විශිෂ්ට පන්දු රැකීමේ දස්කම් නිසා ශ්‍රී ලංකා යෞවනයින්ට සුපිරි ජයක්

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

308
Sri Lanka Cricket

ලෝක ශූර බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්  අතර පැවැත්වූ දෙවැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගය අද (18) දඹුල්ලේ දී අවසන් වුනේ ශ්‍රී ලංකාවට ලකුණක තියුණු ජයක් හිමිකර දෙමිනි.

ඒ අනුව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට ද ශ්‍රී ලංකා යෞවනයින් සමත් වුනා. මේ තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රැකීම ඉතාමත් හොඳ මට්ටමක තිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස තීරණාත්මක දුවද්දී දැවී යාම් දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ නැවත වතාවක් පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර ශ්‍රී ලංකාව මේ තරගයට පැමිණියේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමිනි.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – සදීෂ් ජයවර්ධන, ජීවක ශෂීන්, ශෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), චමිඳු වික්‍රමසිංහ, යසිරු රොද්‍රිගෝ, මතීෂ පතිරණ, ට්‍රෙවින් මැතිව්

බංග්ලාදේශය – Mahfijul Islam, Iftikher Hossain, Tahjibul Islam, Aich Mollah, SM Meherob (c), Ariful Islam, Abdullah Al Mamun, Golam Kibria, Naimur Rohman, Ashikur Zaman, Ripon Mondol

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් සුපුරුදු පරිදි සදීෂ් ජයවර්ධන සහ ජීවක ශෂීන් පිටියට පිවිසි නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය නැවත වරක් අසාර්ථක වුනා. කෙසේ නමුත් පළමු තරගයට වඩා වැඩි විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් සදීෂ් සමඟ එක්වුණු ශෙවෝන් ඩැනියල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට හොඳ ලකුණු සටහනක් වෙත යාමට අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා.

පළමු කඩුල්ල සහ පස්වැනි කඩුල්ලට ගොඩනැංවූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සබඳතා හැරෙන්නට අනෙක් සබඳතා සියල්ලම පාහේ ඉතාමත් හොඳ සබඳතා වුනු නිසාවෙන් බංග්ලාදේශ අභියෝගාත්මක පන්දු යැවීම හමුවේ ලකුණු 228ක් වෙත යාමට හැකියාව ලැබුණා.

එය ශ්‍රී ලංකාව පළමු තරගයේ දී ලබා ගත් ලකුණු සටහන හා සමාන වූ නමුත් පළමු තරගය සම​ඟ සසඳා බැලීමේ දී මේ තරගයේ දී බංග්ලාදේශය ඉතාමත් හොඳින් පන්දු යැවීම සිදු කළා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා බව යළිත් වතාවක් තහවුරු කළ පවන් පතිරාජ නොකඩවා දෙවැනි වරටත් අර්ධ ශතකයක් ලබා ගත් අතර ඔහු පන්දු 68ක දී ලකුණු 51ක් ලබා ගත්තේ පහර 4ක් එල්ල කරමිනි. ඊට අමතව ශෙවෝන් ලකුණු 34ක් ලබා ගත්තා.

පළමු තරගයේ දී මෙන් ශ්‍රී ලංකාවට සාර්ථක අවසානයක් ලබා දුන් යසිරු සහ චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකා ඉනිම 228ක් දක්වා රැගෙන යාම සඳහා අවශ්‍ය වුනු අවසන් පිඹුරු පත් සකස් කළා.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක Ripon Mondol නැවත වතාවක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත වැඩි අභියෝගයක් එල්ල කරමින් කඩුලු 3ක් දවා ගන්නා විට, Ashikur Zaman ලකුණු 54කට කඩුලු 2ක් තමන් සතු කරගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගෙන සාර්ථක ලෙස තරගයේ අවසානය දක්වා පැමිණි නමුත් මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම, දුනිත්ගේ සුපිරි නායකත්වය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිවිශිෂ්​ට පන්දු රැකීමේ දස්කම් නිසාවෙන් බංග්ලාදේශයට වැඩි වාසි හිමිවුණු තරගය ඔවුන්ගෙන් උඳුරා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුනේ කලකට අමතක නොවන තරග අවසානයක් සනිටුහන් කරමිනි.

මේ තරගයේ දී බංග්ලාදේශ ආරම්භක පිතිකරු Mahfijul Islam ලකුණු 75ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුවත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට අවස්ථාව ලැබු​ණේ නැහැ. ඒ ඔහු මතීෂගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණු නිසයි.

එසේම ලකුණු 17ක් ලබාගෙන සිටි Tahjibul Islamගේ කඩුල්ල සහ අවසන් තීරණාත්මක 10 වැනි කඩුල්ල යන කඩුලු දෙකම දුවද්දී දැවී යාම් ලෙස බංග්ලාදේශයෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වුනේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කරමිනි.

අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා එක් ලකුණක් මෙපිටින් සිටිමින් සිය ඉනිම නිමා කළේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දීයි. පන්දු යැවීමේ දී මතීෂ කඩුලු 3ක් දවා ගන්නා විට, නායක  දුනිත් ද කඩුලු 3ක් තමන් සතුකර ගත්තා.

Mahfijul Islamගේ ලකුණ 75 ඉනිම සඳහා 4 පහර 8ක් සහ එක් 6 පහරක් ඇතු​ළත් වුනු අතර ඒ සඳහා ඔහුට පන්දු 96ක් වැය වුනා. ඊට අමතරව Iftikher Hossain ලකුණු 36ක් ලබා ගත්තා.

ලකුණු සාරාංශය,

ශ්‍රී ලංකාව – 228/8 (50): සදීෂ් ජයවර්ධන 58, පවන් පතිරාජ 51, ශෙවෝන් ඩැනියල් 34, Ripon Mondol 3/49, Ashikur Zaman 2/54,

බංග්ලාදේශය – 227 (49.3): Mahfijul Islam 75, Iftikher Hossain 36, SM Meherob 33, මතීෂ පතිරණ 3/26, දුනිත් වෙල්ලාලගේ 3/30.

දෙරට අතර පැවැත්වීමට නියමි​ත තෙවැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<