ලෙවිස්ගේ ශතකයෙන් කොදෙව් පිළට පූර්ණ තරගාවලි ජයක්!

83

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තෙවැනි එක්දින තරගයත් කඩුලු 5කින් ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කර ගැනීමට අද (13) කොදෙව් කණ්ඩායමට හැකිවිය. මෙම තරගය අතරතුරේ දී අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා සිදුවූ අතර ඒ නිසාවෙන් කොදෙව් පිළ ජයග්‍රහණය ලබා ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

නවෝද් පරණවිතාන පළමු තරගය ගොඩ දමයි

අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ……….

ග්‍රෙනේඩා හි සාන්ත ජෝජ් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ද කොදෙව් කණ්ඩායමයි. ඒ අනුව අයර්ලන්තය මුලින් පන්දුවට පහර දීම සඳහා යොමුකළ ඔවුන් ලකුණු 203කට සියලුම පිතිකරුවන් දවා ගැනීමට සමත් වූහ. ඒ තරග ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය පළමු කඩයිම සාර්ථක ලෙස ජය ගනිමිනි. 

අයර්ලන්තය වෙනුවෙන් නායක ඇන්ඩි බැල්බර්නි පමණක් සාර්ථකව ලකුණු අතරට පිවිසියද අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම අයර්ලන්ත ඉනිම ගරා වැටීමට හේතුවිය. පන්දු 93කට මුහුණ දුන් ඇන්ඩි හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කළේ මුළු ලකුණු 71ක් ලබා ගනිමිනි. මීට අමතරව කණ්ඩායමේ දෙවැනි හොඳම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වූයේ පසුපෙළ පිතිකරුවෙකු වූ ඇන්ඩි මැක්බ්‍රයින් නොදැවී ලබාගත් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී සුපිරි දස්කම් දක්වන්නට දෙවැනි තරගය කොදෙව්වන් වෙත හරවා දුන් හේඩන් වොල්ශ්ට හැකිවිය. ඒ ලකුණු 36කට කඩුලු 4ක් බිඳ හෙලමිනි. මේ වනවිට ඔහු පන්දු යවන්නෙකු පමණක් නොව අවශ්‍ය මොහොතකදී ලකුණු රැස් කරන ක්‍රීඩකයෙකු ලෙස කොදෙව් කණ්ඩායමට අත්‍යාවශ්‍ය භූමිකාවක් නිරූපණය කරයි. මීට අමතරව ඔශේන් තෝමස් කඩුලු 3ක් ද, රොස්ටන් චේස් කඩුලු 2ක් ද බිඳ හෙලූහ. 

නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක ………….

මෙම ඉලක්කය කොදෙව්වන්ට විශාල අභියෝගයක් නොවූ අතර පසුගිය තරගයේ දී මෙන් මුල්පෙළ කඩුලු කිහිපය ඉක්මනින් දවා ගැනීමට ද අයර්ලන්ත පන්දු යවන්නන්ට හැකි වූයේ නැත. එහිදී ශයි හෝප් සහ සුනිල් ඇම්බ්‍රයිස් යන පිතිකරුවන් දෙදෙනා ලකුණු 6 බැගින් රැස් කරමින් දැවී ගියද කොදෙව් පිතිකරණ ශක්තිය එලෙසින්ම රඳවා ගත්තේ එවින් ලෙවිස්ගේ විශිෂ්ට ශතකයයි.

පන්දු 97කට පමණක් මුහුණ දුන් ඔහු ලකුණු 102ක් ලබා ගත්තේ මනරම් හතරේ පහර 6කින් සහ දැවැන්ත හයේ පහර 5කින් සාන්ත ජෝජ් ක්‍රීඩාංගණය හැඩ ගන්වමිනි. මෙය ඔහුගේ එක්දින දිවියේ වාර්තා කළ තෙවැනි ශතකයයි. ඔහුගේ දැවී යාමෙන් පසු තරගයේ ඉතිරි කොටස සාර්ථකව අවසන් කිරීමේ වගකීම බාරගත් නිකලස් පූරන් නොදැවී ලකුණු 43ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. මීට අමතරව බ්‍රැන්ඩන් කින් ලකුණු 38ක් ලබා ගත්තේය.

“පංතියේ ළමයි වැඩ කරන්නේ නැතිනම්, මොනිටර් මාරු කරලා වැඩක් නෑ” – මාලිංග

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පරාජයන්ට …………..

පන්දු යැවීමේ දී ඇන්ඩි මැක්බ්‍රයින් කඩුලු 2ක් දවාගත් නමුත් මෙම කුඩා ඉලක්කය ආරක්ෂා කර ගැනීමට තරම් තුරුම්පු අයර්ලන්ත පිළට ඉතිරිව තිබුනේ නැත. මේ අනුව තරග 3-0ක් ලෙස අවසන් වූ තරගාවලියේ වීරයා සහ තරගයේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිවූයේ එවින් ලෙවිස්ටයි. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය අනිද්දා (15) මෙම ක්‍රීඩාංගණයේ දීම ආරම්භ වීමට නියමිතයි.

අයර්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 49.1)

ඇන්ඩි බැල්බර්නි 71, ඇන්ඩි මැක්බ්‍රයින් 25*, කෙවින් ඕ’බ්‍රයන් 21, ජේම්ස් මැකලම් 20, හේඩන් වොල්ශ් 4/36, ඔශේන් තෝමස් 3/41, රොස්ටන් චේස් 2/53.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී ලකුණු 199 (පන්දුවාර 36.2)

එවින් ලෙවිස් 102, නිකලස් පූරන් 43, බ්‍රැන්ඩන් කින් 38, ඇන්ඩි මැක්බ්‍රයින් 2/50, සිමී සිං 1/29.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<