ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්‌ට්‌ තරගය අද

400
Rangana Herath

වසර 117 ක්‌ පැරණි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ වන එංගලන්තයේ හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී නවකයන් රොත්තක්‌ සමග ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (19 දා) එංගලන්තය සමග තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු සටනට පිවිසෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට ආරම්භ වීමට නියමිතය.

ලීඩ්ස්‌ හී පිහිටි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල 2014 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 100 ක ජයක්‌ ලැබීමට සමත් වුවත් එම කණ්‌ඩායමේ සිටි අඩකටත් වැඩි ක්‍රීඩකයන් මෙවර ශ්‍රී ලංකා පිලේ නොසිටීම එංගලන්තයට එක්‌ පැත්තකින් වාසිදායක තත්ත්වයක්‌ වී තිබේ. එම පරාජයෙන් පසුව නවසීලන්තය හමුවේදී හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී එංගලන්තය යළිත් පරාජයට පත්වීම මත ඔවුන්ට මෙම ක්‍රීඩාංගණයේදී වසර තුනක්‌ තිස්‌සේ ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට නොහැකිව තිබේ. එය ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය ඉහළ දමා ගැනීමට අතිරේක වාසියක්‌ වනු ඇත. හෙඩින්ග්ලි හිදී එංගලන්තය වසර තුනකින් ජය නොලැබුවත් ඔවුන්ට එහිදී 42.46% ක ජයග්‍රාහී ප්‍රතිශතයක්‌ වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ටෙස්‌ට්‌ තරග 73 ක්‌ ඇතුළතදීය.

ටෙස්‌ට්‌ ශ්‍රේණියේ හත්වැනි ස්‌ථානයක දක්‌වා පල්ලම් බැස සිටින ශ්‍රී ලංකා පිලට අද තරගය සඳහා සුදුසුම සංයුතිය තෝරා ගැනීම මැතිව්ස්‌ට සහ තේරීම් කමිටු සාමාජිකයන්ට ඇති ප්‍රධානතම අභියෝගයක්‌ බවට පත්ව තිබේ. පුහුණු තරගවලදී අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස්‌ට යළිත් ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ ස්‌ථානය ලැබීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමි වෙද්දී ඔහුට අංක තුන ස්‌ථානය ලබාදුනහොත් ළහිරු තිරිමාන්න අංක හතර හෝ පහ ස්‌ථානයේ ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

ලෙස්‌ටෂයර් ප්‍රාන්තය සමග පැවැති තෙදින පුහුණු තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක්‌ ලැබූ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක අද දිනයේදී ටෙස්‌ට්‌ වරම් ලැබීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිකරගෙන තිබේ. කෙසේ වෙතත් දසුන් ශානක ක්‍රීඩා කළහොත් නිරෝෂන් දික්‌වැල්ලට ස්‌ථානයක්‌ සොයා ගැනීම අපහසු කරුණක්‌ වනු ඇත.

68 වැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගිවන රංගන හේරත් ශ්‍රී ලංකා පිලේ පන්දු යෑවීමේ ප්‍රධානතම තුරුම්පුව බවට පත්වෙද්දී මෙම තරගයේදී ඔහු තුන්සිය වැනි ටෙස්‌ට්‌ කඩුල්ල සොයා පිටියට පිවිසෙයි. මුත්තයියා මුරලිදරන්ට සහ චමින්ද වාස්‌ට පසුව ටෙස්‌ට්‌ කඩුලු තුන්සියයක්‌ දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා වීමට හේරත්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු තුනක්‌ පමණි.

”එංගලන්තය ඔවුන්ගේ රටේදී සෑම විටම ධනාත්මකව තරග කරනවා. නමුත් මා සතු අත්දැකීම් සහ තාක්‍ෂණය සමග එංගලන්ත කණ්‌ඩායමේ පිතිකරුවන්ගේ වැරදි හඳුනා ගනිමින් පන්දු යවන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ පාද භාවිතා කරන ආකාරය අනුව හොඳින් පන්දුවට පහර දෙනවා.” යෑයි රංගන හේරත් පවසයි.

අවසන් වරට එංගලන්තයට පැමිණි අවස්‌ථාවේ තම කණ්‌ඩායම ලැබූ ජයග්‍රහණය නිසා කණ්‌ඩායමේ විශ්වාසයක්‌ ගොඩනැගී ඇති බවත් එහෙත් එංගලන්තයේ කඩුලු විස්‌ස දවා ගැනීමට තමා ඇතුළු පන්දු යවන්නන් ඉක්‌මන් විකල්ප ක්‍රම භාවිතා කළ යුතු බවත් හේරත් වැඩිදුරටත් තරගය පිළිබඳව අදහස්‌ දක්‌වමින් පැවසීය.

එංගලන්ත නායක ඇලිස්‌ටෙයාර් කුක්‌ පවසන්නේ 2014 දී තම කණ්‌ඩායමට ශ්‍රී ලංකාව අත් කළ ඉරණම මෙවර තරගාවලියේදී කණපිට පෙරළීමේ හැකියාව තමාගේ කණ්‌ඩායම සතුව ඇති බවයි. ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරු බලාපොරොත්තුවක්‌ වන ජෝ රූට්‌ව අංක හතර ස්‌ථානයෙන් පන්දුවට පහරදීමට සැලසුම් සකස්‌ කර ඇති අතර එම ස්‌ථානයට රූට්‌ ඉමහත් කැමැත්තක්‌ දක්‌වන බවද පවසා තිබේ.

 තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න 

ශ්‍රී ලංකා කණ්‌ඩායම

දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, සුරංග ලක්‌මාල්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, ෂමින්ද එරංග, නුවන් ප්‍රදීප්, දිල්රුවන් පෙරේරා සහ ධම්මික ප්‍රසාද්

එංගලන්ත කණ්‌ඩායම

ඇලිස්‌ටෙයාර් කුක්‌ (නායක), මොයින් අලී, ඡේම්ස්‌ ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්‌ටෝ, ජැක්‌ බෙල්, ස්‌ටුවර්ට්‌ බ්‍රොඩ්, නික්‌ කොම්ප්ටන්, ස්‌ටීවන් සන්, ඇලෙක්‌ස්‌ හේල්ස්‌, ජෝ රූට්‌, බෙන් ස්‌ටොක්‌ස්‌, ඡේම්ස්‌ වින්ස්‌