18න් පහල ආසියානු සත් සාමාජික කිරුළත් ශ්‍රී ලංකාවට

697
Sri Lanka u18 Asia Rugby

දෙසතියකට පෙර වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ අයිතියට නතුවූ ආසියානු සත් සාමාජික රග්බි කිරුළේ, වයස අවුරුදු 18න් පහල කාණ්ඩයේ අයිතියත් මෙරටටම හිමි කර දෙන්නට ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයන් සමත් විය. ඒ තායිවානයේ පැවති තරගාවලියේ දෙවන අදියර අපරාජිතව අවසන් කරමිනුයි.

පසුගිය ලිපි: 18න් පහල රග්බි කණ්ඩායමත් රන් සටනට

මීට මසකට පෙර හොං කොං හීදී පැවති තරගාවලියේ පළමු අදියර තුල ශ්‍රී ලංකාවට හිමිවුණේ 3 ස්ථානයයි. කෙසේවෙතත් ජපානය, හොං කොං සහ දකුණු කොරියාව මෙම තරගාවලියේ දෙවන අදියරට සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් අත්විය. ප්‍රබල කණ්ඩායම් කිහිපයක් නොමැති වුවත් ශ්‍රී ලංකා යෞවනයන්ගේ ආකර්ශනීය තරග රටාව මෙම තරගාවලිය පුරාවටම කැපී පෙනුනි.

අවසන් තරගය

ශ්‍රී ලංකාව  10 – 05 චීන තායිපේ

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පිවිසුනත්, එම තරගයේදී  ඔවුන්ට විශාල අභියෝගයක් එල්ල කරන්නට චීන තායිපේ ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් පළමු මිනිත්තු 4 තුල තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම නතු කරගෙන සිටි නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයන්ද මනා පාලනයක් රඳවා ගන්නට සමත් විය. කෙසේ වෙතත් ඉසිපතන විද්‍යාලයීය Scrum Half ක්‍රීඩක හරිත් බණ්ඩාරගේ නීති විරෝධී ක්‍රියාවක් කහ කාඩ්පතකින් කෙලවර නොවුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසනාවකිනි.

නමුත් ශා. ජෝසප් ක්‍රීඩක චතුර සෙනෙවිරත්න කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව සිටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් චීන තායිපේ ක්‍රීඩකයින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. තීක්ෂණ හේෂාන්ගේ අතපසුවීමකින් දඬුවම් පහරක් දිනුමක් බවට පත්කර ගැනීමේ අවස්තාව අහිමිව ගිය අතර පළමු අර්ධය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 00 – 05 ක් ලෙස පසුපසින් සිටියදීයි.

සත්කාරකයින්ගේ නැවත ආරම්භය සඳහා එල්ල කළ පහර මීටර් 10 සීමාව නොඉක්මවීම හේතුවෙන් මධ්‍ය රේඛාවේ සිට ලද දඬුවම් පහරින් පසු දර්ශනීය පන්දු හුවමාරු කිරීම් කිහිපයක් මගින් පන්දුව නැවත චමෝද් ප්‍රනාන්දු වෙත ලැබුණු අතර ඔහු ලකුණු සම කරමින් ශ්‍රී ලංකාවේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අපහසු ස්ථානයක සිට එල්ලකිරීමට සිදුවූ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට චතුර සෙනෙවිරත්නට නොහැකි විය.

චීන තායිපේ කණ්ඩායම යලිත් පන්දුවේ පාලනය හිමි කරගත් නමුත් අනවශ්‍ය පා පහරක් එල්ලකිරීම නිසා පන්දුව චතුර සෙනෙවිරත්න අතට පත්විය. ඔහු එම අවස්තාව ලකුණු බවට පත් කරගත්තේ මීටර් 100ක පමණ ධාවනයකිනි. එහි ප්‍රවර්තනය හරිත් බණ්ඩාරට සාර්ථක කර ගන්නට නොහැකි විය. තායිපේ ක්‍රීඩකයන් හට ලකුණු ලබාගනීමේ තවත් අවස්තාවක් ලැබුනද එය වලක්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන් සමත් විය. අවසානයේ චමෝද් ප්‍රනාන්දු පන්දුව පිටියෙන් ඉවතට යොමු කිරීමත් සමග විනිසුරුගේ අවසන් නලා ශබ්දය පිටවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණයද හිමි කර දෙමිනුයි.

පළමු වටයේ අවසන් තරගය

ශ්‍රී ලංකාව 19 14 චීන තායිපේ

අවසන් මහා තරගයට පෙරහුරුවක් වැනි වූ මේ තරගයද ශ්‍රී ලංකාව ජය ගත්තේ ශා. අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩක දිනුක් අමරසිංහ අවසන් මිනිත්තුවේදී ලබාගත් උත්සාහක දිනුමකිනුයි. පළමු අර්ධයේදී කහ කාඩ්පත් 3ක් ලබාගත් ශ්‍රී ලංකාව, දෙවන අර්ධයේ ලද කහ කාඩ්පත් දෙකක් හේතුවෙන් අවසන් මිනිත්තු 2 තුල ක්‍රීඩා කලේ ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙනි.

පළමු අර්ධයේදී තායිපේ ක්‍රීඩකයන් උත්සාහක දිනුම් දෙකක් මෙන්ම ඒවායේ ප්‍රවර්තනද සාර්ථක කර ගන්නට සමත් වූයේ තායිපේ කණ්ඩායම පළමු අර්ධය අවසානයේ ලකුණු 14 – 05ක් ලෙස පෙරමුණට ගෙන එමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම සුපුරුදු තරග රටාව සොයා ගන්නට සමත් වූයේ දෙවන අර්ධය තුළදීයි.

තීක්ෂණ හේෂාන් දෙවන අර්ධය ආරම්භයේදීම උත්සාහක දිනුමක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබු මානසික ශක්තිය ලබා දුන් අතර අවසන් මිනිත්තුවේදී ක්‍රීඩකයින් 5 දෙනෙක් සමග ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු එක වුනේ අනුක් බෝයගොඩ භාර කළ පන්දුව රැගෙන මීටර් 70ක් පමණ දිවගොස් දිනුක් අමරසිංහ වාර්තා කල අගනා උත්සාහක දිනුම මගිනුයි.


ශ්‍රී ලංකාව  19 – 14 පිලිපීනය

ශ්‍රී ලංකා කණ්ඩායමට අද උදෑසන මුහුණ දීමට සිදුවූ පළමු තරගයම ඔවුන්ට තරමක් අභියෝගාත්මක එකක් විය. දැවැන්ත සිරුරින් යුත් ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් සමන්විත පිලිපීනය පන්දුවේ ග්‍රහණය වැඩි කාලයක් රඳවා ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ආරක්ෂක ක්‍රීඩා විලාශය පරදන්නට ඔවුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. සුපුරුදු පරිදිම නායක නවීන් හේනකංකානම්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර තීක්ෂණ දසනායක දෙවන උත්සාහක දිනුම ලබා ගන්නට සමත් විය.

පිලිපීනය දෙවන අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තන සාර්ථක කර ගත්තද ශ්‍රී ලංකාව වෙනුවෙන් 3වන උත්සාහක දිනුම වාර්තා කල චමෝද් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරන ලදී.‍

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට