සිංහයෝ ඓතිහාසික දිනයක් වෙනුවෙන් රඟ මඬල නිර්මාණය කරති

1159

1877 වසරේ දී ඇරඹුණු බවට සැලකෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැන් වසර 142ක් තරම් පැරණිය. එම දැවැන්ත කාල සීමාව පුරාවට කිසිම අවස්ථාවක දී ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාව තුල දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නැත. එවන් වටපිටාවක නවකයින් රැසක් සමඟ දකුණු අප්‍රිකාව බලා පියාසර කළ ශ්‍රී ලංකා පිළට මෙම අසමසම වාර්තාව තමන් සතුකර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත. ඔව්, ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 137ක් පමණි!

ලකුණු සොයා ඉව අල්ලන සිංහයින්ට දකුණු අප්‍රිකාවෙන් අභියෝගයක්!

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව ලබා ගත් එක්දින තරග ජයග්‍රහණයට පසුව…

අද දෙවැනි දිනයට තරගය ආරම්භ වන විට ලකුණු 60ට කඩුලු 3ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස අද උදෑසන ලහිරු තිරිමාන්න දැවී ගියේය. ඒ ඊයේ අපර භාගයේ රාත්‍රී රැකවලා (Night Watchman) ලෙස පිටියට පැමිණ සිටි කසුන් රාජිතටත් පෙරයි. ඔලිවියර් යැවූ පන්දුවට තිරිමාන්න එල්ල කළ පහර පෙරලා පන්දු යවන්නා විසින්ම රැක ගැනීමත් සමඟ ඔහු දැවී යනවිට රැස් කරගෙන සිටියේ ලකුණු 29ක් පමණි. මෙවන් නුපුරුදු තණතිලි වලදී ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ පිතිකරුවා දිගු ඉනිමක් කරා යාම අනිවාර්ය වුවද අද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මනසේ එම මූලික කරුණු රැඳී නොතිබූ බවක් පෙනෙන්නට තිබුණි.

>>Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 2<<

ඔලිවියර්ට පසු ඊළඟ පන්දුවාරය ක්‍රියාත්මක කළ රබාඩා ඉනිමේ පස්වැනි කඩුල්ලත් බිඳ හෙලූ අතර එය කසුන් රාජිත වැනි පන්දු යවන්නෙකුට මුහුණ දිය නොහැකි තරමේ භයානක පන්දුවක් විය. පන්දුව කෙළින්ම රාජිතගේ කඩුල්ල සොයා යද්දී ඔහු ලබාගෙන සිටියේ එක් ලකුණක් පමණි. සමස්ත ක්‍රිකට් ලෝකයේම ඇස් මීට දින කිහිපයකට පෙර තමන් වෙතට හරවා ගත් කුසල් පෙරේරා ද අද ලකුණු 20කට තම ඉනිම අවසන් කළේ හැමදා අවුරුදු නැති බව පෙන්නුම් කරමිනි. රබාඩා අදෘශ්‍යමාන සිව්වැනි කඩුල්ල ඉලක්ක කොට ගනිමින් එල්ල කළ පන්දුවට කුසල් නොදැනුවත්වම පිත්ත යොමු කෙරූ අතර උඩ පන්දුව ඩි කොක්ගේ අත් ආවරණ අතරේ සැඟවී ගියේය.

කනගාටුවට කරුණ වූයේ දැවී යන්නට පෙර කවර් කලාපයට ඉහළින් පිටියෙන් ඉවතට අලංකාර හයේ පහරක් ද එල්ල කරමින් හොඳින් තරගයට අවතීර්ණ වූ කුසල්ගෙන් දිගු ඉනිමක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් නැවත වරක් අපේක්ෂා කළ ද එම බලාපොරොත්තු ඉටු නොවීමයි. සැබැවින්ම ඉතාමත් වේගයෙන් පන්දුව පිත්ත කරා එළඹෙන මෙම තණතිල්ලේ ඕනෑම පිතිකරුවෙකුට සාර්ථක වීමට නම් දක්ෂතාවය මෙන්ම වාසනාව ද තිබිය යුතුය. ඉන් අනතුරුව ධනංජය සහ දික්වැල්ල දෙදෙනා අතරේ හොඳ සන්නිවේදනයක් පවත්වා ගනිමින් ඉක්මනින් ලකුණු රැස් කරන්නට වුවද මංගල තරගයට ක්‍රීඩා කරන මුල්ඩර් ඊට හරස් කැපීය.

ඒ ලකුණු 19ක් ලබා සිටි ධනංජය සිල්වාව පිටියෙන් ඉවත් කරමිනි. ටෙස්ට් තරගයක වේගපන්දු යවන්නෙකු සතු විය යුතු මූලික කරුණු කාරණා නිවැරදිව අනුගමනය කිරීමත් සමඟ මුල්ඩර් ටෙස්ට් කඩුලු ලාභීන් අතරට එක්විය. ශ්‍රී ලංකා පසුපෙළ ශක්තිමත් කිරීමට ලසිත් ඇඹුල්දෙනියේ සේවය ද නොලැබෙන නිසා වේගයෙන් ලකුණු රැස් කිරීමට නිරෝෂන් දික්වැල්ල උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ රබාඩාගේ පන්දුවකට ටෙස්ට් තරගයකට අනුචිත පහරක් එල්ල කරන්නට යාමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැවී යන විට ඔහු හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 42ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත…

සමස්තයක් වශයෙන් ගත්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේ දී දැක්වූ දක්ෂතා ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි වූ අතර එය ඊයේ දිනයේ ලකුණු 222කට දැවී ගොස් අසරණ වී සිටි දකුණු අප්‍රිකානුවන්ට ප්‍රථම ඉනිමේ ලකුණු 68ක හොඳ ඉදිරියක් ලබා ගැනීමට ද උපකාරී විය. ඒ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 154කට නිමා වීමත් සමඟයි. මෙය කොළඹ SSC තණතිල්ල නොවන බවත්, ලකුණු වෙනුවෙන් අධිෂ්ඨානශීලීව සටන් කළ යුතු බවත් මුල සිටම ශ්‍රී ලංකා පිතිකරුවන් තේරුම් ගත්තා නම් මුල් ඉනිමේ දී මෙවන් පසුබෑමක් ලබන්නට ශ්‍රී ලංකා පිළට කිසිසේත්ම සිදු නොවනු ඇති බව අපගේ හැඟීමයි. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 4ක් ද ඔලිවියර් කඩුලු 3ක්ද බිඳ හෙලූහ.

ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු පිළට දිවා විවේකයට පෙර පන්දුවාර 6ක් සඳහා මුහුණ දෙන්නට සිදු වූ අතර එම සුළු කාලය තුලදීත් එක් කඩුල්ලක් උදුරා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් විය. ඒ මෙම සංචාරය පුරාවට තමන් හමුවේ නිරුත්තර වූ ඩීන් එල්ගාර්ව නැවත වරක් ලකුණු දෙකකට දවා ගනිමිනි. දිවා ආහාරයෙන් පසු ක්‍රියාත්මක වූ කසුන් රාජිත, ඒඩන් මාර්ක්‍රම් සහ ටෙම්බා බවුමා ලකුණු අතරට පිවිසෙන්නට පෙරම දවා ගත්තේ පිතිකරුවන් නිසා ගිලිහෙන්නට ගිය තරගය රැක ගනිමිනි. ඉන් අනතුරුව හෂීම් අම්ලා සහ ෆැෆ් ඩු ප්ලෙසිස් අතරේ කෙටි ලකුණු සබඳතාවයක් වර්ධනය වුවද ධනංජය සුපිරි පිතිකරු අම්ලාව දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසි හිමිවිය.

වලියට බර ඕස්ට්‍රේලියානු පරෙවියා

2003 වසරේ දිනෙක කොදෙව්වන්ට එරෙහිව ඇන්ටිගුවාහී පැවති ටෙස්ට් තරගයේ සිව්වැනි ඉනිමේ…

ඇත්තෙන්ම කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා ආබාධයකට ලක්වූ මොහොතේ මුළු රටම තමාගෙන අපේක්ෂා කළ පරිද්දෙන් ධනංජය අද පන්දු යැවූවේ ඇඹුල්දෙනිය නැති අඩුව දැනෙන්නට ඉඩ නොතබමිනි. අර්ධ කාලීන (Part Time) පන්දු යවන්නෙකු ලෙස වැඩි දඟ කැවීමක් නොතිබුන ද ඔහු නිවැරදි එල්ලයක පන්දු යැවීම ඔහුගේ සාර්ථකත්වයේ රහස විය. ධනංජය අද කඩුලු තුනක් දවා ගත්තේ ලකුණු 36ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් කොටසේ දී තරමක් නිශ්ශබ්දව සිටි සුරංග ලක්මාල් අවසානයේ ඉක්මන් කඩුලු 4ක් බිඳ හෙලමින් දණින් ඇද වැටී සිටි දකුණු අප්‍රිකාව බිම දමා පාගා දැම්මේය.

ඒ අනුව සමස්ත ක්‍රිකට් ලෝකයම පුදුමයට පත් කරමින් දකුණු අප්‍රිකානුවන් තම ජන්ම භූමියේ දී ම ලකුණු 128කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. සාර්ථක වූ එකම පිතිකරු ලෙස නායක ෆැෆ් ඩු ප්ලෙසිස් අර්ධ ශතකයක් රැස්කර ගත්තේ පන්දු 70කට මුහුණ දෙමිනි. දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් කඩුලු 7ම ලකුණු 38ක් තුල දී දවා ගැනීමට නවකයින් පිරුණු ශ්‍රී ලංකාවට හැකි වීම සැබවින්ම කණ්ඩායමක් වශයෙන් ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයකි. නමගිය පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පිළ මෙම සංචාරය තුල දී සිව් වරක්ම සම්පූර්ණයෙන්ම දවා ගැනීමට කණ්ඩායමේ එකමුතුකම මෙන්ම දිමුත්ගේ නායකත්වය ද උපකාරී වූ බව මෙහි දී සටහන් කළ යුතුය.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ්…

ඒ අනුව ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිළ දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටියි. ඒ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් සඳහා ලකුණු 137ක් පමණක් පිටුපසින් සිටිමිනි. අද සන්ධ්‍යා කාලයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාට කඩුලු අහිමි වූ අතර මේ වන විට පිටියේ රැඳී සිටින්නේ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිසුයි. ඒ හැරුණුකොට මෙම ඉලක්කය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කුසල් පෙරේරා, ධනංජය සහ දික්වැල්ල ඕනෑම මොහොතක තණතිල්ල මතට පැමිණීමට සූදානමින් සිටියි.

හෙට දිනයේ ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවද නවමු මුහුණුවරකින් හෙබි ශ්‍රී ලංකා පිළ මේ වන විටත් මෙම තරගාවලිය ජයගෙන අවසන් බව අපගේ හැඟීමයි. ඒ තරගාවලිය ආරම්භයට පෙර ලිලිපුට්ටන් ලෙසින් පෙනුණු ශ්‍රී ලංකා පිළ ඉදිරියේ ගලිවරයින් ලෙස පපුව පුම්බාගෙන සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ගේ මුහුණු මත දැන් දැන් බලාපොරොත්තු කඩවීම පිළිබඳ දුක්මුසු කතාවක් ලියැවී ඇති හෙයිනි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 61.2) ක්වින්ටන් ඩි කොක් 86, ඒඩන් මාක්‍රම් 60, ෆැෆ් ඩු ප්ලෙසිස් 25, කාගිසෝ රබාඩා 22, වියාන් මුල්ඩර් 9, කසුන් රාජිත 3/67, විශ්ව ප්‍රනාන්දු 3/62, ධනංජය ද සිල්වා 2/15, දිමුත් කරුණාරත්න 1/12.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 37.4) නිරෝෂන් දික්වැල්ල 42, ලහිරු තිරිමාන්න 29, කුසල් පෙරේරා 20, ධනංජය ද සිල්වා 19, දිමුත් කරුණාරත්න 17, කාගිසෝ රබාඩා 4/38, ඩුවාන් ඔලිවියර් 3/61, වියාන් මුල්ඩර් 1/6.

දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 44.3) ෆැෆ් ඩු ප්ලෙසිස් 50*, හෂීම් අම්ලා 32, ඒඩන් මාර්ක්‍රම් 18, ඩුවාන් ඔලිවියර් 6, සුරංග ලක්මාල් 4/39, ධනංජය ද සිල්වා 3/36, කසුන් රාජිත 2/20.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 60 (පන්දුවාර 16) දිමුත් කරුණාරත්න 19, ඕෂධ ප්‍රනාන්දු 17*, කුසල් මෙන්ඩිස් 10*, ලහිරු තිරිමාන්න 10, ඩුවාන් ඔලිවියර් 1/10, කාගිසෝ රබාඩා 1/18.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<