ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය පිටත් වෙයි

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

426

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා නම් කරන ලද 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් සංචිතය අද (21) පස්වරුවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියා.

දෙසැම්බර් 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කරන්නේ දුනිත් වෙල්ලාලගේ.

පිතිකරණ අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තවත් අතිරේක පිතිකරුවකු ලෙස කොළඹ ලුම්බිණි විදුහලේ සකුණ ලියනගේ සංචිතයට එකතු කර තිබෙනවා.

ඒ හැරුණු විට මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයින් සියල්ලන්ම පසුගිය දා බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව පැවති  තරගාවලිවල දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.

සමස්ථයක් ලෙස බැලීමේ දී කණ්ඩායමට විශේෂඥ පිතිකරුවන් හත් දෙනෙක්, වේගපන්දු යවන්නන් සිව් දෙනෙක්, දඟපන්දු යවන්නන් සිව් දෙනෙක් සහ කඩුලු රකින්නන් දෙදෙනක් ඇතුළත්ව සිටිනවා.

මේ අතර නායක දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ සහ යසුරු රුද්‍රිගෝ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

අභිෂේක් ලියනආරච්චි, සදීෂ රාජපක්ෂ, ෂෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රවීන් ද සිල්වා, රනුද සෝමරත්න සහ සකුණ ලියනගේ පිතිකරුවන් වන අතර, චමිඳු වික්‍රමසිංහ, යසිරු රුද්‍රගෝ, විනුජ රන්පුල් සහ මතීෂ පතිරණ වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරනවා.

දුනිත් වෙල්ලාලගේ, වනුජ සහන්, මල්ෂ තරුපති සහ ට්‍රෙවීන් මැතිව් දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වන විට අන්ජල බණ්ඩාර සහ සදීෂ් ජයවර්ධන කඩුලු රකින්නන් ලෙස එක්ව සිටිනවා.

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉකුත් මාස කිහිපය මුළුල්ලේම නේවාසික පුහුණු සැසි ගණනාවකට සහභාගී වූ අතර ලෝක ශූර බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලි දෙකකට ද ඔවුන් ක්‍රීඩා කළා.

එහි දී බංග්ලාදේශයට එරෙහිව 5-0ක සහ එංගලන්තයට එරෙහිව 3-2ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට අවිෂ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබුණා.

‘B’ කාණ්ඩය යටතේ ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකාව දෙසැම්බර් 24 වැනිදා කුවේට් කණ්ඩායම සමඟින් පළමු තරග ක්‍රීඩා කිරීමට නියමිතයි. 26 වැනිදා නේපාලනයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකාව 28 වැනිදා බංග්ලාදේශය සමඟ තරග කරනු ඇත.

ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටයේ තරගවලින් අනතුරුව ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයෙන් අනතුරුව දෙසැම්බර් 31 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේගපන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරයි. කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කරනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<