ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් අර්වයින්ගෙන් විශිෂ්ට ශතකයක්!

213
Defiant-Zimbabwe-hold-their-own-against-Lankan-spinners

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පළමු දිනය (14) නිමාවට පත්වෙද්දී තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ක්‍රේග් අර්වයින් නොදැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටියි.

සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගයේදී ගුණතිලකට ටෙස්ට් වරම් ?

ජූලි 14 වැනිදා ඇරඹෙන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා 14 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකාව විසින් නම් කොට ඇත.

ඔහුගේ මෙම සටන්කාමී නොසැලෙන ඉනිම නිසා සිම්බාබ්වේ කණ්ඩායමට පළමු දිනයේ දී ම කඩුලු 8කට ලකුණු 344ක් රැස් කරගෙන ශ්‍රී ලංකාව මත පීඩනය ගොඩ නැගීමට අවස්ථාව උදාවිය.

අද උදෑසන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී තරගය ආරම්භ වූයේ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ට කාසියේ වාසිය හිමි කර දෙමිනි. එය දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ 15 වැනි ටෙස්ට් නායකයා වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එක්විය. ඊයේ යම් තරමක් තණකොළ සහිතව ඉදිවී තිබුණු තණතිල්ල අද අවසන් පිළිසකර කිරීමෙන් අනතුරුව සෑහෙන දුරට වියළි ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා ඒ මත මුලින් පිතිකරණයේ යෙදීමට සිම්බාබ්වේ නායකයා ගත් තීරණය ඉතාමත් නිවැරදි විය. ඔවුන් අද තරගයට එක්වී තිබුණේ ටෙරිසායි මසකන්ඩාට මංගල ටෙස්ට් වරම් ද හිමිකර දෙමිනි.

දිවා විවේකය දක්වා වමත් ටෙස්ට් පන්දු යවන්නන්ගේ විශිෂ්ටතමයා වන රංගන හේරත්ගේ ග්‍රහණයට නතුවූ තරගයේ වැඩි වාසිය පැවතියේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවයි. තරගයේ මුල සිටම පැවති අනපේක්ෂිත දඟ කැවීමෙන් ප්‍රයෝජන ගත් මෙම අත්දැකීම් බහුල පන්දු යවන්නා රෙගිස් චකබ්වා (12) සහ හැමිල්ටන් මැසකඩ්සා (19) ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

තම මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ටෙරිසායි මසකන්ඩා ලකුණු 6ක් ලබා සිටිය දී කඩුල්ල පිටුපස සිට උඩපන්දුවක් රැක ගත් බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉල්ලීමක් කළ නමුත් එය නිශ්ප්‍රභ කරන්නට පිටියේ විනිසුරු ඉයන් ගුල්ඩ් පියවර ගත්තේය. කෙසේ වෙතත් කඩුල්ලක ඉව වැටුණු ලහිරු කුමාර එම තීරණය අභියෝගයට ලක් කරමින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සමත් විය. ඒ පන්දුව යන්තමින් පිත්තේ ගැටී කඩුලු රකින්නා අතට ඇදී යන බව පුනරූපණ මගින් පැහැදිලි වූ බැවිනි.

ඉන් අනතුරුව ශෝන් විලියම්ස්ගේ ඉනිම ලකුණු 22කට නිමා කරන්නට දිල්රුවන් පෙරේරාගේ දඟ පන්දුවකට හැකියාව ලැබීමත් සමඟම සිම්බාබ්වේ ඉනිම ලකුණු 70කට කඩුලු 4ක් බිඳ වැටී දැඩි අසීරුතාවකට පත්විය. කෙසේ වෙතත් දිවා විවේකයෙන් අනතුරුව මනා සැලැස්මකට අනුව පිත්ත හැසිරවූ සිකන්ඩර් රාසා සහ ක්‍රේග් අර්වයින් ලකුණු 84ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නගමින් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිපෙළ නාය යාමට වැටකඩොලු බැඳීමට සමත් වූහ. එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ සිකන්ඩර් රාසා අදත් හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 36ක් රැස් කර ගත්තේය.

මෙම සබඳතාවයෙන් අනතුරුව සිම්බාබ්වේ පිතිකරුවන්ගේ පීඩනය සෑහෙන දුරට ඉහිල් වීම නිසා පසුපෙළ පිතිකරුවන් ද තමන්ට හැකි පමණින් ඉනිම ගොඩ නැගීමට තම දායකත්වය දක්වන ලදි. එහි දී මැල්කම් වොලර් ලකුණු 36ක් ද, කඩුලු රකින පිතිකරු පීටර් මුවර් ලකුණු 19ක් ද රැස්කර ගැනීමට සමත් වූහ. මෙම සියල්ලන්ම සමඟ ලකුණු සබඳතා ගොඩ නඟමින් පිටියේ එක් අන්තයක් ආරක්ෂා කර ගත්තේ වමත් පිතිකරු ක්‍රේග් අර්වයින් විසිනි. ඔහු අද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය ලෙසින් නොදැවී ලකුණු 151ක් රැස් කර ගනිමින් සමස්ත සිම්බාබ්වේ දේශයේම ගැලවුම්කරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විපිළිසර කළ ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් මේ වන විට එකතු වී තිබේ. විශේෂයෙන්ම ඉදිරි පාදයේ සහ පසු පාදයේ ඩ්‍රයිව් පහර මනාව උපයෝගී කර ගනිමින් පන්දුව ක්‍රීඩකයින් අතරින් නිවැරදිව ස්ථානගත කරමින් ඉනිම ඇරඹූ ඔහු පසුව ආක්‍රමණශීලි රිවර්ස් ස්වීප් පහරවල් කරා පවා යොමුවෙමින් උසස් තත්වයේ ඉනිමක් ගොඩ නැගීමට සමත් විය. ටෙස්ට් අර්ධ ශතක ත්‍රිත්වයකට පමණක් හිමිකම් කියන අර්වයින් මේ දක්වා ශතකයක් (146) රැස් කරගෙන තිබුණේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පමණි.

සවස් භාගය වන විට තරගයේ පාලනය ක්‍රමයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට නතුවීමත් සමඟම අවසන් පෙළ පිතිකරු ඩොනල්ඩ් තිරිපානෝ පවා ශ්‍රී ලංකාවට අභියෝගයක් වන බව පැහැදිලි විය. අද දිනයේ නිමාව ද ඔහු එල්ල කළ හතරේ පහරක් සමඟින් සටහන් වූ අතර ඒ වන විට ඔහු නොදැවී ලකුණු 24ක් රැස් කරගෙන සිටියේය. ඔහු මේ වන විට ක්‍රේග් අර්වයින් සමඟ එක්වී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් ගොඩ නගා තිබේ.

තිරිපානෝගෙන් හිමි වූ මෙම සහයෝගය නිසා අද දිනය නිමා වන විට කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 344ක් රැස්කර ගැනීමට ද සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව උදා විය. ඒ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් දිනයක් තුල දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගනිමිනි. පන්දු යැවීමේ දී රංගන හේරත් මුල් දිනය තුල දී ම ලකුණු 100කට වඩා ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙලූ අතර අසේල ගුණරත්නට කඩුලු 2ක් හිමි විය.

මෙවන් තත්ත්වයක් යටතේ නැවතත් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමට නම් හෙට උදෑසනම මෙම සබඳතාවය බිඳ දමා හැකි ඉක්මනින් සිම්බාබ්වේ ඉනිමට නැවතීමේ තිත තැබිය යුතු අතර ශ්‍රී ලංකා පිතිකරුවන් කල්වේලා ගෙන වගකීමකින් යුතුව දීර්ඝ ඉනිම් ගොඩ නැගීම අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ මෙම තරගයේ ජයග්‍රාහක කණ්ඩායම පිළිබඳ පැහැදිලි ඉඟියක් හෙට ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත හසුරුවන ආකාරය අනුව ලැබීමට නියමිතව ඇති බැවිනි.

සිම්බාබ්වේ (පළමු ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 344 (පන්දුවාර 90): ක්‍රේග් අර්වයින් 151*, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 24*, ශෝන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 4/106, අසේල ගුණරත්න 2/28.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට