බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට විශ්ව චතුරංග සවියක් වෙයි

4359
ri Lanka v Australia Day 2

සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් පිළට එරෙහිව පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (09) නිමා වන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටියි. ඒ ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 8ක් අද දිනයේ ලකුණු 111ක් තුල දී බිඳ වැටීම නිසයි.

රංසිකගේ සාර්ථකත්වයට ඕස්ට්‍රේලියානු මැදපෙළ වැට බඳියි

ශ්‍රී ලංකා යොවුන් පිළේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (08) හෝබාර්ට් ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක විය…

අද උදෑසන ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුනු ආකාරයෙන් ඉනිම ගොඩ නැගීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණු අතර එහි පළමු ගොදුර බවට පත්වන්නේ ලකුණු 10ක් ලබා සිටි හසිත බෝයගොඩයි. වේග පන්දු යවන ක්‍රීඩක සැක් එවන්ස්ගේ සුරතින් ගිලිහී ඇතුළට දෝලනය වුනු පන්දුව හසිතගේ කඩුල්ල බිඳ හෙලන තුරුම ඔහුට පන්දුව තේරුම් ගැනීමට හැකි නොවීය. ඉන් ස්වල්ප මොහොතකට පසු යළි ක්‍රියාත්මක වුනු එවන්ස් ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස්ට කඩුල්ල අහිමි කරන්නේ වේගයෙන් කඩුල්ල වෙතට එල්ල කරන ලද මාරාන්තික යෝකර් පන්දුවක් මගිනි. ඒ වන විට කමිඳු රැස් කරගෙන සිටියේ ලකුණු 7ක් පමණි.

කමිඳුගේ දැවී යාමත් සමඟ හෝබාර්ට් ක්‍රීඩාංගණයට වැසි වැටුණු තරගය නැවත ආරම්භ කිරීමට හැකි වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි. තරගය ආරම්භ කර පන්දුවාර 3ක් පමණ ගත වන විට ශ්‍රී ලංකා පිළේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනු ආරම්භක පිතිකරු විශ්ව චතුරංගගේ ඉනිම නිමා කරන්නට පොයින්ට් කලාපයේ සිට ගුවනේ පියඹා යමින් අති විශිෂ්ට උඩ පන්දුවක් රැක ගත් පාරම් උප්පල් සමත් විය. ඒ අනුව දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැස් කරගෙන සිටි විශ්වට අවාසනාවන්ත ලෙස පිටිය හැරයන්නට සිදුවිය.

ඉනිමේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සාහ දැරූ ජෙහාන් ඩැනියෙල් (17) සහ නිපුන සුමනසිංහ (16) අද යම් ආරම්භයක් ලබා ගැනීමට සමත් වූවත් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් හිමිවූයේ නැත. දිනය පුරාවට අති දක්ෂ පන්දු යැවීමක නිරත වුනු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සැක් එවන්ස් පන්දුව මනා සංයමයකින් පාලනය කර ගනිමින් ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන් තිදෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීය. මීට අමතරව විල් සදර්ලන්ඩ් සහ ලොයිඩ් පෝප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ශ්‍රී ලංකා යොවුන් පිළ මේ වන විට එක් කඩුල්ලක් පමණක් අතැතිව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 160ක් පිටුපසින් සිටින නිසා තවමත් දැවැන්ත පීඩනයක් එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසටයි. එබැවින් ඔවුන්ට දෙවැනි ඉනිමේ දී මීට වඩා සිය ගුණයක් ආරක්ෂාකාරී වෙමින් පිතිකරණයේ යෙදීමට සිදුවනු ඇත.

ප්‍රථම ඉනිමේ දී හොඳින් පිතිකරණයේ යෙදුණු වමත් පිතිකරු විශ්ව චතුරංගට සහ වර්තමානයේ ලකුණු අතර සිටින කමිඳු මෙන්ඩිස්ට ඒ වෙනුවෙන් වැඩි වගකීමක් දැරීමට සිදුවනු ඇත. පසුගිය කාලවලදී පැවති පාසල් ක්‍රිකට් තරග වල දී ඉහළ දක්ෂතා අතර සිටි තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ද මෙම තරගයේ තීරණය කණපිට හැරවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි. මෙම ක්‍රීඩකයින් හෙට දිනයේ දක්වන සාර්ථකත්වය සහ නිපුන් රංසික ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල කරන අභියෝගය මත තරගයේ අවසන් ප්‍රතිඵලය රඳා පවතිනු ඇත.

අනෙක් අතට සැක් එවන්ස් සහ විල් සදර්ලන්ඩ් යන වේග පන්දු යවන්නන් මෙන්ම පා දඟ පන්දු යවන ක්‍රීඩක ලොයිඩ් පෝප් ද අද දිනයේ පන්දු යැවූ ආකාරය සළකා බැලීමේ දි හෙට දිනයේ දෙරට අතර උණුසුම් සටනක් ඇතිවන බවට කල් තබා බලාපොරොත්තු තබා ගත හැක. කෙසේ වෙතත් වේගවත් ඕස්ට්‍රේලියානු තණතිලි මත දී නුපුරුදු කාලගුණික තත්වයන් යටතේ පැවැත්වෙන මෙම යොවුන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා යෞවනයින්ට ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වුවහොත් එය ශ්‍රී ලංකාව ලබන විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට හැකිය.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 309 (පන්දුවාර 79.3): ජැක් එඩ්වඩ්ස් 106, ජොනතන් මර්ලෝ 100*, ජේසන් සංගා 41, රයන් හැක්නි 17, පරාම් උප්පාල් 15, නිපුන් රංසික 3/46, ජෙහාන් ඩැනියෙල් 1/34.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 149 (පන්දුවාර 44): විශ්ව චතුරංග 39, ක්‍රිෂාන් සංජුල 22, ජෙහාන් ඩැනියෙල් 17, නිපුන සුමනසිංහ 16, ලසිත් කෲස්පුල්ලේ 14, සැක් එවන්ස් 3/57, විල් සදර්ලන්ඩ් 2/20, ලොයිඩ් පෝප් 2/21.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට