බාස්කට් බෝලයට පෙම් බඳින “මල්මි”

2240

ලියාරා මල්මි හෙට්ටිආරච්චි, තවමත් 18 වැනි වියේ පසුවන පාසල් ක්‍රීඩිකාවක්. ඇය පැසිපන්දු ක්‍රීඩාවෙන් සේ ම දැල්පන්දු ක්‍රීඩාවෙන් ද කුඩා වයසේ දී ම ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා.  

කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ උසස් පෙළ වානිජ්‍ය අංශයේ ඉගනුම ලබන මල්මි, පැසිපන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේ අවුරුදු 8 දී. පැසිපන්දු ක්‍රීඩාවට එන්න කලින් මල්මි පදක්කම් දිනූ මලල ක්‍රීඩිකාවක්. ඒ වයස අවුරුදු 11න් පහළ දිවීමේ තරගවල දී පෑ දක්ෂතාවන් නිසා. ඇය කුඩා කළ සිටම පෑ මේ දක්ෂතා හේතුවෙන් පාසලේ කැපී පෙනෙන චරිතයක් ද වුනා. ඒ අනුව තමයි ඇය තම පවුලේ ක්‍රීඩාව වූ පැසිපන්දු පිටියට පිය නගන්නේ. 

“අම්මයි, තාත්තයි දෙන්නම පැසිපන්දු ක්‍රීඩකයන් වීම මගේ මේ ගමනට විශාල වැදගත්කමක් එක් කළා. අම්මා, තාත්තා සෙල්ලම් කරනවා මම පුංචි කාලෙම දකිනවා. මේ නිසාම මමත් පුංචිම දවස්වල ඉඳලම බාස්කට් බෝල් ගහනවා” මල්මි අප සමඟ කතාවට එක් වුනේ ඒ ආකාරයෙන්.

ඇයගේ පියා දමින්ද හෙට්ටිආරචිචි, ශ්‍රී ලංකා පැසිපන්දු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක්. මව මනෝරි හෙට්ටිආරච්චි ද පැසිපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර දැල්පන්දු පාසල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. 

මල්මිගේ ගමනේ පුරෝහිතයා වුනේ පියා, දමින්ද හෙට්ටිආරච්චි. ඔහු 1991 දී මෙරට දී පැවති SAG ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළා. ඒ වගේම ඒ වසරේම ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලිය ද ඔහු නියෝජනය කළා. 

ශ්‍රී ලංකා පොලිස් පැසිපන්දු කණ්ඩායමේ අවුරුදු 20ක් පමණ ක්‍රීඩා කළා. ඒ කාලයේ දී පැසිපන්දු ජාතික තරගාවලියේ දී පිට පිට වසර 10ක දී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන ඒමට ඔහුගේ දක්ෂතා ලබා දුන්නා. ඉන් අවස්ථා 5ක දී ඔවුන් ජයග්‍රහණය කරනවා. ලෝක පොලිස් පැසිපන්දු තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවල සංචාරය කළා. 

1996 වසරේ දී පොලිස් පැසිපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ දමින්ද මේ වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් කොළඹ දිසා පරිසර ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසින් සේවය කරනවා. 

මල්මිගේ මව මනෝරි හෙට්ටිආරච්චි, ආසියානු තරගාවලි පවා නියෝජනය කළ ශ්‍රි ලංකා පැසිපන්දු කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක්. මල්මිගේත් නැගණිය, විනුමි ෂෙහත්මා හෙට්ටිආරච්චිගේත් කරණා කටයුතු හේතුවෙන් ඇගෙන් දැන් ක්‍රීඩාව ඈත් වෙලා. ෂෙහත්මාත් සිරිමාවෝ බාලිකාවේ දක්ෂ පැසිපන්දු සහ දැල්පන්දු ක්‍රීඩිකාවක්. 

පදක්කම් දිනූ පුංචි මලල ක්‍රීඩිකාව පැසිපන්දු පිටියට ආවේ අම්මගෙ, තාත්තගෙ හයියෙන් කියන එකට ඒ කාරණා හොඳටම ප්‍රමාණවත්. පොත පතට, ගෙදර දොරේ සෙල්ලම්වලට ගත කළ යුතු කාලය පුංචි මල්මි පැසිපන්දු පිටියට ගත කරන්න එන්නේ ඇයට වඩා වසර ගණනාවක් වැඩිමල් අක්කලා සමඟ. 

