තවත් ටෙස්ට් ජයක සිහිනය හෙට දිනයේ සැබෑවන ලකුණු!

1711

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (09) උදෑසන තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියහ.

තෙවැනි දිනය: ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගෙන් අභියෝගයක්

එය අද සවස් භාගය වන විට ලකුණු 258ක් දක්වා ගෙන ආ ශ්‍රී ලංකා පිතිකරුවන් සිම්බාබ්වේ පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 491ක ඉලක්කයක් ලබා දීමට සමත් විය. ඊට පිලිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම දිනයේ නිමාව සනිටුහන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 180ක් ලබා සිටියි.

දෙවැනි ඉනිම ආරම්භයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළේ කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා ඇතුළු පිතිකරුවන් කිහිප දෙනෙකුම දැවී යන්නේ ලකුණු 10 සීමාවටත් ලඟා වීමට පෙරයි. නමුත් තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහෙන්නට ඉඩ නොදුන් දිමුත් කරුණාරත්න හතරේ පහර 8ක් සමඟ ලකුණු 88ක් රැස්කරමින් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය. අසාර්ථක ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව පැවති ටෙස්ට් තරග දෙකේදීම දිමුත් නැවතත් තම රිද්මය හඳුනා ගනිමින් හොඳින් ලකුණු රැස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් සුබවාදී සාධකයක් බවට පත්ව තිබේ.

අද අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ඉනිමේ අවසන් භාගය වර්ණවත් කරමින් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් වාර්තා කලේය. ශ්‍රී ලංකාවේ මෑත කාලීන හොඳම ආයෝජනය වන අසේල ගුණරත්න අද ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 491ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි බ්‍රයන් චාරී, රංගන හේරත්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට පිවිසි හැමිල්ටන් මැසකඩ්සාට රංගනගේ මැජික් පන්දු යැවීම හමුවේ ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. ඉන් නොනැවතුනු රංගන හේරත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබා සිටි ටීනෝ මවෝයෝ පිටියෙන් ඉවත් කළේ නායකයා සතු වගකීම මැනවින් ඉටු කරමිනි.

එතැන් සිට සිම්බාබ්වේ කණ්ඩායමට යම් අස්වැසිල්ලක් වන සබඳතාවයක් පවත්වන්නට පිටියේ එක්වුනු ක්‍රේග් අර්වයින් සහ ශෝන් විලියම්ස් සමත් විය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 74ක සබඳතාවයට තිත තැබීමට නවක ක්‍රීඩක ලහිරු කුමාර සමත් විය.

ස්ලිප් කලාපයේ සිට කුසල් මෙන්ඩිස් රැකගත් අනර්ඝ උඩපන්දුවක් නිසා විලියම්ස් පිටියෙන් ඉවත් වන විට ඔහු ලකුණු 45ක් රැස් කරගෙන සිටියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි මැල්කම් වොලර් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ධනංජය සිල්වාට ප්‍රසාද කඩුල්ලක් හිමිකර දෙමිනි.

ඉනිමේ අවසන් භාගයේදී තවත් කඩුලු 2ක් බිඳ හෙලූ රංගන හේරත් හෙට දිනයේ ශ්‍රී ලංකාව ලබන තවත් ටෙස්ට් ජයග්‍රහණයක් පිලිබඳව මිහිරි සිහින දැකීමට රසිකයන්ට ඉඩ තබමින් සිව්වන දිනය නිමා කළේය.

අද රංගන හේරත් වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවටද පත්වීමට සමත් විය. ඔහු මේ වන විට මෙම වසර තුලදී බිඳ හෙලා ඇති කඩුලු ගණන 51කි. සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන ක්‍රේග් අර්වයින් නොදැවී ලකුණු 65යි. ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 311ක් ඉදිරියෙන් පසු වන්නේ ජයග්‍රහණය සඳහා කඩුලු 3ක් බලාපොරොත්තුවෙනි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4): ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 81.4): දිමුත් කරුණාරත්න 88, කුසල් පෙරේරා 62, අසේල ගුණරත්න 39, ග්‍රැහැම් ක්‍රීමර් 4/91, කාල් මුම්බා 3/67.

සිම්බාබ්වේ (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 180 (පන්දුවාර 45): ක්‍රේග් අර්වයින් 65*, ශෝන් විලියම්ස් 45, රංගන හේරත් 5/45.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට