ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ වෙනස්කම් 4ක්

එංගලන්ත යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

643

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ මෙරට දී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබුණා.

පසුගිය මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව 5-0ක සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් හතර දෙනෙකු එංගලන්තයට එරෙහි සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රයන් ප්‍රනාන්දු, හරිඳු ජයසේකර, ළහිරු දෙවටගේ සහ ජීවක ශෂීන් හට සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. බංග්ලාදේශ තරගාවලියේ දී ඔවුන් සාර්ථක නොවීම ඊට හේතුවයි.

බංග්ලාදේශ තරගාවලියේ දී ඔවුන් කිසිවෙකුට තරග දෙකක් තුළ ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර එම තරගාවලිය තුළ ජීවක ලකුණු 16ක්, රයන් ලකුණු 17ක්, හරිඳු ලකුණු 12ක් පමණක් රැස්කර තිබුණා. ළහිරු ලකුණු ලබාගෙන තිබුණේ නැහැ.

ඔවුන්ගේ ඉවත් කිරීමෙන් පසු හිස්වූ ස්ථාන සඳහා මුල්පෙළ පිතිකරුවන් වන අභිෂේක් ලියනආරච්චි, රන්දු සෝමරත්න, සකුණ ලියනගේ සහ කඩුලු රකින පිතිකරු අංජුල බණ්ඩාර කැඳවා තිබෙනවා.

එම ක්‍රීඩකයන් හැරුණු කොට බංග්ලාදේශ තරගාවලිය නියෝජනය කළ අනෙකුත් ක්‍රීඩකයින් සියලු දෙනා මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර සුපුරුදු පරිදි දුනිත් වෙල්ලාලගේ නායකයා ලෙසත්, රවීන් ද සිල්වා උප නායකයා ලෙසත් කටයුතු කරනවා.

මෙම (නොවැම්බර්) මස 30 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත 19න් පහළ කණ්ඩායම අද (22) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර තරගාවලිය සඳහා යොවුන් එක්දින තරග 5ක් ඇතුළත් වනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා ජෛව බුබුලට ඇතුළත්ව ඊයේ (21) සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<