පන්නල ජාතික පාසල් ක්‍රීඩකයින් ඉතිහාසය අලුත් කරයි

DSI පාසල් වොලිබෝල් ශූරතාවය 2023

524

දින දෙකක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් වටයේ තරග ඊයේ (24) අවසන් වුනා.

අවසන් වටයේ දෙවැනි දිනය ආරම්භ කරමින් පැවති පළමු තරගය වූ වයස අවුරුදු 17න් පහළ බාලිකා තරගය තියුණු සටනකින් පසුව වට 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට හුංගම විජයබා පාසල් ක්‍රීඩිකාවන් සමත් වුනා.

උහන තිස්සපුර ක්‍රීඩිකාවන් සමඟ පැවති එම උණුසුම් තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25-22ක්, 18-25ක්, 22-25ක්, 26-24ක් සහ 15-10ක් ලෙසයි.

වසර 153ක ඉතිහාසය තුළ සිය පළමු සමස්ත ලංකා වොලිබෝල් කිරුළ දිනා ගැනීමට පන්නල ජාතික පාසල් ක්‍රීඩකයින් ඊයේ සමත් වුනේ 17න් පහළ බාලක අවසන් තරගයෙන් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාල ක්‍රීඩකයින් පරාජයට පත් කරමිනුයි.

එම තරගයේ පළමු වටයෙන් ලකුණු 23-25ක් ලෙස රුවන්වැල්ල ක්‍රීඩකයින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූවත්, අනෙක් වට තුන ලකුණු 27-25ක්, 25-20ක් සහ 25-17ක් ලෙස ජයග්‍රහණය කළේ පන්නල ක්‍රීඩකයන් විසිනුයි.

දහවල් වරුවේ පැවති 19න් පහළ බාලිකා අවසන් මහා තරගයෙන් කිරිඳිවෙල සංඝමිත්තා බාලිකා ක්‍රීඩිකාවන් පරාජය කරමින් වට 3-2ක ජයක් ලබා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ සංඝමිත්තා ක්‍රීඩිකාවන් පළමු වට දෙක ලකුණු 25-23ක් සහ 25-16ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූවත්, අවසන් වට තුන ලකුණු 25-13ක්, 25-13ක් සහ 15-10ක් ලෙස ජයග්‍රහණය කරමින් පෙරළිකාරී ජයක් ලබා ගැනීමට වික්‍රමශීලා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ආරාධිත අමුත්තා පැමිණීමෙන් පසු පැවති 19න් පහළ බාලක අවසන් මහා තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ සීදුව දවිසමර මහා විද්‍යාල ක්‍රීඩකයින් විසිනුයි.

රුවන්වැල්ල රාජසිංහ විද්‍යාල ක්‍රීඩකයින් සමඟ අවසන් වටයේ දී තරග වැදුණු ඔවුන් එම තරගය ලකුණු 25-22ක්, 25-20ක් සහ 25-21ක් ලෙස ජයග්‍රහණය කළා.

>> තරගාවලියේ දෙවැනි දිනයේ ප්‍රතිඵල <<

දෙස් විදෙස් වොලිබෝල් පිටියේ පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<