ශර්මාගේ පිතිකරණ සැණකෙළිය නිසා ශූරතාවය ඉන්දියාවට

231

ඉන්දීය කණ්ඩායම හා සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම සමස්ත තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ (8) සමත් වුනා. මේ තරගයේ දී රෝහිත් ශර්මා හා එංගලන්තයේ ජේසන් රෝයි දක්ෂ පිතිකරණයක නිරත විය.

කොදෙව්වන්ගේ වේගපන්දු හමුවේ බංගලාදේශය අසරණ වෙයි

පසුගිය දා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3කින් යුතු තරගාවලියකට …

එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා. ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5ක් ලබා සිටි ශිකර් ධවාන් දැවී ගිය අතර ලෝකේශ් රාහුල් ලකුණු 19 දී දැවී ගියා. අනතුරුව පිටියේ එක්වූ රෝහිත් ශර්මා හා නායක විරාත් කෝලී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දීය කණ්ඩායමට මෙන්ම සුවහසක් ඉන්දීය ප්‍රේක්ෂකයින් හට තරගාවලියේ ශූරතාවය සිය රටට ගෙන යාමට හැකි බවට යම් ඉඟියක් පළ කළේය. කෝලී පන්දු 29ක දී වේගවත් ලකුණු 43ක් රැස්කර ගත්තේ 4 පහර හා 6 පහර 2ක් එල්ල කරමිනි. ඔහු දැවී ගිය පසුව පිටියට අවතීර්ණ වූ තුන් ඉරියව් දස්කම් දක්වන හාර්ඩික් පාණ්ඩ්‍යා – ශර්මා හා එක්කාසු වෙමින් තරගය සාර්ථකව අවසන් කිරීමට සමත් විය.

පන්දු 56ක දී වාර්තා වූ ශර්මාගේ ඉනිමට 4 පහර 11කින් හා 6 පහර 5ක් අන්තර්ගත වූ අතර ඔහු නොදැවී ලකුණු 100*ක් ලබා ගත්තේ සිය ජාත්‍යන්තර විස්සයි – විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් තුන්වන ශතකයට හිමිකම් කියමිනි. ඔහුට තරගය අවසන් කිරීමට සහය වූ පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 33*ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර …

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ විස්සයි – විස්ස ක්‍රිකට් ඉතිහාසයේ Power Play අවස්ථාව තුල ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය (ලකුණු 76/0) මේ තරගයේ දී ලබා ගැනීමට සමත් විය. එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය වූ ජේසන් රෝයි හා ජෝස් බට්ලර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක් සබඳතාවයක් ගොඩනැගුවේ පිළිවෙළින් ලකුණු 67ක් හා ලකුණු 34ක් ලබා ගනිමිනි. ඒ අතරින් කාගේත් අවධානය දිනාගත් රෝයි පන්දු 31ක දී එම ලකුණු 67 ලබා ගත්තේ 4 පහර 4ක් හා යෝධ 6 පහර 7ක් ඔහුගේ නමට ඉදිරියෙන් ලියා ගනිමිනි. අමතරව ඇලෙක්ස් හේල්ස් ලකුණු 30ක් ලබා ගත්තා. අවසානයේ එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 198ක් ලබාගත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පොතේ වාර්තා රැසක් අලුත් කරමිනි.

එසේම ජාත්‍යන්තර විස්සයි – විස්ස ක්‍රිකට් තරගයක දී කඩුලු 9ක් දැවී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද එය විය. මහේන්ද්‍ර සිං දෝනි විස්සයි -විස්ස තරගයක දී වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩකයාගේ වාර්තාව සම කළේ ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් ශේශාඩ් 2015 වර්ෂයේ දී ඕමානයට එරෙහිව තබා තිබූ දවා ගැනීම් අවස්ථා 5 වාර්තාව සම කරමිනි. පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 38ක් තුල දවා ගැනීමට හාර්ඩික් පාණ්ඩ්‍යා සමත් විය.

එංගලන්තය – 198/9 (20): ජේසන් රෝයි 67, ජෝස් බට්ලර් 34, ඇලෙක්ස් හේල්ස් 30, හාර්ඩික් පාණ්ඩ්‍යා 4/38.

ඉන්දියාව – 201/3 (18.4): රෝහිත් ශර්මා 100*, විරාට් කෝලී 43, හාර්ඩික් පාණ්ඩ්‍යා 33*.

තරගයේ හා තරගාවලියේ වීරයා: රෝහිත් ශර්මා (ඉන්දියාව)

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු  තරගය ලබන 12 වැනිදා නොටින්හැම් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<