Sri Lanka Cricket

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (26) කේප්ටවුන් හිදී නිමාවට පත්විය. තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීමට දෙපිළටම ඉතාමත් වැදගත් වුනු මෙය, උණුසුම් තරගයකින් අනතුරුව කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලකට පසු සුපිරි ජයග්‍රහණයක ප්‍රීතිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට හිමිකර දුන්හ.

සඳකැන් සහ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරගුළු විවරකරයි

දීර්ඝ කාලයක සිට පැවති පරාජයේ ඉඩෝරය නිමා කරමින් අද (22) දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරට ජයග්‍රහණයේ වැසි පතිත විය.

පිතිකරුවන් සඳහා වැඩි සහයක් දක්වන කේප්ටවුන් තණතීරුව මතදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆර්හාන් බිහාර්ඩියන් දෙවරක් නොසිතාම පන්දුවට පහර දීමට තීරණය කළේ සුපිරි පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස්ගේ ආගමනයෙන් තව තවත් ශක්තිමත් වුනු පිතිකරණ බල ඇණිය යොදාගෙන විශාල ලකුණු ගණනක් රැස් කිරීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් කලින් තරගයේදී ඇතිවූ ආබාධ තත්වයක් නිසා නැවතත් ශ්‍රී ලංකාවට පිටත්ව ගිය නිසා වැඩ බලන නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර තිබුණි. මැතිව්ස්ගෙන් හිස්වුනු ස්ථානයට උපුල් තරංග කැඳවා තිබුණි.

දකුණු අප්‍රිකානු නව ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජොන් ස්මට්ස් සහ රීසා හෙන්ඩ්‍රික්ස් ඉනිම ආරම්භ කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නේ තරගයේ වාසිය වේලාසනින්ම දකුණු අප්‍රිකානුවන්ට හිමිකර දෙමිනි. ඒ වෙනුවෙන් ස්මට්ස් ලකුණු 19ක් ද, හෙන්ඩ්‍රික්ස් ලකුණු 41ක් ද රැස් කරමින් විශාල ලකුණු ගණනකට ශක්තිමත් අඩිතාලමක් දැමූහ. ක්‍රිකට් පිටියේ අංශක 360ම ආවරණය වන පරිදි පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් අතලොස්ස අතරින් ප්‍රමුඛස්ථානයක් උසුලන ඒ. බී. ඩිවිලියර්ස් ඊයේ අංක තුන පිතිකරු ලෙසින් පිටියට පිවිස හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් රැස් කළේය.

දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් භාගයේදී ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය අනුව ලකුණු 200කට ආසන්න දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යන බව පෙනෙන්නට තිබුනත් ලක්ෂාන් සඳකැන් සහ සීක්කුගේ ප්‍රසන්න ඉනිමේ මැද භාගයේදී පන්දු යැවූ ආකාරයත්, නුවන් කුලසේකර ඉනිමේ අවසන් භාගයේදී පන්දු යැවූ ආකාරයත් නිසා ඔවුන්ට ලකුණු 169කින් සෑහීමකට පත් වන්නට සිදු විය. කඩා වැටුනු දකුණු අප්‍රිකානු මැද පෙළේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ මන්ගාලිසෝ මොසෙලි හය පහර 3ක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් රැස් කළේය.

පිටිය දෙවනත් කළ හැකි බාහු බලයකින් තොරවූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 170ක ඉලක්කයක් සාර්ථක කර ගැනීම එතරම් පහසු නොවන බව කාහටත් පැහැදිලි කරුණක් විය. නමුත් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පවර්ප්ලේ අවස්ථාව මනාව උපයෝගී කර ගනිමින් පිටියේ හිදැස් අතරින් පන්දුව යොමු කරමින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ආරම්භක සබඳතාවය ගොඩ නැගීමට සමත් විය. නමුත් ලකුණු 20ක් ලබා සිටි උපුල් තරංග දැවී යාමත් සමඟින් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් අසාර්ථක පිතිකරණයක යෙදී ඉක්මනින් දැවී යාම නිසා ශ්‍රී ලංකාවට නැවතත් අවාසිදායක තත්වයක් නිර්මාණය විය.

