ප්‍රබලයින් නොමැති ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 5ක පරාජයක්

1962
Sri Lanka U19 v South Africa U19 26th January ODI

මේ දිනවල දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට එරෙහිව පැවැත්වුනු සියලුම තරග ජයග්‍රහණය කලත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් සමගින් පැවති තරග තුනේදීම අත්කර ගත්තේ පරාජයයි. අද (26) මූලික වටයේ අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගය ද කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු යෞවනයින් සමත් විය.

නිරෝෂන් දික්වැල්ලගේ සුපිරි ඉනිමට සීක්කුගේ ප්‍රසන්න සාධාරණය ඉටු කරයි

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (26) කේප්ටවුන් හිදී නිමාවට පත්විය…

මේ වන විටත් ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති නිසා නිල නොලත් පෙර පුහුණු තරගයක් බඳුවූ මෙම තරගයට ශ්‍රී ලංකාව තම ප්‍රබලම තුරුම්පු කිහිපය සහභාගි කරවා නොතිබුණි. ඒ අනුව කලින් තරගයේදී ශතකලාභීන් බවට පත්වූ නායක අවිශ්ක ප්‍රනාන්දු සහ විශ්ව චතුරංග මෙම තරගය සඳහා ක්‍රීඩා නොකල අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිටින නිපුන් රංසික සහ තිසරු ඩිල්ශාන් ද විවේක ගන්වා තිබුණි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ කල්වේලා ඇතිව ලකුණු වේගය දැනගෙන නිස්කලංකව පන්දුවට පහර දීම ආරක්ෂිත බව හැඟුණු හෙයිනි. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනයින්ට පිත්තෙන් එතරම් සාර්ථක වන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩදුන්නේ නැත. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර ක්‍රිෂාන් සංජුල හතරේ පහර 10ක් සමඟින් ලකුණු 81ක් රැස් කළේය. මිශේන් සිල්වා හතරේ පහර 4ක් සමඟින් ලකුණු 63යි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අකෝනා මන්‍යාකා සහ රුවාන් ඩි ස්වාඩ් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. ඒ අනුව පන්දුවාර 48ක් ගතවීමට ද මත්තෙන් ශ්‍රී ලංකා ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලෙස සටහන් විය.

ඒ අනුව ලකුණු 224ක් ලෙස සටහන් වුනු ජයග්‍රාහී සීමාව නියමිත පන්දුවාර 50 නිමාවීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී සපුරාගත් දකුණු අප්‍රිකානුවන් අවසන් මහා තරගයට ධනාත්මක අයුරින් මුහුණ දීමට අවස්ථාව උදාකර ගත්හ. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩි බරක් ඉසිලූ රේනාඩ් වෑන් ටොන්ඩර් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කළේය. මීට අමතරව මිචෙල් වෑන් බුරන් සහ මැතිව් බ්‍රෙට්කේ ද වගකීම කරට ගෙන හොඳින් පිතිකරණයේ යෙදුනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මනෙල්කාර් ද සිල්වා සහ හරීන් බුද්ධිල කඩුලු 2 බැගින් බිඳ හෙලීය.

නොදැවී ලකුණු 87ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූ වෑන් ටොන්ඩර් හට තරගයේ වීරයා සම්මානය හිමිවිය. තරග 10කින් සමන්විත යොවුන් තුන්කොන් තරගාවලිය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව ලබන 28 වැනිදා බෝලන්ඩ් පාර්ක් හිදී සටන් වැදීමට නියමිතයි. එම තරගයේදී මෙම සංචාරය පුරාවට දක්ෂතා දැක්වූ හොඳම ක්‍රීඩකයින් සිව්දෙනෙකු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එකතු වන නිසා ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 47.5): ක්‍රිෂාන් සංජුල 81, මිශේන් සිල්වා 63*, රුවාන් ඩි ස්වාඩ් 3/32, අකෝනා මන්‍යාකා 3/45.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 224 (පන්දුවාර 48.4): රේනාඩ් වෑන් ටොන්ඩර් 87*, මිචෙල් වෑන් බුරන් 44, මැතිව් බ්‍රෙට්කේ 43, හරීන් බුද්ධිල 2/32, මනෙල්කාර් ද සිල්වා 2/49.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට