දු යවන්නන් 5 දෙන සමඟින් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති නමුත් වියළි තණතිල්ල නිසාවෙන් නේතන් ලයන් කණ්ඩායමට කැදවුවහොත්, ජෝෂ් හසල්වුඩ් හට මෙම තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

‘’අපිට හෙට තමයි නිගමනයකට එන්න පුලුවන් වෙන්නේ කණ්ඩායම ගැන. අපේ තේරීම් කමිටුව කණ්ඩායමක් තෝරාගෙන තිබුණා. නමුත් හෙටත් අපි ඒ තණතිල්ලේම ක්‍රීඩා කරන නිසා නේතන් ලයන් කණ්ඩායමට එකතු වීමට ඉඩ තියෙනවා.’’ යැයි අද පැවති මාධ්‍ය හමුවකදි ඩේවිඩ් වෝනර් මෙසේ අදහස් දැක්විය.

ඕස්ට්‍රේලියානු සංචිතය (අනුමාන කරන)

ඩේවිඩ් වෝනර්(නායක), අරොන් ෆින්ච්, උස්මාන් කාවජා, ජෝජ් බෙයිලී, ට්‍රේවිස් හෙඩ්, මැතිව් වෙඩ්, ජේම්ස් ෆෝක්නර්, ජෝන් හස්ටින්ග්ස්, මිචෙල් ස්ටාක්, නෙතන් ලයන්, ඇඩම් සැම්පා.

තණතිල්ල සහ කාලගුණය

දැනට සති දෙකක පටන් වර්ෂාවක් නොමැති වියළි කාලගුණයක් සහිත දඹුල්ල නගරයේ වර්ෂාවකට පොඩි හෝ අවස්ථාවක් නොමැති අතර පෙර තරගයේ මෙන්ම තණතීරුව අග පන්දු යවන්නන් හට යෝග්‍යවේ. පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 250ක්  ඉක්මවුවොත් තරගය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට