සාන්ත පීතරයන්ගේ වික්‍රමාන්විතය

19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

225

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව පිට පිට ම දෙවැනි වරටත් දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා.

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමයි. පෙර වසරේ දී ද මෙම කණ්ඩායම් දෙක ම අවසන් මහා තරගයට පිවිසි අතර එහි දී ද අත් වූයේ මේ ප්‍රතිඵලයමයි.

ජයග්‍රහණය කරා ගිය ගමනේ දී සාන්ත පීතර ක්‍රීඩකයෝ අපරාජිතව සිටිමින් මෙම කිරුළ දිනා ගැනීමට සමත් වීමට විශේෂයි.

සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ ගමන් මඟ
ප්‍රතිවාදීන් විසඳුම
1 ඉසිපතන විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක්
2 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කටුගස්තොට සාන්ත පීතර විද්‍යාලයට කඩුල්ලක ජයග්‍රහණයක්
3 ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 8ක ජයග්‍රහණයක්
4 ආනන්ද විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 190ක ජයග්‍රහණයක්
5 ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 45ක ජයග්‍රහණයක්
6 සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 7ක ජයග්‍රහණයක්
7 මොරටු විද්‍යාලය, මොරටුව සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 64ක ජයග්‍රහණයක්
8 සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 9ක ජයග්‍රහණයක්
අර්ධ අවසන් පූර්ව වටය
9 දේවපතිරාජ විද්‍යාලය, රත්ගම සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 10ක ජයග්‍රහණයක්
අවසන් පූර්ව තරගය
10 මහින්ද විද්‍යාලය, ගාල්ල සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 105ක ජයග්‍රහණයක්
අවසන් මහා තරගය
11 තර්ස්ටන් විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 6ක ජයග්‍රහණයක්

කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 336 මෙවර තරගාවලියේ දී සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ හොඳම ඉනිම බවට පත් වෙද්දී, රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පන්දුවාර 27ක දී කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 122 දුර්වල ම ඉනිම බවට පත් වුනා.

එමෙන් ම සාන්ත පීතරයන්ට එරෙහිව ප්‍රබල තර්ජනයක් එල්ල කළ කණ්ඩායම බවට පත් වූයේ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයයි. ඔවුන් පන්දුවාර 49.5ක දී ලකුණු 248ක් ලබා ගන්නවා.

පීතරයන් විසින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය පන්දුවාර 22.0ක දී ලකුණු 112කට සීමා කිරීම ඔවුන් විසින් ප්‍රතිවාදී කණ්ඩායමක් දවා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

  • සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ සංචිතය: නිමුතු ගුණවර්ධන (නායක), සංශේ ගුණතිලක, විශේන් හැළඹගේ, ඔවීන් සල්ගාදු, රුසඳ ගමගේ, ශෙනෝන් රොද්‍රිගෝ, කවික ජයසුන්දර, ලශ්මික පෙරේරා, නේතන් ඩේවිඩ්, ලකිඳු සචින්, ෂේන් රොබට්, ඉෂිර ආයුපාල, ඩිලන දම්සර, සලිත් ගාල්ලගේ, නිතේෂ් ප්‍රනාන්දු, රිතිල සුරවීර, අනුප ගරුමාන්නේ, චමිඳු පෙරේරා.
  • නිලධාරීන්: සුනන්ද ප්‍රනාන්දු (ක්‍රිකට් භාර ආචාර්ය), ශානක ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), මංජුක පෙරේරා (සහාය පුහුණුකරු)
ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්

ජයග්‍රාහී කුසලානය ලබා ගනිමින්

අපරාජිතව පැමිණි මේ ගමනේ දී සාන්ත පීතරයන් වෙනුවෙන් දක්ෂතා දැක් වූ සුවිශේෂී ක්‍රීඩකයා වූයේ දකුණතින් පන්දුවට පහර දෙමින් සහ දකුණතින් පා දඟපන්දු යැවූ විශේන් හැළඹගේ.

විශේන් හැළඹගේ.

ඔහු පිතිකරුවෙක් ලෙසින් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 483ක් ලබා ගන්නවා. කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පන්දු 97ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 141 ඔහුගේ හොඳම ඉනිමයි.

පන්දු යවන්නෙක් ලෙසින් ඔහු කඩුලු 20ක් දවා ගන්නවා. අවසන් මහා තරගය සම්පූර්ණයෙන් ම පාලනය කරන්නේ විශේන්ගේ පන්දු යැවීමයි. එහි දී ඔහු ලකුණු 33කට කඩුලු 4ක් දවා ගන්නවා.

ඊට අමතර ව  තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් කැපී පෙනුණේ නායක නිමුතු ගුණවර්ධන. ඔහු පිතිකරු භූමිකාවේ දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 270ක් ලබා ගන්නා ලද අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 14ක් ලබා ගන්නවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 61 ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ශෙනෝන් රොද්‍රිගෝ,

සාන්ත පීතර පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන විශේන් හැළඹගේ සතු වෙද්දී, එහි දෙවැනි අසුන හිමිකර ගන්නේ ආරම්භක වමත් පිතිකරු ඔවීන් සල්ගාදු. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට සහ ඉසිපතන විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ත් සමඟින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 317ක්.

ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ ඉසිපතන විද්‍යාලයට එරෙහිව පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 94යි.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ලකුණු 301ක් ලබා ගත් වමත් පිතිකරු රුසඳ ගමගේ සතු වෙනවා. අර්ධ ශතක 3කින් සමන්විත ඔහුගේ දක්ෂතා ලැයිස්තුවේ හොඳම ඉනිම බවට පත් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලය සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 96යි.

සිව්වැනි ස්ථානයට නායක නිමුතු ගුණවර්ධන පත් වෙද්දී, එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය දකුණත් පිතිකරු සංශේ ගුණතිලක සතු වුනා. සංශේ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 243ක් වාර්තා කරන ලද අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වුනේ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 71යි.

නිමුතු ගුණවර්ධන (නායක)

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගන්නේ වමතින් දඟපන්දු යැවූ ශෙනෝන් රොද්‍රිගෝ. ඔහු ප්‍රතිවාදී කඩුලු 25ක් ලබා ගන්නේ ලකුණු 272ක් පමණක් ලබා දෙමින්. කොළඹ ඉසිපතන විද්‍යාලයට සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක් බැගින් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.

එහි දෙවැනි ස්ථානය ලශ්මික පෙරේරා සතු වන අතර ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයට අවසන් පූර්ව තරගයේ දී වාර්තා කරන ලද කඩුලු 5ක් ද සමඟින් තරගාවලියේ දී කඩුලු 21ක් ලබා ගන්නවා.

සාන්ත පීතර පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි සහ සිව්වැනි අසුන් විශේන් හැළඹගේ සහ නිමුතු ගුණවර්ධන වෙන් කර ගන්නා ලද අතර එහි 5 වැනි ස්ථානය දකුණතින් වේගපන්දු යැවූ ෂේන් රොබට් සතු වෙනවා. ඔහු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10ක්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B පිටියේ ශූරයන් වූ සාන්ත පීතර විද්‍යාලයට ThePapare.com පවුලේ සුබ පැතුම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<