ධනංජය – කුසල් යුගලය ජයක් සොයා සටනේ

Sri Lanka Tour Of South Africa 2024

54

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණයක් සොයමින් තියුණු සටනක නිරත වෙමින් සිටියා. 

තරගයේ තෙවැනි දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ (08) දිනයේ දී ඔවුන් ලකුණු 317ක් ලබා ගනිමින් සිය ඉනිම අවසන් කළා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ නායක Temba Bavuma ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර, ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පෙර දිනයට වඩා දැඩි අභියෝගයක් දකුණු අප්‍රිකාවට එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

මෙහි දී ප්‍රභාත් විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර, විශ්ව ප්‍රනාන්දුට කඩුලු 2ක් හිමි වුනා. 

මේත් සමඟින් දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් ලබා දීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ ඉලක්කය හඹා යාම සඳහා සුපුරුදු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසුණු නමුත්, මෙවරත් දිමුත්ට සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. 

එමෙන්ම පැතුම් නිස්සංකගේ ඉනිම ද ලකුණු 18කට සීමා වූ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 29ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වුනා. 

ඉන් පසුව කඩුල්ලේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී මැතිව්ස්ගේ පිත්තෙන් ලකුණු 32ක් වාර්තා වුනා. එමෙන්ම තරමක් ආක්‍රමණශීලී ඉනිමක් දියත් කළ කමිඳු පන්දු 35කින් ලකුණු 35ක් ලබමින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. 

කෙසේ වෙතත් ඉනිමේ ලකුණු තත්වය 122ක් ලෙස සටහන් වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් බිඳ දැමීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, මේ මොහොතේ නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පිටියේ එක් වුනා. 

ඔවුන් දෙදෙනා විසින් ඊයේ දිනය නිමාවන තෙක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 83ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 205ක් දක්වා රැගෙන ඒමට ද ඔවුන් දෙදෙනා සමත් වුනා. 

ඒ වන විට ඔවුන් යුගලය ම නොදැවී ලකුණු 39 බැගින් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටීමත් විශේෂත්වයක්. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Dane Paterson සහ Keshav Maharaj කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 5ක් අතැතිව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 143ක් පිටුපසින් පසු වනවා. 

තරගයේ පස් වැනි සහ අවසන් දිනය අද (09) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<