සත්කාරකයින් ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන අරඹයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

269
Image courtesy : Flipboard

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (17) සවස් වරුවේ පැවති තරගයෙන් පැපුවා නිව්ගීනියාව පරාජය කරමින් කඩුලු 10ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ඕමානයට හැකි වුනා.

ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් ඕමාන නායකයා පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් PNG ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ඕමාන පන්දු යවන්නන් වන Bilal Khan සහ Kaleemullah සමත් වුනේ සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමිනුයි.

ඉන්පසු පිටියේ එක්වූ PNG නායක Assad Vala සහ Charles Amini තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 81ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූවත්, ලකුණු 37ක් ලබා සිටි Charles Amini දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ඕමාන් පන්දු රකින්නන්ට හැකි වුනා.

අගනා නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ Assad Vala පන්දු 43ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමට සමත්ව සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Kaleemullah සමත් වුනේ තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායමට ගෙන දෙමිනි.

එතැන් පටන් පැපුවා නිව්ගීනියා පිතිකරුවන් සියල්ල සිය පාලනයට ගත් ඕමාන පන්දු යවන්නන් PNG ක්‍රීඩකයන් මුළු පන්දුවාර කඩුලු 9ක් දැවී ලකුණු 129කට සීමා කිරීමට ඕමාන පන්දු යවන්නන්ට හැකි වුනා.

අගනා පන්දු යැවීමක නිරත වූ ඕමාන නායක Zeeshan Maqsood ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර Bilal Khan සහ Kaleemullah අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕමානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Aqib Ilyas සහ Jatinder Singh විසිනුයි.

තම හුරුපුරුදු ක්‍රීඩාංගණයේ දී ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළ ඕමාන ආරම්භක පිතිකරුවන් පන්දුවාර 13.4ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුනේ සිය ප්‍රේක්ෂකයන්ට උද්යෝගජනක ආරම්භයක් ලබා දෙමිනුයි.

ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ Jatinder Singh පන්දු 42ක් තුළ 6 පහර හතරක් සහ 4 පහර හතක් සමඟ ලකුණු 73ක් වාර්තා කිරීමට සමත් වූ අතර Aqib Ilyas පන්දු 43 දී ලකුණු 50ක් වාර්තා කළා.

ආරම්භක පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් ඕමානය පළමු තරගයම ජය ගනිමින් මෙවර ලෝක කුසලානය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය හිමි වුනේ ඕමාන නායක Zeeshan Maqsood හටයි.

  • පැපුවා නිව්ගීනියාව: 129/9 (20) – Assad Vala 54, Charles Amini 34, Zeeshan Maqsood 4/20
  • ඕමානය: 131/0 (13.4): Jatinder Singh 73*, Aqib Ilyas 50*

මෙම තරගය පළමු වටයේ B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති අතර එම කාණ්ඩයේ තවත් තරගයක් අද (17) රාත්‍රියේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<