සෝනිගේ ප්‍රහාරයෙන් කොළඹ කැලඹෙයි: මෝහන් බගාන් ඉදිරියට

350
Mohun Bagan v CFC.

සෝනි නොර්ඩේගේ නැවත පැමිණීමෙන් තවත් ශක්තිමත් වූ මෝහන් බගාන් ක්‍රීඩා සමාජය AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට අදාලව කොළඹ පාපන්දු සමාජය සමඟ පැවැත්වුණු දෙවන අදියරේ තරගය ගෝල 2 -1 ක් ලෙස පහසුවෙන් ජය ගන්නට සමත් විය. මේ තරගය පැවැත්වුනේ ඉන්දියාවේ කොල්කටා නුවර රබීන්ද්‍ර සරෝබාර් ක්‍රීඩාංගණයේ දීයි.

කොළඹ අභියෝගය මැද මෝහන් බගාන්ට පළමු අදියරේ ජය

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා, අදියර දෙකකින් යුත් පූර්ව වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමත් ඉන්දියාවේ මෝහන් බගාන් පාපන්දු කණ්ඩායමත්…

මේ කණ්ඩායම් දෙක අතර පළමු අදියරට අදාලව කොළඹ දී පැවති තරගය ද ජය ගත් මෝහන් බගාන් ක්‍රීඩා සමාජය සමස්ත ගෝල 4 – 2 ක් ලෙස මෙම තරග වටය ජයගනිමින් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට ද සමත් විය.

ආබාධයක් හේතුවෙන් පළමු අදියරේ තරගය අහිමි වුවත් සුවය ලැබීමෙන් පසු මෙම තරගට එක්වූ සෝනි නොර්ඩේ, සිය කණ්ඩායමේ ජයග්‍රහණය රචනා කල නිර්මාණ ශිල්පියා බවට පත්වුණේ තමන් විසින්ම වාර්තා කල ගෝලයකට අමතරව අනෙක් ගෝලය ලබා ගැනීමට මග විවර කිරීමන් ද දායක වෙමිනුයි. කොළඹ පාපන්දු සමාජය තරගයේ අවසන් භාගයේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුවද, ඒ වන විට සමස්ත තරග වටයේ ජය තහවුරු කරගෙන සිටි ඉන්දියානුවන් විවේක ගැනීම ද ආරම්භ කර තිබුණි.

කොළඹ පාපන්දු සමාජය මේ තීරණාත්මක තරගය සඳහා එක්වුණේ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කරමිනුයි. ඒ අනුව ඩිලාන් කෞශල්‍ය, මොහොමඩ් රමීස් සහ සර්වාන් ජොහාර් වෙනුවට රවුමි මොහිදීන්, මොහොමඩ් රිෆ්නාස් සහ ඊ. බී. චන්න කණ්ඩායමට එක්විය.

කොළඹ ක්‍රීඩකයන්ට ඉන්දියානු වීසා

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේදී, ඉන්දියානු මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන අදියරේ තරගය සඳහා සහභාගී වන කොළඹ පාපන්දු සමාජයට…

ඉදිරි වටයට පිවිසීම සඳහා අවම වශයෙන් ගෝල 2 -0 ක ජයක් අවශ්‍ය වීම හේතුවෙන් කොළඹ ක්‍රීඩකයන් තරගයේ පළමු මිනිත්තු 20 තුල සත්කාරක කණ්ඩායමේ වරදක් සොයා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයකින් ක්‍රීඩා කරන ලදී. කෙසේ වෙතත් එම අභියෝගාත්මක කාල සමය තුල ආරක්ෂාකාරීව තරග කළ මෝහන් බගාන් කණ්ඩායම අනතුරුව ක්‍රමයෙන් තරගයේ ග්‍රහණය සියතට ගන්නට සමත් විය.

තරගයේ 28 වන මිනිත්තුවේ දී සත්කාරකයන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ සෝනි හට මනාව ස්ථාන ගත වූ පන්දුවක් මඟිනුයි. ඩැරල් ඩෆී පන්දුව ගෝල සීමා කොටුවේ අග්‍රය අසලට ස්ථාන ගත කළ අතර සෝනි එල්ල කළ වේගවත් පහර ගෝලයේ වම් කෙලවර පහල ප්‍රදේශයෙන් දැල ස්පර්ශ කරන ලදී. දැල් රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් හට එම පහර වැළක්වීමේ හැකියාව තිබුණද ඔහුට එම උත්සාහය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

පළමු ගෝලයෙන් මිනිත්තු 3 කට පසු ඩෆී තම නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය කරමින් පහරක් එල්ල කලද එම පහර ගෝලය වෙත නිසි ලෙස ඉලක්ක ගත වී නොතිබුණි. ඒ සමඟ කොළඹ පාපන්දු සමාජයටද ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාවක් හිමි වුවද චලන චමීර පිටිය හරහා යොමු කල පන්දුවට රිෆ්නාස් එල්ල කල පහර කෙලින්ම ඇදී ගියේ ප්‍රතිවාදී දැල් රකින ක්‍රීඩක ශිල්ටන් පෝල් වෙතටයි.

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 2ක් තිබියදී දර්ශනීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් මෝහන් බගාන් ක්‍රීඩකයන් 4 දෙනෙක් ආක්‍රමණයක් දියත් කලේ සෝනි නොර්ඩේ ගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් බික්‍රම්ජිත් සිං ගෝලය වෙත එල්ල කල පහර ඇදී ගියේ කොළඹ කණ්ඩායමේ දැල් රකින්න වෙතයි.

කොළඹ පාපන්දු සමාජයේ මොමස් යාපෝ පළමු අර්ධයේ අවසන් මොහොතේ එල්ල කල පහර ද දැල් රකින ක්‍රීඩක පෝල් විසින් වලක්වන ලදී.

පළමු අර්ධය : මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 1 – 0 කොළඹ පාපන්දු සමාජය

කොළඹ පාපන්දු සමාජය දෙවන අර්ධයද ආරම්භ කලේ විශ්වාසයෙන් යුතුවයි. ඔවුන්ට ලැබුණු නිදහස් පහරකින් ප්‍රතිවාදී ආරක්ෂක පෙළ මවිත කරන්නට කොළඹ ක්‍රීඩකයන් සමත් වුවද ඊළඟ මොහොතේ විස්මයට පත් වන්නට සිදු වුනේ කොළඹ ක්‍රීඩකයන් හටයි.

දවසේ තරුව වූ සෝනි දර්ශනීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් චරිත රත්නායක මගහැර පන්දුව ඉදිරියට ගෙන ගිය අතර ගෝලය අසලදීම පන්දුව ඩෆී ට භාර දීමෙන් පසු ඔහුට ඉතිරිව තිබුනේ පන්දුව ගෝලය තුලට යන ලෙස යන්තමින් පාදය තැබීම පමණි.

මෝහන් බගාන් ක්‍රීඩකයන් ගෝල 2 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමෙන් පසු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් ගෝලය වෙත එල්ල කල පන්දු කිහිපයක්ම සාර්ථකව වලක්වන්නට දැල් රකින්නන් සමත් විය. තරගය අවසන් වීමට මිනිත්තු 15ක් පමණ ඉතිරිව තිබියදී මෝහන් බගාන් පුහුණුකරු පියවර ගත්තේ ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන සෝනි සහ ඩෆී පිටියෙන් ඉවත් කර ගැනීමටයි.

ඉන් අනතුරුව ද කොළඹ ක්‍රීඩකයන් ගෝලයක් ලබා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වූ අතර එයද ව්‍යර්ථ වුනේ පෝල් විසින් යලිත් තම ගෝලය ආරක්ෂා කර ගැනීම හේතුවෙනුයි.

අෆීල් මොහොමඩ් ගේ අතේ පන්දුව වැදීම හේතුවෙන් 77 වන මිනිත්තුවේදී ප්‍රතිවාදීන්ට ලැබුණු දඬුවම් පහරක් විශිෂ්ට අයුරින් වලක්වන්නට කොළඹ කණ්ඩායමේ දැල් රකින ඉම්රාන් සමත් විය.

තරගයේ නියමිත කාලයෙන් මිනිත්තු දෙකක් පමණක් ඉතිරිව තිබියදී මෙසී ගේ ක්‍රීඩා විලාශය සිහි ගන්වන අයුරින් පන්දුව ඉදිරියට රැගෙන ගිය මොමස් යාපෝ කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් ගෝලයක් වාර්තා කලේ තරගයේ අවසන් මිනිත්තු කිහිපයට යම් ජවයක් එක් කරමිනුයි.

කෙසේ වෙතත් නියමිත කාලයේ දී හෝ ආබාධ සඳහා අපතේ ගිය කාලය වෙනුවෙන් ලබා දුන් අමතර මිනිත්තු 4 තුලදී හෝ යලි ගෝල ලබා ගැනීමට ශ්‍රී ලංකා තරගකරුවන් හට නොහැකි වූ අතර විනිසුරු ගේ අවසන් නලා හඬ නිකුත් වන විට තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ ගෝල 2 -1 ක් ලෙසින්.

තරග ප්‍රතිඵලය: මෝහන් බගාන් ක්‍රීඩා සමාජය 2 – 1 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා: සෝනි නොර්ඩේ (මෝහන් බගාන් ක්‍රී. ස.)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<