යාපනයේ අපරාජිත ගමන නිමා වේ; ජ’පුරට ශූරතාව

173

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (31) සමත් විය. ඒ යාපනය විශ්වවිද්‍යාලය පරාජය කරමිනි. තරගය රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

යාපනය හා ජයවර්ධනපුර අවසන් තරගයට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම සතිඅන්තයේ දී පැවැත්විය. අවසන් පූර්ව තරග……

අපරාජිත ගමන් මග

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරගාවලියේ ආරම්භයේ පටන් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්වූ අතර ඔවුන්ගේ පිතිකරණය, පන්දු ‍යැවීම හා පන්දු ‍රැකීම යන අංශ තුනම ඉතාමත් දියුණු මට්ටමක පැවැතිනි. 

මූලික වටයේ D කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් තම ජයග්‍රාහී ගමන ආරම්භ කළේ සබරගමුව කණ්ඩායම පරාජය කරමිනි. එම තරගයේ දී ජයවර්ධනපුර කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඔවුන් ලකුණු 308ක් ලබා ගත්තේ කඩුලු 9කටය. ප්‍රතිවාදී සබරගමුව කණ්ඩායම ලකුණු 104 කට සීමා කළ ජයවර්ධනපුර කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 204 කිනි. 

කැළණි, පේරා, ජ’පුර, වයඹ, යාපනය සහ රජරටට ජයග්‍රහණ

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය දා ආරම්භ විය. ඒ අනුව පළමු සතියට අදාළ තරග…..

තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව නැගෙනහිර කණ්ඩායමට උරුම කර දීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් වූයේ ඔවුන්ගේ දෙවන තරගයේ දී ය. එහි දී නැගෙනහිර කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 67කි. පන්දුවාර 7ක් තුල දී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යන ජයවර්ධනපුර කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 10ක් අතැතිවය. 

ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම පළමු වටයේ මුහුණ දුන් තුන්වැනි තරගය කැළණිය කණ්ඩායම සමඟින් පැවති අතර එහි දී ජයවර්ධනපුර කණ්ඩායම නැවතත් ලකුණු 300 සීමාව පසුකර යාමට සමත් විය. ඔවුන් පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 316ක් වාර්තා කළ අතර කැළණිය කණ්ඩායම ලකුණු 136කට සීමා කරමින් තරගය ලකුණු 180කින් ජයග්‍රහණය කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. 

ඒ සමඟින් ඔවුන් අපරාජිතව පළමු වටය නිමා කළ අතර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ D කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී පිතිකරණයේ යම් පසුබෑමක් පෙන්වූ ජයවර්ධනපුර කණ්ඩායම මොරටුව කණ්ඩායම හමුවේ ලකුණු 186කට සීමා විය. ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය මොරටුව කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කිරීමට ජයවර්ධනපුර පන්දු යවන්නන් සමත් වූ අතර සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 113ක් පමණි. එම ජයග්‍රහණයත් සමඟින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. 

පේරාදෙණිය කණ්ඩායමට නොසිතූ පරාජයක් හිමි කර දුන් රජරට කණ්ඩායම සමඟින් අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළ ජයවර්ධනපුර කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 190ක් වාර්තා කරන ලදි. 

රජරට කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කරමින් ඔවුන් ලකුණු 97කට සීමා කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. ඒ සමඟින් ජයවර්ධනපුර කණ්ඩායම අවසන් තරගයේ තම අසුන වෙන්කර ගත්තේය. 

යාපනය විශ්වවිද්‍යාලය C කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි අතර ඔවුන් තම තරගාවලිය ආරම්භ කළේ සත්කාරක රුහුණ විශ්වවිද්‍යාලය පරාජය කරමිනි. එම තරගය යාපනය විශ්වවිද්‍යාලය ජයග්‍රහණය කලේ කඩුලු 4කිනි. 

තම දෙවන තරගයේ දී මෙතක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය හමුවේ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 402ක් ලබා ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමිනි. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලකුණු 118කට සීමා කළ යාපනය කණ්ඩායම තරගාවලියේ ඉහළම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඔවුන් තරගය ජයග්‍රහණය කළේ ලකුණු 284කිනි. 

ජපුර, අග්නිදිග, යාපනය හා රජරට අවසන් පූර්ව වටයට

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය මේ වන විට අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත. තරගාවලියේ අර්ධ අවසන්….

තම පළමු වටය අපරාජිතව නිමා කිරීමට යාපනය කණ්ඩායම සමත් වූයේ මූලික වටයේ තුන්වැනි තරගයේ දී ප්‍රබල පේරාදෙණිය කණ්ඩායම පරාජය කරමිනි. පේරාදෙණිය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 224 කඩුලු 7ක් පමණක් දැවී පසුකරයාමට යාපනය කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණය ඔවුන් කාණ්ඩයේ පෙරමුණට ගෙන ඒමට සමත් විය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ කණ්ඩායම සමඟින් තරග වැදුණු යාපනය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම ලකුණු 162කට සීමා කළේය. ජයග්‍රාහී ලකුණු 163 කඩුලු 6ක් පමණක් දැවී පසුකර යාමට යාපනය කණ්ඩායම සමත් වූයේ කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමිනි. 

කැළණිය කණ්ඩායමට නොසිතූ පරාජයක් උරුම කර දුන් අග්නිදිග කණ්ඩායම සමඟින් අවසන් පූර්ව වටයට තරග වැදුණු යාපනය කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළේ අග්නිදිග කණ්ඩායම ලකුණු 125කට සීමා කරමිනි. එම ජයග්‍රහණයත් සමඟින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය. 

තරගකාරී අවසන් තරගය

අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ජයවර්ධනපුර කණ්ඩායම තීරණය කළ අතර එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ජයවර්ධනපුර පිතිකරුවන් සමත් වූයේ නියමිත් පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 289ක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. 

කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කිරීමට කණිෂ්ක උග්ගල්පාය සමත් වූ අතර ඔහු පන්දු 106ක දී ලකුණු 91 ක් වාර්තා කිරීමට සමත් විය. යාපනය කණ්ඩායම වෙනුවෙන් ජනනාතන්, ලෝනතීශ්වර් හා ඩී. එම්. බංඩාර කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් විය. 

ලකුණු 290ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගි ය යාපනය කණ්ඩායම වෙනුවෙන් සෙන්තූරන් ලකුණු 74ක් වාර්තා කළේ පන්දු 72කිනි. නායක පී. තුවාරකාසීලන් ලකුණු 54ක් වාර්තා කරමින් යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් ජයවර්ධනපුර කණ්ඩායමේ ශෙහාර හා සජිත් ද සිල්වාගේ පන්දු ‍යැවීම හමුවේ යාපනය කණ්ඩායම ලකුණු 244කට සීමා විය. සජිත් ද සිල්වා පන්දුවාර 9ක් තුල දී ලකුණු 3කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය. 

ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම – 289/10 (පන්දුවාර 50)
යාපනය කණ්ඩායම – 244/10 (පන්දුවාර 44)

ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායමට ලකුණු 45ක ජයග්‍රහණයක්.

>>තරගාවලියේ සම්පූර්ණ ප්‍රතිඵල<<

ඒ අනුව අවසන් තරගය ජයග්‍රහණය කරමින් මෙවර විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ශූරයන් බවට පත්වීමට ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<