වනිඳු, භානුක සහ ඇන්ජලෝ අබුඩාබිය හොල්ලයි

අබුඩාබි T10 තරගාවලිය 2021

13239

මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා සමත් වුනා.

Chennai Braves නියෝජනය කරන 31 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා සෙනසුරාදා (20) Deccan Gladiators සමඟ පැවති තරගයේ දී අගනා ඉනිමක් දියත් කරමින් පන්දු 29ක් තුළ ලකුණු 60ක් රැස්කිරීමට සමත් වුනේ 206.90ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් කතාබහට ලක්වන තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳු හසරංග ඊයේ (21) පැවති තරගයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවත්, අවසන් පන්දුවේ දී තරගය පරාජය වීමට ඔහු නියෝජනය කළ Deccan Gladiators කණ්ඩායමට සිදු වුනා.

කඩා වැටී තිබූ Deccan Gladiators පිතිකරණ ඉනිමට දැඩි ජීවයක් ගෙන දෙමින් පන්දු 18ක් තුළ හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් සමඟ 166.67ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට සමත් වීමෙන් අනතුරුව වනිඳු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුනා.

පන්දු යැවීමේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කළ වනිඳු සිය පන්දුවාර 2 තුළ කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ඊයේ (21) දිනයේ දී වඩාත් අවධානයට ලක්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා වූ භානුක රාජපක්ෂ Chennai Braves නියෝජනය කරමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුනා.

එම තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි භානුක පන්දු 31ක් තුළ හතරේ පහර හයක් සහ හයේ පහරවල් හතරක් සමඟින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුනේ 206.45ක ප්‍රහාරාත්මක වේගයක් සමඟයි.

එමෙන්ම මෙම තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය ඉහළ දමමින් දඟපන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩ සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් Chennai Braves කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක නායකත්වය දරන Chennai Braves සහභාගී වූ තරග දෙකේ දී ම ලකුණු 122ක් සහ 124ක් ලබා ගැනීමට සමත්වූවත් පන්දු යවන්නන්ගේ දුර්වලතා නිසා පරාජය වීමට සිදු වූ අතර මෙම ක්‍රීඩකයන්ගේ එක්වීමත් සමඟ පන්දු යැවීමේ අංශය තවත් ශක්තිමත් වනු ඇත.

කෙවින් සහ නුවන් ප්‍රදීප්ට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකු Chennai Braves නියෝජනය කරන අතර ඔවුන්ගේ එක්වීමත් සමඟ ශ්‍රී ලංකා සහභාගීත්වය හය දක්වා වැඩි වී තිබෙනවා.

කෙවින් මේ වන විට අබුඩාබි නුවරට ගොස් ඇති අතර නුවන් ප්‍රදීප් 23 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතයි.

මෙවර අබුඩාබි T10 තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන්,

  • The Chennai Braves – ධනංජය ලක්ෂාන්, දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, නුවන් ප්‍රදීප්
  • Deccan Gladiators – වනිඳු හසරංග
  • Bangla Tigers – ඉසුරු උදාන
  • Northern Warriors – උපුල් තරංග, බිනුර ප්‍රනාන්දු

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<