නමුත් ශ්‍රී ලංකාව පරාජයේ මරු කටට ඇදී යාමට ඉඩ නොදුන් වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ල පරිණත පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරමින් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සුපිරි පිතිකරණයක යෙදීමට සමත් විය. පිටියේ පන්දු රකින්නන් යොදවා ඇති ආකාරය මනාව තේරුම් ගනිමින් තමන්ටම ආවේණික පහරවල් මගින් ඔහු ලකුණු 68ක් රැස් කරන ලදී. එම සුපිරි ඉනිමට නෙත් පිනවන හතරේ පහර 10ක් සහ මිඩ්-විකට් කලාපයට ඉහළින් එල්ල කල දැවැන්ත හයේ පහරක් ඇතුළත් විය.

ඊයේ දිනයේ එතරම් සාර්ථක පිතිකරණ රිද්මයක පසු නොවූවත් දකුණත් පිතිකරු ධනංජය සිල්වා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සමඟ එකතු වී රැස්කල ලකුණු 71 තරග ජයග්‍රහණය සඳහා මනා පිටිවහලක් විය. ක්‍රමක්‍රමයෙන් ජයග්‍රහණය කරා සේන්දු වෙමින් සිටි ශ්‍රී ලංකාවට නැවතත් ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට 16 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ ඉම්රාන් තහීර් සමත් විය. ඒ එකම පන්දු වාරයක් තුලදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය සහ දික්වැල්ල දෙදෙනාම දවා ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දු 25ක් තුලදී ලකුණු 52ක අපහසු ඉලක්කයක් නිර්මාණය විය. එවන් අසීරු ඉලක්කයක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා පිළ සුපිරි වීරයෙකු සොයන අවස්ථාවේදී පිටිය අතික්‍රමණය කල සීක්කුගේ ප්‍රසන්න, ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ බර තම කරමත පටවා ගනිමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙන්නට විය. ඔහු පන්දු 16ක් තුලදී දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් රැස්කල ලකුණු 37 නොවන්නට ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි. අවසන් පන්දු වාරය තුලදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනු ලකුණු 11 ඉලක්කය පහසුවෙන් සපුරාගත් ශ්‍රී ලංකාව ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන් අන්දමන්ද කරමින් තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

දකුණු අප්‍රිකානුවන්ට මෙම තරගය සඳහා නැවතත් පිවිසීමට තිබූ අවස්ථා කිහිපයක්ම දුර්වල පන්දු රැකීම නිසා අහිමිව ගිය අතර වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගිසානි නිගිඩි පන්දු රකින අතරතුරදී ආබාධයකට ලක්වීම නිසා ඔහුට ක්‍රියාත්මක කල හැකිව තිබූ පන්දුවාර 2ක් ද අර්ධ කාලීන පන්දු යවන්නන්ගෙන් සපුරා ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය. ඔවුන් මෙම තරගයේදී පිට පිටම අත හරිනු ලැබූ උඩපන්දු ත්‍රිත්වයක් සමඟින් මුලු උඩපන්දු 7ක් පමණ ලබා ගැනීමට අපොහොසත් විය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම, තමන්ට ලැබුනු අවස්ථාව උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත් තරුණ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට හිමිවිය. මීට අමතරව අසේල ගුණරත්න, ලක්ෂාන් සඳකැන් තරගාවලිය පුරාවට දක්ෂතා ප්‍රකට කිරීමට සමත් වූහ. තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 28 වැනිදා පෝට් එළිසබෙත් හිදී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 169 (පන්දුවාර 20): ඒ. බී. ඩිවිලියර්ස් 63, රීසා හෙන්ඩ්‍රික්ස් 41, මන්ගාලිසෝ මොසෙලි 32, ජේ. ජේ. ස්මට්ස් 19, සීක්කුගේ ප්‍රසන්න 1/21, ලක්ෂාන් සඳකැන් 1/23.

ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී ලකුණු 170 (පන්දුවාර 19.5): නිරෝෂන් දික්වැල්ල 68, සීක්කුගේ ප්‍රසන්න 37, උපුල් තරංග 20, ධනංජය ද සිල්වා 19, ඉම්රාන් තහීර් 3/18, වේන් පාර්නෙල් 1/42.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට වට