මල්මිගෙ පුංචි වයස නිසා ඇයට තරගාවලියක තරගයක් ක්‍රීඩා කිරීමට තවත් වසර දෙකක් විතර බලා ඉන්න වුනා. මල්මි තම මංගල පැසිපන්දු තරගයට සහභාගී වෙන්නේ වයස අවුරුදු 10 දී විතර, 5 ඒ පාසලේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට. 

“මට වයසවත්, උස මහතවත් ප්‍රශ්නයක් වුනේ නැහැ. මගේ එකම ආසාව වුනේ ක්‍රීඩා කිරීම. එදා වගේම අදටත් මම බාහිර දේවල් ගැන හිතන්නේ නැහැ. මගේ හිතේ තියෙන්නේ ක්‍රීඩාව විතරයි. මම ඒක හරියට කළා“ එදා දවස ගැන මල්මි සිහිපත් කළේ එලෙසින්.

මල්මිගේ ඒ කැපවීම නිසාම ඇය, 2016 වසරේ දී පාසල් පැසිපන්දු තරගාවලියේ දී වටිනාම ක්‍රීඩිකාව බවට පත් වෙමින් සම්මාන දිනා ගන්නවා. ඒ වගේම 2018 අවුරුද්දේ දී දක්ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩිකාව බවට ද පත් වෙනවා. 

“ඒ ඇගයීම් මගේ පැසිපන්දු ක්‍රීඩාවට දිරියක්. මම විශ්වාස කරනවා මට ඒ ඇගයීම් ලැබුණේ මම මේ දේ හරියටම කළ නිසා කියලා” මල්මි පවසනවා. 

මල්මි සමඟ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ කණ්ඩායම

ඇය එම දක්ෂතා ද සමඟින් 2017 දී වයස අවුරුදු 16න් පහළ ආසියානු පැසිපන්දු ශූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාවේ බැංගලෝර් නුවර කළ සංචාරයට එක් වෙනවා. එම තරගාවලියේ දී B කාණ්ඩය නියෝජනය කළ මල්මි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 5 වැනි ස්ථානය දිනා ගන්නවා. එහි දී ඇය ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් වර්ග කරද්දී තෙවැනි ස්ථානයට පත් වෙනවා. 

එමෙන්ම 2019 වසරේ දී මොංගෝලියාවේ දී පැවති වයස අවුරුදු 18න් පහළ 3×3ලෝක කුසලාන පැසිපන්දු තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට ද ඇය සමත් වෙනවා. එම තරගාවලියේ දී ඊජිප්තුව, චීනය, යුක්‍රේනය සහ මෙක්සිකෝව සමඟ A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එකම තරගයක් හෝ ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ නැහැ. 

“ඒක අලුත් අත්දැකීමක් වුනා. ඇත්තටම ඔවුන් ඉතාම දක්ෂ කණ්ඩායම්. ලෝක ශ්‍රේණිගත කිරීමේ දී පවා ඔවුන් සිටින්නේ අපට වඩා ගොඩක් ඉහළින්. ඔවුන් සමඟ අපට ක්‍රීඩා කිරීමට ලැබීමත් භාග්‍යයක්” මල්මි පැවසුවා. 

මල්මි එම සංචාරවලට අමතරව නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පැසිපන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසින් ද සිටිනවා. 

මල්මිට පැසිපන්දු ක්‍රීඩාවට අමතරව දැල්පන්දු ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ ආසියානු දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් සංචිත ගත කෙරුණ කණ්ඩායමේ සාමාජිකත්වය හිමි වෙමින්. 

ඒ වෙද්දී ඇය පාසලේ දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක්. ඒ වගේම Waverly ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියේ දී අනුශූර කණ්ඩායමේ සාමාජිකාවක්. මෙරට සංචාරය කළ ඕස්ට්‍රේලියා පාසල් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාසල් ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. 

“දැල්පන්දු ආසියානු කුසලාන සංචිතයේ සිටිද්දී මම ශ්‍රී ලංකා පැසිපන්දු සංචිතයේ ද සිටියා. මෙතැන දී මට මේ දෙකෙන් එකක් තෝර ගන්න සිදු වුනා. මම දෙපාරක් නොසිතා ම පැසිපන්දු තෝරගත්තා” මල්මි පැවැසුවා. 

මල්මි පැසිපන්දුවට ඒ තරමටම පෙම් බඳිනවා. ඊට හේතුව ලෙස මල්මි පවසන්නේ සිය පියා සහ මවගෙන් ඊට ලැබෙන සහයෝගයත්, තමන් කුඩා කළ සිට දැක තිබූ, කළ ක්‍රීඩාවත් හේතුවෙන් පැසිපන්දු ක්‍රීඩාවට ඇළුම්කම් පානව කියලයි. 

“ගෙදරින් මට පූර්ණ නිදහස දීලයි තිබුණෙ කැමති ක්‍රීඩාවක් තෝර ගන්න කියලා. අම්මවත්, තාත්තවත් කවදාවත් මට මේ ක්‍රීඩාව කරන්න කියල බල කරල නැහැ. මම දන්නෙ නැහැ ඇයි මම පැසිපන්දුවලට මෙච්චරම කැමති කියලා.”

තවත් විශේෂාංග ලිපි:

මල්මිගේ මේ ආසාව කුඩා කාලයේ සිටම තිබූ දෙයක් බවයි ඇයගේ පියා දමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. මල්මිගේ මේ ගමනේ දී ඔහුත් විශාල සේවයක් කරන්නට ඇති. 

“දුව කුඩා කාලයේ සිටම හැදුණෙ, වැඩුණෙ බාස්කට් බෝලයත් එක්කම. ඒ නිසා අපෙත් බලාපොරොත්තුවක් තිබුණා එයා කවදාහරි දවසක මේ වගේ තත්ත්වයකට ඒවි කියලා. මමත්, අම්මත් එයාට අපි දන්න දේ කියල දුන්නා. සමහර අවස්ථාවල අපි පොලිස් ක්‍රීඩාංගණයට ගිහිල්ලා පුහුණුවීම් පවා කරනවා. ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් වැදගත් කියලයි අපි දූට කියල තියෙන්නේ. ඇය අධ්‍යාපනයෙන් ද දක්ෂතා දක්වනවා. දුව, කවදාහරි දවසක පැසිපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒවි” දමින්ද හෙට්ටිආරච්චි මහතා පවසන්නේ තම බලාපොරොත්තුව ස්තීර කරමින්. 

දමින්ද හෙට්ටිආරච්චි මහතා පැසිපන්දු ක්‍රීඩකයෙක්ට අමතරව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සුදුසුකම්ලත් පැසිපන්දු පුහුණුකරුවෙක් ද වෙනවා. නමුත් පොලිස් සේවයේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහුට පුහුණුකරුවෙක් ලෙසින් සේවය කිරීමට අවශ්‍ය කාලය වෙන්කර ගැනීම අපහසු බවයි පවසන්නේ. එසේ නමුත් ඔහු 2015/16 කාලයේ දී ශ්‍රී ලංකා පැසිපන්දු තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් කටයුතු කර තිබෙනවා. 

“අම්ම, තාත්තා නිතරම මගේ පස්සෙන් හිටියා. ක්‍රීඩාවේ ප්‍රශ්නකාරී හැම වෙලාවක දී ම මගේ තාත්ත මාත් සමඟ හිටියා. ඒක මට විශාල ශක්තියක්. අදටත් මම සමහර පැටලුණ තැන් විසඳගන්නේ තාත්තගේ උපදෙස් මගින්. ඒ වගේම මගේ සියලුම පුහුණුකරුවන්, විද්‍යාලයේ විදුහල්පතිනිය, ගුරුවරුන් සහ මගේ යාළුවන් ද මගේ ගමනට විශාල ශක්තියක් වුනා. ඊට අමතරව ජාතික මට්ටමේ දී මට උදව් කළ විශාල පිරිසක් ද සිටිනවා. ඔවුන් සෑම දෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා” මල්මි පැවැසුවා. 

දැල්පන්දුව අතහැර පැසිපන්දුව වැළඳ ගත් මල්මිගේ අනාගත බලාපොරොත්තුව පැසිපන්දු ක්‍රීඩාවෙන් තව තවත් ඉදිරියට යෑම. අවසානයේ දී ශ්‍රී ලංකාවට මෙතෙක් පැසිපන්දු ක්‍රීඩාවෙන් අත්කර දුන් කීර්තියට වඩා කීර්තියක් මෙරටට ගෙනැත් දීම. “මට ඒක කරන්න පුළුවන්” මල්මි අධිෂ්ඨානශීලීව පවසනවා. 

ඇයගේ එම අධිෂ්ඨානය සඵල වේවායි ThePapare.com අපගේ ද ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<